ශ්‍රී ලංකාවේ දුර්වල බදු ප්‍රතිපත්තිය දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට බලපෑ බව හියුමන් රයිට්ස් වොච් වාර්තාවකින් අනාවරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති දුර්වල බදුකරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑ ආකාරය සහ එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා බලපෑ ආකාරය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 14 වන දින හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.
දත්ත විශේලේෂණ, ආර්ථික පර්යේෂණ, ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික අර්බුදයට ගොදුරු වූවන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා 70කින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, එහි ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය සහ සාමාන්‍ය ජන ජීවිතයට එය බලපෑ ආකාරය සම්බන්ධයෙන් විශේලේෂණය කර තිබේ.
මෙම වාර්තාව, දරුවන්ගේ අධ්‍යාපන අයිතියට කරන ලද බලපෑම් කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරමින්, අත්‍යවශ්‍ය සමාජ වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම අඩු කිරීම හරහා ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්ති මානව හිමිකම්වලට බලපා ඇති ආකාරය පරීක්ෂා කර ඇති බව එහි සඳහන් ය.
ආර්ථික අර්බුදය ජනතාවට බලපෑ ආකාරය
ආර්ථික අර්බුදය අතරතුර ශ්‍රී ලාංකිකයන් මිලියනයකට රැකියා අහිමි වූ බවත්, විදුලි ගාස්තු ඉහළ යාමෙන් පසුව නිවාස මිලියනයකට විදුලිය අහිමි වී ඇති බව ද වාර්තාව පෙන්වා දෙයි.
එමෙන් ම මේ හරහා මිලියන 4ක ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට තල්ලු කර දමා ඇති බව එය පවසයි.
එම කාලවකවානුව තුළ විශාල බලශක්ති අර්බුදයක් ඇතිවූ අතර දිනකට පැය 13ක් දක්වා, එනම් දිනකින් හරි අඩකටත් වඩා විදුලිය විසන්ධි කෙරුණු අවස්ථා තිබිණි.
ඒ වන විටත් රට පුරා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ වී තිබිණි.
වාර්තාවේ පෙන්වා දෙන්නේ බදු ප්‍රතිපත්තිවල පැවති ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයන් ජනගහනයේ මානව හිමිකම් කෙරෙහි විනාශකාරී බලපෑම් සහිත ආර්ථික අර්බුදයකට දායක වී ඇති බව ය.
එමෙන් ම දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රගතිශීලි ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ද උපයාගෙන නොමැති බව ද එය පවසයි.
ශ්‍රී ලංකාවේ බදු ආදායම වැඩි වශයෙන් වක්‍ර බදු මත රඳා පැවතීම අයිතිවාසිකම් අඩපණ කිරීමක් බව වාර්තාව පවසයි.
වක්‍ර බදු ගෙවීමේදී ආදායම නොසලකා සෑම කෙනෙකුම එකම බදු අනුපාතයක් ගෙවන බැවින්, පහළ අදායම් ලබන් ආදායමෙන් වැඩි කොටසක් බදු ලෙස අය වීමට ඉඩ තිබේ.
1970 දශකයේ අග භාගයේදී සිට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් අනුපාතයක් ලෙස ගත් කළ වන කොටස පහත වැටීම, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල අඛණ්ඩව පහත වැටීමට හේතු වී ඇති බවත් 2019 සිදු කළ විශාල බදු කප්පාදුවෙන් පසුව මෙම අනුපාතය පසුගිය වසර කිහිපය තුළ කලාපයේ අඩු ම අගයන් දක්වා පහත වැටි ඇති බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.
2022 ශ්‍රී ලංකාව බංකොලොත් වීම සහ IMF සහය ලබා ගැනීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ණය ගෙවීම නැවැත්වූ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9ක් දක්වා පහත වැටුණු බවත්, ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 114%ක් එනම් මැදි-අඩු ආදායම්ලාභී රටකට සුදුසු නොවන මට්ටමකට පැමිණ තිබූ බව වාර්තාවේ දැක්වේ.
ඉන්පසුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක් හිමි වූ අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ඉලක්කයක් ද ලබා දෙන ලදී.
වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසරේ ගෙවීමට සිදුවූ ණය පොලී අනුපාතය ශ්‍රී ලංකාවේ මුළු ආදායමෙන් 57%ක් බව ය.
ශ්‍රී ලංකාව නව ආර්ථික මුල පිරීමක් ආරම්භ කළ 1977දී සෘජු බදු බදු ආදායමෙන් 33% වූ නමුත් 1980 සිට 2018 දක්වා කාලය තුළ සාමාන්‍යය අගය 19%ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ලෝක බැංකුව 2024 නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ දිළිඳුභාවය 3.9%කින් වැඩි කිරීමට වැට් බදු ප්‍රතිසංස්කරණ බලපා ඇති බව ය.
තව ද, බහුජාතික සමාගම් තම ලාභයන් විදේශයන්ට ගෙන යාමෙන් බදු මගහරිමින් සිටින අතර, මෙම හිඩැස නිසා ශ්‍රී ලංකාවට සෑම වසරකම ඩොලර් මිලියන 413ක පාඩුවක් සිදු සිදුවන බව ද එහි දැක්වේ.
අධ්‍යාපනයට බලපා ඇත්තේ කෙසේ ද?
වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බදු ආදායම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ කලක පටන් පවතින අඩු මුදල් වෙන් කිරීම සඳහා හේතුවක් ලෙස දායක වී ඇති බවට හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය වාර්තාවෙන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පැවතිය ද පාසල්වලින් නිරන්තරයෙන් "සංවර්ධන ගාස්තු, විභාග ගාස්තු මෙන් ම විදුලි හා ජල ගාස්තු" වැනි ගාස්තු අය කිරීමක් සිදුවන බව ය.
හියුමන් රයිට්ස් වොච් විසින් සම්බන්ධ කරගත් විදුහල්පතිවරුන් පවසා ඇත්තේ රජයෙන් හිමිවන මුදල පාසලේ කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන නිසා ඔවුන්ට මෙසේ මුදල් එකතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ය.
එමෙන් ම දෙමවුපියන්ට මෙලෙස මුදල් ගෙවීමට අපහසු වන අවස්ථාවලදී පාසල්වලට අදාළ එම අවශ්‍යතා ඉටු කර නොගෙන වැඩ කටයුතු සිදු කරගෙන යාමට සිදුවන බව වාර්තාවේ පෙන්වා දෙයි.
එමෙන් ම ධනවත් පවුල්වල ළමුන් පැමිණෙන පාසල්වලට වැඩි සම්පත් සඳහා ප්‍රවේශය ඇති බවත්, එමගින් දෙමාපියන්ගේ ආදායම මත පදනම් වී පාසල් අතර සැලකිය යුතු විෂමතා ඇතිව තිබෙන බවත් හියුමන් රයිට්ස් වොච් නිරීක්ෂණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිසුන්ගෙන් 97%ක් රජයේ පාසල්වලට ඇතුළත් වී සිටින නමුත්, ඇතැම්විට උපකාරක පන්ති "මාෆියාවක්" ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන තාරා ද මෙල් හියුමන් රයිට්ස් වොච් වෙත පවසා තිබේ. එමෙන් ම එය "අධ්‍යාපන ධාරාවේ ප්‍රධාන කොටසක්" බවට පත් ව ඇති බව ද ඇය පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වීම ආරම්භ වී මේ වන විට වසර 80ක් ගත වී තිබේ.
1945දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත වූ නිදහස් අධ්‍යාපන ආඥා පනත යනු ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංධිස්ථානයකි.
කෙසේවෙතත් මෙම වාර්තාවේ පෙන්වා දෙන්නේ, පවතින දත්තවලට අනුව මුල් අවධියේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉදිරියෙන් පැවතිය මුත් වර්තමානයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව පසුපසින් සිටින බව ය.
තව ද ධනවත් සිසුන් සහ දිළිඳු සිසුන් අතර ඉගෙනුම් ප්‍රතිඵල පරතරය ද ඉහළ යමින් පවතින බව එහි දැක්වේ.
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට බාධා වන හේතු විවිධ වශයෙන් පැවතිය ද, කලක පටන් රජයෙන් අධ්‍යාපනයට වෙන් වන මුදල් අඩු වීම ඒවාට යම් අකාරයකින් බලපා ඇති බව එහි දැක්වේ.
වාර්තාවේ පෙන්වා දෙන්නේ 2022දී අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල රජයේ වියදම්වලින් 5%ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5ක් වූ බවත් එය ලෝකයේ තුන්වන අඩු ම අගය වූ බවත් ය.
ඒ අනුව ලාඕසය සහ හයිටියට පමණක් දෙවැනි වන බව එහි සඳහන් ය.
ඔවුන් පෙන්වා දෙන්නේ එය රාජ්‍ය වියදම්වලින් 15%-20% අතර මුදලක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%-6% දක්වා විය යුතු බවට වන ජාත්‍යනතර මිනුම්වලට වඩා බෙහෙවින් අඩු බව ය.
නව රජයේ නව ප්‍රවේශය
කෙසේවෙතත් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ නව රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල ඉහළ දමා ඇති බව ය.
2025 යෝජිත අයවැය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අයවැය 2024ට සාපේක්ෂව 3.5% කින් වැඩි කර ඇති බව එහි දැක්වේ.
කෙසේවුවත් ඔවුන් පෙන්වා දෙන්නේ තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් සඳහා ළඟා වීමට නොහැකි වී තිබෙන බව ය.
ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණ සමයේදී ගුරුවරුන්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බවට කළ ප්‍රකාශ සහ අධ්‍යාපන ඇමතිවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මීට පෙර අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයේ 6%ක් වෙන් කළ යුතු බවට හඬ නැගූ ව්‍යාපාරයක ක්‍රියාකාරිණියක් ව සිටීම සම්බන්ධයෙන් ද වාර්තාවේ දක්වා තිබේ.
එනිසා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මානව හිමිකම් කේන්ද්‍ර කරගත් නව ප්‍රවේශයක් උත්සහ කිරීමට දැන් කාලය පැමිණ ඇති බව ය.
නිර්දේශ
මෙම දීර්ඝ වාර්තාව තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් විසින් නිර්දේශ ගණනාවක් දක්වා තිබේ.
එයින් එකක් වන්නේ ජාත්‍යන්තරව පිළිගෙන ඇති ආකාරයට අධ්‍යාපනයට වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%-6% අතර පවත්වා ගන්නා ලෙස ය.
එමෙන් ම අවම වශයෙන් ප්‍රථමික අධ්‍යාපනය අවසන් වනතෙක්වත් පාසල්වලින් අය කරන ගාස්තු නැවත්වීමට එය නිර්දේශ කරයි.
පාසල් සිසුන්ගෙන් හෝ මව්පියන්ගෙන් මුදල් හා භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම අත්හිටුවමින් 2015 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 5/2015 ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
'පාසල් සිසුන්ගෙන් හෝ දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම සපුරා තහනම් කර ඇති අතර, මෙකී නියෝගය පැහැර හරිමින් කටයුතු කරන අවස්ථාවන් වෙතොත් ඒ සඳහා විදුහල්පති සෘජුව වගකිවයුතු බවත්, එවැනි මුදල් අයකිරීම හෝ එක්රැස්කිරීම උදෙසා විදුහල්පතිවරයා කිසිදු පුද්ගලයෙකුට අවසර දීම, සෘජුව හෝ වක්‍රව සිදුනොකළ යුතු බව,' අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
නමුත් තවමත් පාසල් ආශ්‍රිතව මුදල් එකතු කිරීම සිදුවේ.
දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සිසුන් සඳහා ආහාරවේල් ලබා දීම දිරිමත් කිරීම ද වාර්තාවේ තවත් එක් නිර්දේශයකි.
තව ද සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට ද එයින් යෝජනා කර සිටියි.
වර්තමානයේ අඩු මුදලකට ලංගම බස් රථ සඳහා වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට හැකියාව පැවතිය ද ප්‍රමාණවත් තරම් ලංගම බස් රථ නොමැති වීම නිසා පාසල් වේලාව තුළ ලංගම බස් රථවල සිසුන්ගේ අධික තදබදයක් පවතියි.
එමෙන් ම වර්තමාන රජයේ මැතිවරණ පොරොන්දුවක් ද වූ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයෝජනය කිරීම ද එහි ඇති තවත් එක් නිර්දේශයකි.














