රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට 'වැටුප් ගැටලුවක්' තිබේ ද?

2023 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලය කථිකාර්යවරුන් 6926 දෙනෙකුගෙන් සමන්විත ය.

ඡායාරූප මූලාශ්‍රය, university of Peradeniya

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

ජනනි (සැබෑ නම නොවේ) පස් වසරක් පුරා ගෙවූ "දුෂ්කර ව්‍යායාමයකින්" පසුව සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ, මේ වසරේ මීට මාස කිහිපයකට පෙර ය.

ඒ වෙනුවෙන්, ඇය බොහෝ කැපවීම් කළ බව ඇය පවසයි.

"මම සොෆ්ට්වෙයා ඩිවෙලොපිං ෆීල්ඩ් එකේ අවුරුදු 8ක් විතර වැඩ කරලා ඒකෙන් අයින් වෙලා තමයි ආචාර්ය උපාධිය කරන්න පටන් ගත්තේ. අවුරුදු පහක් තිස්සේ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ අවුරුදු 5ට ම රස්සාවක් කළේ නැහැ ෆුල් ටයිම් රිසර්ච් කරපු නිසා. මට ඕන වුණේ රජයේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට බැඳිල ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය හරහා සේවයක් කරන්න," ජනනි පැවසුවා ය.

තමන් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වීමට අපේක්ෂාවෙන් සිටි ජනනි මේ වන විට සේවය කරන්නේ, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ය.

ඇයගේ තීරණය වෙනස් වූයේ ඇයි?

"පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වෙන්න මම ගත්ත තීරණයට බලපෑව ප්‍රධාන කාරණය තමයි, වැටුප. මම අවුරුදු 5ක් නොවිඳිනා දුක් විඳල ආචාර්ය උපාධිය අරගෙන බලද්දි මගේ වයසත් ගිහින්. රජයේ විශ්වවිද්‍යාලවලින් ලැබෙන්නෙ අඩු වැටුපක්. ඒ වගේ දෙගුණයක් ගෙවනවා පෞද්ගලික ආයතනවල. ඉතින් මට තීරණය කරන්න වුණා, ජීවිතේ ඉතිරි කාලයත් දුක් විඳින්න බැරි නිසා රජයේ විශ්වවිද්‍යාල සිහිනය අත හරින්න," ජනනි හැඟීම්බරව පැවසීය.

ජනනිගේ අත්දැකීම ඔස්සේ තවදුරටත් සොයා බැලීමේදී පෙනී ගියේ, රජයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල කිහිපයක සේවය කළ පරිගණක සහ මෘදුකාංග පිළිබඳ ප්‍රවීණයන් වන මහාචාර්යවරුන් කිහිප දෙනෙකු ම පෞද්ගලික අධ්‍යයන ආයතන වෙත මාරු වී ඇති බව ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල ධාරිතාව

2023 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලය කථිකාර්යවරුන් 6926 දෙනෙකුගෙන් සමන්විත ය.

රජයේ විශ්වවිද්‍යාලවල සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලය ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදී ඇත්තේ මෙසේ ය.

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය

රජයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප්

පහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශය සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීම සඳහා පළ කර තිබූ දැන්වීමකි.

ආධුනික කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (11 ශ්‍රේණිය) සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (1 ශ්‍රේණිය) යන තනතුරු සඳහා ගෙවනු ලබන වැටුප් පිළිබඳව ද එහි සඳහන් වේ.

වැටුප්

'වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ'

ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ගෙවන වැටුප් පරිමාණයන් ඉතා පහළ මට්ටමක පවතින බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විශ්වාස කරයි.

එහි සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවේ, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ලබන වැටුපෙන් ඔවුන්ට ඉතිරි වන්නේ, 50%කට ආසන්න මුදලක් පමණක් බව ය.

ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණේ, මෙසේ ය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

ඉහත දක්වා ඇති පරිදි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන වැටුපෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අහිමි නොකර සාධාරණ වැටුපක් ලබා දෙන්නේ නම් ලැබෙන වැටුපෙන් සෑහීමකට පත්විය හැකි බව ය.

මේ අතර, පෞද්ගලික අංශයට සාපේක්ෂව රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් ඉතා අඩු මට්ටමක පවතින බව මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පෙන්වා දුන්නේ ය.

"පෞද්ගලික අංශයේ සමාන තනතුරුවලට ගෙවන වැටුප් ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි අවස්ථා තියෙනවා. විශේෂයෙන්, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා ඉහළ වැටුප් ලබා දෙනවා. මේ තත්ත්වය රජයේ විශ්වවිද්‍යාලවලට අනතුරුදායක තත්ත්වයක්."

අනතුරුදායක තත්ත්වය කුමක් ද?

මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පෙන්වා දෙන පරිදි වැටුප් ගැටලුව රජයේ විශ්වවිද්‍යාලවලට අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කරන්නේ කෙසේ ද?

"මේ වෙනකොට ආධුනික කථිකාචාර්ය තනතුරේ ඉඳලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය තනතුරු දක්වා සුදුසුකම් තියෙන දක්ෂ අය පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල අධ්‍යාපන ආයතනවලට යොමු වෙමින් තියෙනවා. අවුරුදු ගණනක අත්දැකීම් තියෙන මහාචාර්යවරු පවා රජයේ විශ්වවිද්‍යාල අතහැර යනවා. මෙහෙම ගියොත් රජයේ විශ්වවිද්‍යාලවලට දක්ෂ කථිකාචාර්යවරුන්, පර්යේෂකයින් රඳවා ගන්න බැරි වෙයි. එහෙම වුණොත් වැඩි කලක් නොයා රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙනවා," මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පැවසීය.

මේ තත්ත්වය යටතේ විශ්වවිද්‍යාල රැසක කථිකාචාර්ය පුරප්පාඩු රැසක් පවතින බවත්, අධ්‍යයන කටයුතුවලට එය දැඩිව බලපා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී පළමු ස්ථාන 5 පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත හිමි වනු ඇතැයි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා අනතුරු අඟවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලන්නේ මොනවා ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ, වැටුප් ඉහළ දැමීම ය.

ඊට අමතරව, වැටුපෙන් ආපසු අය කර ගන්නා ප්‍රතිශතය අඩු කිරීමක් අපේක්ෂා කෙරේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පවසන්නේ, ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් 10%ක මුදලක් කපා ගැනීම ද අසාධාරණ බව ය.

"වෙනත් රජයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් වෙනුවෙන් ඔවුන්ගේ වැටුපෙන් ප්‍රතිශතයක් අය කර ගන්නෙ නෑ. ඒත් අපේ වැටුපෙන් 10%ක් කපා ගන්නවා විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල වෙනුවෙන්. ඔක්කොම අය කර ගැනීම් කළා ම 50%ක මුදලක් තමයි අපේ අතට එන්නේ. ඒක වෙනස් කළ යුතු යි."

ඊට අමතරව, පර්යේෂණ දීමනා ලෙස 20%ක් ලබා දෙන ලෙස ද ඔවුහු ඉල්ලති.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිචාරය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ගැටලුව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිචාරය දැනගැනීම සඳහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්නගේ අදහස් විමසීමු.

ඔහු ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් පිළිබඳ විශාල ගැටලුවක් නොමැති බව ය.

"අපි ගිය පාර අයවැයෙන් සැලකිය යුතු මුදලක් වැඩි කළා. ඒ නිසා ඔවුන්ගේ වැටුප් අඩුයි කියල කියන්න බැහැ. හැබැයි ඔවුන් රජයේ විශ්වවිද්‍යාලවල රඳවා ගන්න එක අමාරු තත්ත්වයක් බව පිළිගන්නවා. ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තමයි ලොකු ම අභියෝගය තියෙන්නෙ. ගොඩක් අය පෞද්ගලික අංශයටයි, විදේශ රටවලටයි යන්නෙ වැටුප නිසා පමණක් නෙවෙයි. ජීවන තත්ත්වය උසස් කර ගන්න එක තමයි ඔවුන්ගේ මූලික අරමුණ."

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ආචාර්යවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බව ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට සැලසුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව, විශ්වවිද්‍යාල මට්ටමින් ආදායම් ඉපැයීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ය.

"අලුත් පාඨමාලා ආරම්භ කරලා විදේශීය සිසුන් මෙහෙට ගෙන්නගෙන විශ්වවිද්‍යාලවල ආදායම වැඩි කර ගත්තොත් අපට පුළුවන් මේ ඉන්න තත්ත්වයට වඩා කථිකාචාර්යවරුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගේන්න. ඒ ගැන අපි අවධානය යොමු කරල තියෙනවා."

මේ අතර, විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග ප්‍රකාශ කළේ, සිය වැටුප් ගැටලුව ඇතුළු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට සැලසුම් කර ඇති බව ය.