උසස් පෙළ: උත්තර පත්‍ර නැවත සමීක්ෂණයේදී සිදුවන්නේ ලකුණු එකතු කිරීම පමණක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, සිසු සිසුවියන් 177, 588 දෙනෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා අවම සුදුසුකම් ලබා තිබේ.
මේ අතර, ලබා ඇති ප්‍රතිඵල පිළිබඳ සෑහීමකට පත් නොවන ඇතැම් අයැදුම්කරුවන්ට නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම් කිරීමට කාල සීමාවක් ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇත.
නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ යුත්තේ කෙසේ ද?
මැයි මස 02 වන දා සිට 16 වන දා දක්වා කාලය තුළ 2024 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සලසා තිබේ.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, www.onlineexams.gov.lk හරහා ඔන්ලයින් ඔස්සේ අයැදුම් කළ හැකි බව ය.
තමන්ට ලැබී ඇති ප්‍රතිඵල පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි ය.
'නැවත සමීක්ෂණයේදී සිදුවන්නේ ලකුණු එකතු කිරීම පමණක් ද?'
නැවත සමීක්ෂණයේදී සිදුවන්නේ, එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති ලකුණු සංඛ්‍යා නැවත එකතු කර බැලීමක් පමණක් බවට සමාජයේ මතයක් පවතී.
ඒ සම්බන්ධයෙන් කරුණු විමසමින් උසස් පෙළ ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යාවකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කර තිබිණි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සම්බන්ධයෙන් ඇති මත පිළිබඳව අවධානය යොමු කරමින්, නැවත සමීක්ෂණයේදී සිදුවන්නේ කුමක් ද? යන්න පිළිබඳව සොයා බැලීමට බීබීසී සිංහල සේවයේ අවධානය යොමු විය.
නැවත සමීක්ෂණයේදී සිදුවන්නේ කුමක් ද?
මේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා අපි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඇමතුවෙමු.
නැවත සමීක්ෂණයේදී එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති ලකුණු සංඛ්‍යාව ගණනය කිරීම පමණක් සිදුවන්නේ ද? යන්නට විභාග කොමසාරිස් ජනරාල්වරයා දුන් පිළිතුර මෙසේ ය.
"නෑ, නෑ. ලකුණු විතරක් නැවත ගණනය කිරීමක් සිද්ධ වෙන්නෙ නෑ. ආපහු අදාළ උත්තර පත්‍රය මුල සිට නැවත සමීක්ෂණය කරනවා."
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ, "නැවත සමීක්ෂණය කරන්නේ විභාග පරීක්ෂකවරුන් දෙදෙනෙක් දාලා. ඒ නිසා විනිවිදභාවයකින් යුතුව නැවත සමීක්ෂණය කරනවා," යනුවෙනි.
අදාළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා යොදවන පරීක්ෂකයින් දෙදෙනා ලකුණු ලබාදීමේ පටිපාටිය භාවිත කරමින් එක් එක් උත්තර පත්‍ර විමර්ශනය කරන බව ද විභාග කොමසාරිස්වරයා තවදුරටත් පැහැදිලි කළේ ය.
විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූවන්ගේ ප්‍රතිශතය
විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි 2024 උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා අවම සුදුසුකම් හිමි කර ගත් ප්‍රතිශතය 64.73%කි.
ඊට අමතරව, විවිධ අක්‍රමිකතා පැමිණිලි මත අයැදුම්කරුවන් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී විමර්ශනය කර අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත ය.














