පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රන් පදක්කමක් වෙනුවෙන් සාධාරණය ඉල්ලූ සිසුවියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව

ඡායාරූප මූලාශ්‍රය, University of Peradeniya
- Author, බීබීසී සිංහල
2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරෙයිරා රන් පදක්කම එම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශයේ උපදේශකයෙකු (instructor) ලෙස සේවය කරන ඒ.එච්.ඒ.ඩී. අබේසේකර නමැත්තෙකු වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබී ය.
ඒ, එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන මොරටුව ප්‍රදේශයේ පදිංචි කල්පනා මානවඩු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ය.
සෝභිත රාජකරුණා, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
ඉදිරියේදී මෙම රන් පදක්කම් පිරිනැමීම සඳහා විනිවිදභාවයකින් යුත් ලකුණු ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද විනිසුරු මඩුල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නියෝග කළේ ය.
පෙත්සම්කාරියගේ කරුණු දැක්වීම
පෙත්සම්කාරිය පෙන්වා දෙන්නේ, අදාළ රන් පදක්කම සඳහා 2016 වසරේ මාර්තු මස 9 වන දා තමන් අයැදුම්පතක් ඉදිරිපත් කළ බව ය.
පසුව ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙන බවට පාලනාධිකාරිය නිවේදනය කළ බවත් ඉන් අනතුරුව තමන් යළි අයැදුම්පතක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාරිය පවසයි.
කෙසේ වෙතත්, අදාළ රන් පදක්කම එම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අධ්‍යයන අංශයේ උපදේශකයෙකු ලෙස සේවය කරන ඒ.එච්.ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිදභාවයකින් යුත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බව ය.
මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේ ය.
ඒ අනුව, අදාළ රන් පදක්කම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයෙකු වන ඒ.එච්.ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙසට නියෝග කෙරිණි.
කෙසේ වෙතත්, නියමිත කාල සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙම රන් පදක්කම පෙත්සම්කාරියට පිරිනමන ලෙස නියෝගයක් නිකුත් නොකරන බව ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.














