පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමෙන් ඉගැන්වීමට අපේක්ෂා කරන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ කලින් කලට මතු වන ආන්දෝලනාත්මක මාතෘකා අතර ලිංගික අධ්‍යාපනය නැතහොත් ප්‍රජනන සෞඛ්‍යය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම ද උණුසුම් මාතෘකාවකි.
ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට ගන්නා ලද උත්සහයන් සමාජයෙන් මතුව ආ විරෝධය හේතුවෙන් අකර්මණ්‍ය වී ගිය අවස්ථා කිහිපයක් පැවති අතර බොහෝවිට එම විරෝධයට නායකත්වය දෙනු ලැබුවේ, ආගමික නායකයන් විසිනි.
වත්මන් රජය විසින් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතරට ලිංගික අධ්‍යාපනය ද ඇතුළත් වන බව ප්‍රකාශ වී තිබේ.
'මේ හැම දෙයක් පිටිපස්සේ ම ඉන්නේ ජාත්‍යන්තර සංවිධාන'
කෙසේ වෙතත්, ඊට ද මේ වන විට විරෝධයක් පළවෙමින් පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම හරහා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට උත්සහ දරන බවට ද චෝදනා එල්ල වේ. මෙලෙස චෝදනා කරන අය අතර මැලකම් රංජිත් කාදිනල් හිමි ප්‍රධාන තැනක් ගනී.
"අපේ කුඩා දරුවන්ට දැන් මේගොල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා 6 වෙනි වසරේ ඉඳලා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවා. මොනවා ද මේ, දෙමාව්පියන්ට නේද ඒ වගකීම තියෙන්නේ දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. දැන් අධ්‍යාපන ක්‍රමයෙන් මෙන් ම මේ අධ්‍යාපනය, කුඩා දරුවන්ට 6 වෙනි වසරේ, 6 වෙනි වසර වෙනකොට ළමයෙකුට අවුරුදු 11ක් 12ක් ඇති වැඩි ම වුණොත්. මේ වයසේ දරුවන්ටත් මේවා කියලා දෙන්න යනවා ලු. මේවා අතරේ විශේෂයෙන් ම ඔය සමලිංගික සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවා ලු, උත්පත්ති පාලනය ගැන දැනුවත් කිරීමක් කරන්න යනවා ලු, මේ හැම දෙයක් පිටිපස්සේ ම ඉන්නේ ජාත්‍යන්තර සංවිධාන, අපේ රට විනාස කරන්නට අරඅඳින ජාත්‍යන්තර සංවිධාන. ඒවා අතර විශේෂයෙන් ම මා මතක් කරන්න ඕනේ එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය UNFPA කියන එක. ඒගොල්ලෝ, ඒගොල්ලන්ගේ සල්ලි දීලා, මේ ආණ්ඩුවට සල්ලි දීලා, අධ්‍යාපන අමාත්‍යංශයට සල්ලි දීලා ඒ සඳහා අවශ්‍ය පොත්පත් මුද්‍රණය කරලා මේ දරුවන් නොමග යවන වැඩපිළිවෙළක් අද ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලබන ජනවාරි 27 වෙනි දා ඉඳලා මේ පාඩම් උගන්වන්න යනවා ලු අපේ ඉස්කෝලවල."
ලිංගික අධ්‍යාපනය මෙරටට නොගැලපෙන බව පවසන කාදිනල් හිමියෝ, දරුවන්ට එවැනි දේ කියා දීමේ ක්‍රමවේදය පිළිබඳව දෙමව්පියන්ව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිති.
'මේක අධ්‍යාපනය ද, මේක අධ්‍යාපනය නෙමෙයි, මේක නොමග යැවීම'
"පන්ති භාර ගුරුවරුන් මේ සඳහා සූදානම් කරන්න යනවා ලු, සම්මේලන පවත්වන්න යනවා ලු. මේක අධ්‍යාපනය ද, මේක අධ්‍යාපනය නෙමෙයි, මේක නොමග යැවීම. බටහිර ලෝකයට ඕන විදියට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදියට එහෙම නැතිනම් මානව හිමිකම් තමන්ට ඕන විදියට අර්ථකථනය කරලා එයාලට ඕන විදියට මානව හිමිකම් හැඩගස්වන්න මානව හිමිකම් කියලා එක එක දේවල් කියාගෙන ඇවිල්ලා මේ රට තුළ අපේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය විනාස කරන්න දෙන්න බැහැ අපිට. ඒක මතක තියා ගත යුතුයි රට පාලනය කරන නායකයින් හැම දෙනා ම. ඒ නිසා මම දෙමාව්පියන්ගෙන් ඉල්ලනවා දරුවන් ආරක්ෂා කර ගන්න මේ වගේ දේවල්වලින්," කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පැවසූහ.
රට ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට දැක්වූ උනන්දුව රටේ ශීලාචාරභාවය ආරක්ෂා කිරීමට ද දක්වන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියහ.
විරෝධය හමුවේ හකුළා ගත් 'හතේ අපේ පොත'
ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා බව පවසමින් ලබා දී තිබූ "හතේ අපේ පොතට" 2019 වසරේදී එල්ල වූ විරෝධය ද මෙරට පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය හඳුන්වා දීමට කළ උත්සහයකට දැඩි විරෝධයක් එල්ල වූ අවස්ථාවකි.
මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් පිරිසක් එම අවස්ථාවේදී ඊට ප්‍රබල ලෙස විරෝධය දැක්වූහ.
"හතේ අපේ පොත" කුඩා දරුවන්ට තබා වැඩිහිටියන්ට හෝ කියවිය නොහැකි තරමේ අසභ්‍ය වචන අඩංගු කෘතියක් වන බවත්, මෙය සාමාන්‍ය සිදුවීමක් නොව, රටේ දරු පරපුරට සංකර ගති පුරුදු කිරීම සඳහා ගෙන යන සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවත් මැදගොඩ අභයතිස්ස හිමි විරෝධය පළ කළේ ය.
එම විරෝධය හමුවේ පාසල් සිසුන්ට බෙදා හැරීමට යවා තිබූ "හතේ අපේ පොත" බලධාරීහු අත්හිටවූහ.
ලිංගික අධ්‍යාපනය ඇයි?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මහනුවර මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් විෂය මාලාවට අලුතින් එක්වන කරුණු සම්බන්ධව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අදහස් පළ කළා ය.
"අපි 6 වෙනි වසරට හඳුන්වා දීලා තියෙන්නේ සෞඛ්‍ය පිළිබඳ මොඩියුල් එකක් ඒක තමයි විෂය මාලාවේ තියෙන්නේ. සෞඛ්‍ය පිළිබඳ මොඩියුල් එකේ මූලික දැනුමක් තමාගේ ශරීරය, තමාගේ ශරීරය සෞඛ්‍යවත්ම පවත්වාගෙන යාම පිළිබඳ අදහස් දෙනවා ඒක 6 වෙනි වසරේ වයසට සුදුසු විදියේ පොතක් අපි සකස් කරලා තියෙන්නේ."
දරුවන් ලිංගික අපචාරවලට ගොදුරුවීම වළක්වා ගැනීමේ අරමුණින් ලිංගික අධ්‍යාපන ලබා දිය යුතු යැයි විශේෂඥයන් නිරන්තරයෙන් ම අවධාරණය කරන බව පැවසූ අගමැතිවරිය ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එක් කරන ආකාරය සම්බන්ධව තවමත් සාකච්ඡා කරමින් පවතින බව පැවසුවා ය.
'කොහොම ද? කවදා ද? මොන වයසට ද? තව ම තීරණයක් නැහැ'
"අපේ රට තුළ ලිංගික අපචාරවලට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාව එන්න එන්න ම වර්ධනය වන නිසා මේකෙන් ආරක්ෂා වීම දරුවන්ට ඉගැන්විය යුතු යි කියලා පවුල් සෞඛ්‍ය ඒකකයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, විශේෂඥ්‍ය වෛද්‍යවරුන් අපිට නිරන්තරයෙන් කියන දෙයක්. ඒ වගේ ම ළමා ආරක්ෂක අධිකාරියෙනුත් අපිට පෙන්වලා දීලා තියෙනවා මේක බරපතළ ප්‍රශ්නයක් දරුවන් තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගත යුතු විදිහ පිළිබඳව දැනුවත් විය යුතු යි කියලා. ඉතින් ඒ පිළිබඳව අපි සාකච්ඡාවක් කරනවා ඒ අමාත්‍යංශ සහ අධිකාරිත් එක්ක. ඔවුන්ගේ නිර්දේශ අපිට ලබා දෙමින් තියෙනවා. ඒක කොහොම ද, කවදා ද, මොන වයසට ද ඉදිරිපත් කරන්නේ කියන එක ගැන තීරණයක් තාම නැහැ. ඒ සියලු දෙනාගේ ම සාකච්ඡා අනුව වයසට සුදුසු පරිදි තමා ආරක්ෂා විය යුතු විදිය ගැන, තමන්ගේ ශරීරය වෙනස් වෙනකොට ඒක පිළිබඳ දැනුවත් වීම ගැන අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා අපි හිතනවා. ඒක අපි කරන්නේ විශේෂඥ උපදෙසුත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙසුත් අනුව," අග්‍රාමාත්‍යවරිය පැවසීය.
ළමා මව්වරුන් සහ ළමා ලිංගික අපයෝජන ගැන වාර්තා
ලංකාවේ සිදුවන ළමා ලිංගික අපයෝජන මෙන් ම ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක් ගනී. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ලිංගිකත්වය පිළිබඳ අවම දැනුවත්භාවයක් පැවතීම දරුවන් මෙලෙස වින්දිතභාවයට පත්වීමට හේතුවක් බව ය.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2020 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිදුවීම් 3,083ක් වාර්තා වී තිබේ. එම කාලය තුළ ළමුන් 627 දෙනෙකු ලිංගික හිංසනවලට ලක්ව තිබේ.
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යංශ වාර්තාවලට අනුව 2024 වසරේ ළමා ගැබ් ගැනීම් 213ක් වාර්තා වී ඇති අතර එලෙස ගැබ් ගැනීම ලක්වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක දැරියක් ද සිටී.
'ලිංගික අපයෝජනයකට ලක් වුණොත් ඒක යථා තත්ත්වයට පත් කරන්න බැහැ'
"ළමයෙක් කකුල කඩා ගත්තොත් බෙහෙත් දීලා හොඳ කරගන්න පුළුවන්. ඊට පස්සේ කකුල හොඳ වුණාට පස්සේ ළමයා සමාන්‍ය යි. හැබැයි ලිංගික අපයෝජනයකට ලක් වුණොත් ඒක හොඳ කරන්න බැහැ. ඔහු වැඩිහිටියෙක් වුණාට පස්සේ අපයෝජකයෙක් වෙලා තව ළමයෙක් අපයෝජනය කරලා නවතින්නේ. ඒක විද්‍යාත්මක සාක්ෂි තියෙන කාරණයක්. මේක ඉතා ම භයානක තත්ත්වයක් අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ ළමයින්ට මේ අධ්‍යාපනය නොදී හිඳීම, ළමයාට ආරක්ෂාව සපයන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය නවත්වන් ඉන්න එකෙන් කරන්නේ," යැයි වෛද්‍ය නුවන් තොටවත්ත බීබීසි සිංහල සේවයට පැවසීය.
වයස් කාණ්ඩ කිහිපයක් ඔස්සේ නිසි වයසට ගැලපෙන ලෙස ස්වයංව තම ශරීරය පිළිබඳව මෙන් ම ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා ගත හැකි කෘති 4ක් එම වෛද්‍යවරයා සම්පාදනය කර ඇති අතර, ඒවා පාසල් පුස්තකාලයට පවා සුදුසු යැයි අධ්‍යාපන අමාත්‍යංශය නිර්දේශ කර ඇත.
'ළමා මව්වරු වැඩි වෙන එක සැලකිය යුතු මට්ටමකට අඩු කර ගන්න පුළුවන්'
ළමා හා යොවුන් ගැබිනි මව්වරුන් සහ අපයෝජනයට ලක්වූ දරුවන්හට වෛද්‍ය විද්‍යාත්මක සහයක් ලබා දී පළපුරුද්දක් ඇති වෛද්‍ය නුවන් තොටවත්ත පෙන්වා දෙන්නේ, දරුවන් ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දැනුවත් වීම හරහා ළමුන්ට සිදුවන අපයෝජනවලට ගොදුරු නොවී සිටීමට මෙන් ම අපයෝජනයකට ගොදුරු වුව ද ඉන්පසුව කටයුතු කළ යුතු ආකාරය ඔවුන් දැනුවත් වන බව ය.
"ඔක්කොම දැනගත්ත දරුවෙක් වුණත් මේ සමාජයේ අපයෝජනයට ලක් වෙන්න පුළුවන්. එහෙම වුණා ම එතනදී වෙන මූලික හානිය, ඉතුරු ටික වළක්වා ගන්න ළමයෙක් දැනගන්නවා. ළමයාට දැනුම තියෙනවා නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ගැබ් ගන්න එක වළක්ව ගන්නවා. මොක ද සමහර වෙලාවට අපයෝජනයට ලක්වෙලා ගැබ් ගත්තට පස්සේ තමයි ඒ ගැන වැඩිහිටියෝ දැන ගන්නේ. හැබැයි ඒ ගැන දැනුම තිබුණා නම් ඒ වගේ අපයෝජනයදී මොකක් ද කරන්න ඕනේ. කාට ද කියන්න ඕනේ කියලා ළමයා දන්නවා. ඒ දැනුම තිබුණා නම් ළමයි ලිංගික අපයෝජනයට ලක් වුණත් ළමා මව්වරු ඇති වෙන එක සැලකිය යුතු මට්ටමකට අඩු කර ගන්න පුළුවන්."
ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය හරහා උගන්වන්නේ මොනවා ද?
ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් අහිතකර සම්බන්ධතා හඳුනා ගැනීමට, සම්බන්ධයක් හිතකරව පවත්වා ගැනීමට, විවාහ ජීවිතය යහපත් ලෙස ගත කිරීමට මෙන් ම හානියක් නොවන අයුරින් ඉන්ටර්නෙට් භාවිත කිරීමට ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය හරහා දැනුමක් ලබා දෙන බව වෛද්‍යවරයා කියා සිටියේ ය.
"කොහොම ද හානියක් කර ගන්නේ නැතුව ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ, කොහොම ද සමාජ මාධ්‍යවල හැසිරෙන්නේ. කවුරු හරි චැට් එකකින් ඇවිල්ලා නිරුවත් ඡායාරූපයක් ඉල්ලුවා ම ඒක නොදී ඉන්න විදිය, එහෙම දුන්නොත් මොක ද වෙන්නේ, එහෙම දීලා තියෙනවා නම් ඒ මනුස්සයාව හම්බ වෙන්න ගිහිල්ලා තවදුරටත් අපයෝජනය වෙන එක වළක්වාගෙන එතනින් එහාට කොහොම ද ඒක නවත්වා ගන්නේ. මේවාත් ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය. ඒ සියලු ම දේවල් ආරක්ෂක මෙවලම්. ළමයෙකුට මුහුද අයිනේ තියාගෙන පීනන්න කියලා දෙන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක් තමයි ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය නොදී ඉන්නවා කියන එක."
'ළමයාට දැනුම දීලා ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ රජයට'
දරුවන්හට ප්‍රජනන අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබා දීමට දෙමව්පියන්ට හැකියාවක් තිබේ දැයි වෛද්‍ය නුවන් තොටවත්ත විස්තර කළේ ය.
"අකුරු කියවන්න දන්නේ නැති දෙමව්පියෝ ඉඳලා ඉතා ම හොඳ දැනුමක් තියෙන පරාසය දක්වා දෙමව්පියෝ ඉන්නවා. ඔය දේ උගන්වන්න පුළුවන් දෙමව්පියෝ ඉන්නවා, බැරි දෙමාව්පියෝ ඉන්නවා. යම් දරුවෙක් එහෙම හැකියාවක් නැති දෙමව්පියෙකුගේ ගෙදරක ඉපදෙන එක ඒ දැනුම නොලැබී අපයෝජනය වෙන්න හේතුවක් නොවිය යුතු යි. ඉස්කෝලේ අවුරුදු 13ක් ඉන්න ළමයාව දැනුම දීලා ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ රජයට."
ප්‍රජනන සෞඛ්‍යයට පමණක් දෙමව්පියන්ගෙන් දැනුම ලබා ගැනීමට යෝජනා කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ගුරුවරුන් යනු දරුවන් වෙත දැනුම ලබා දීමට පුහුණු කරන ලද විශේෂඥයන් පිරිසක් බව ය.
'දරුවෙක් අපයෝජනය විය හැකි වයස කියන්නේ ඉපදුණ මොහොතේ සිට"
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිසි වයසට ගැලපෙන ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දැනුම ලබා දිය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
"ජීවිතේ යම් යම් දැනුම ඕන වෙන්නේ යම් යම් වයසේදී. ඒ වයසේ දී ඒ දැනුම තියෙන්න ඕනේ, නැති නම් බැහැ, නැති නම් තිබිලා වැඩකුත් නැහැ. දරුවෙක් අපයෝජනයට වයස කියන්නේ ඉපදුණ මොහොතේ සිට. ඉපදෙන මොහොතේ සිට අපයෝජනයට ලක් වෙන්න අවදානමක් තියෙන දරුවාව එක්තරා වයසක් වෙනකම් අපි රැක ගන්න ඕනේ. මොක ද ඒ දරුවාට ආරක්ෂා වෙන්න බැහැ තේරෙන්නේ නැහැ. හැබැයි එක්තරා වයසක් එනවා මේ දරුවාට අපි කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන, තමන්ගේ ශරීරයේ කොටස් තේරුම් ගන්න පුළුවන් වෙන සහ ඇඟ අල්ලපුවාම මේ තැන හොඳයි අල්ලන්න, මේ තැන නරකයි කියන තේරෙන වයස එනකොට ඒවා කියලා දුන්නොත් තමයි දරුවාට අපයෝජනය වෙන එකෙන් ආරක්ෂා වෙන්න වැඩි ම කාලයක් හම්බ වෙන්නේ. අපි ඕක 6 වසරේදී නම් උගන්වන්නේ ඒ වෙනකම් ළමයා අපයෝජනය වෙනවා නම් ඒක වෙලා ඉවරයි."
ප්‍රජනන සෞඛ්‍යයේදී පිරිමි දරුවෙකු සහ ගැහැනු දරුවෙකු දැන ගත යුතු කොටස යනුවෙන් බෙදා වෙන් කළ නොහැකි අතර, එම සියලු ම දැනුම ඔවුන්ට ලබා දිය යුතු යැයි නුවන් තොටවත්ත වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, ඒ හරහා එකිනෙකාට ගෞරව කිරීමට මෙන් ම අනෙකාගේ ලිංගික සෞඛ්‍යය ගැන දැනුමක් ලැබෙන බවත් පැවසීය.
'ලිංගික අධ්‍යාපනය දෙන එකට විරුද්ධ වෙන්නේ ළමයි දැනුවත් වුණොත් තමන්ට අවාසි වෙයි කියල හිතන අය'
"අම්මා කෙනෙක් ළමයෙක් වෙනුවෙන් කරන ලොකු ම කැප කිරීම තමයි දරුවෙක් කුස තුළ දරාගෙන සිටීම. මේක කියලා දෙන්නේ නැතුව සුරංගනා ලෝකයෙන් ගෙනවා කියලා කිව්වා ම මේ නැති කර ගන්නේ අම්මා සහ දරුවා අතර තියෙන බැඳීම. එතකොට ළමයා දන්නේ නැහැ දෙමාව්පියෝ තමන් වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරලා තියෙනවා ද කියන එක. ඒකත් ප්‍රජනන සෞඛ්‍ය දැනුම තමයි."
"සීනි කෑමේ ආදිනව ළමයින්ට කියලා දීලා, ළමයි සීනි කෑමේන් ඈත් කරනවාට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ඒ කෙනාට ළමයි සීනි කන එකේ යම් ප්‍රතිලාභයක් තියෙන්න ඕනේ. ප්‍රජනන සෞඛ්‍ය උගන්වන්න එපා කියලා කවුරු කියනවා නම් ඒකට එක හේතුවයි තියෙන්න පුළුවන්. ඒ ටික ළමයි ඉගෙන ගත්තා ම මේක එපා කියන කෙනාට විශාල පාඩුවක් වෙන්න ඕනේ," යැයි වෛද්‍ය නුවන් තොටවත්ත පැවසීය.
'දැන් ඉන්න ළමයි අපිට වඩා වෙනස්'
කලින් කලට රට තුළ අන්දෝලනාත්මක මාතෘකාවක් වන ප්‍රජනක සෞඛ්‍ය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරිම සම්බන්ධව බීබීසි සිංහල සේවය දෙමව්පියන් කිහිප දෙනෙකුගේ අදහස් ද විමසා බැලීය.
පරිගණක ඉංජිනේරුවරියක වන මධුෂානි (සැබෑ නම නොවේ) අවුරුදු 8ක් පමණ වන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන සිය දියණියට ඇයට ගැලපෙන ලෙස ස්පර්ශයේ හරි සහ වැරදි සම්බන්ධව දැනුමක් ලබා දී තිබේ.
"කාටවත් ඔයාව අල්ලන්න දෙන්න එපා, කෙනෙක් වැරදි විදියට ඔයාව අල්ලන්නේ කොහොම ද වගේ දේවල් අපි කියලා දෙනවා. ඉස්කෝලෙනුත් ඒ වගේ දේවල් කියලා දීලා තිබුණා. ඒවා පොඩි කාලයේ ඉඳලා ම කියලා දෙන එක හොඳයි කියලා මට හිතෙන්නේ."
"මට හිතන්නේ දැන් ඉන්න ළමයි අපිට වඩා වෙනස්. කාට හරි ආකර්ෂණය වෙන එක වුණත් වැඩි යි. අපිට ලොකු වෙලාවත් දැනුණෙ නැති, හිතුණෙ නැති දේවල් දැන් ළමයින්ට හිතෙනවා. එතකොට කාගේ හරි කීමකට වැරදි දේවල්වලට යොමු වෙන්න ඉඩකඩ වැඩි වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ නිසා ලිංගිකත්වය වගේ දේවල් දැන් ම ඉඳලා කියලා දුන්නොත් ඒ අය අමාරුවේ වැටෙන එක අඩු වෙයි."
'ළමයින්ට ආරක්ෂා වෙන්න දැනුමක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්'
යම් දෙයක් සම්බන්ධව උගත් දෙමාව්පියන්ට පවා ඇතැම්විට ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අඩු දැනුමක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධව නිසි ලෙස දරුවන් දැනුවත් කළ හැක්කේ පාසල හරහා බවට ඇය විශ්වාසය පළ කළා ය.
"මම ගියේ ගර්ල්ස් ස්කූල් එකකට, ඉස්සර හෝම් සයන්ස්වලට අපිට උගන්වනවා, අපිත් ඉතින් අහගෙන ඉන්නවා නමුත් මහ ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි හෝම් සයන්ස් කරන්නේ නැති ළමයෙකුට ඒ ටිකත් නැහැ. හැබැයි මට වුණත් දරුවා තව ටිකක් ලොකු වෙද්දි ඒ ගැන කියලා දෙන්න පුළුවන් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ස්කූල් එකෙන් උගන්වනවා නම් ඒකට විධිමත් විදියක් තියෙනවා, ඒ වයසට උගන්වන්න ඕනේ මොනවා ද කියලා දන්නවා නේ."
"ත්‍රීවිල් ඩ්‍රයිවර්ලාගෙන් පවා අහන්න ලැබෙන දෙයක් තමයි දැන් ළමයි ක්ලාස් කට් කරලා එළියට යනවා කියන එක. ඒ ළමයි මොන තරම් විනාශයක් කර ගන්නවා ඇති ද?, ඒ ළමයින්ට ආරක්ෂා වෙන්න දැනුමක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්. අපේ කාලයෙත් ඔය වගේ දේවල් වුණා. ඉස්කෝලේ වැඩට ආපු බාස් කෙනෙක් එක්ක ටික දවසක් යද්දි හිටපු හොඳ ම ළමයා පැනලා ගිහින්. පස්සේ දැනගන්නකොට ඒ ළමයාගේ ජීවිතය ම විනාශ වෙලා. හැබැයි හරිහමන් විදියට ඔය දේවල් ගැන කියලා දුන්නා නම් ඔය ළමයි වෙනස් විදියට හිතයි නේද?," ඇය කියා සිටියාය.
'ලොකු වුණාට පස්සේ ඔය දේවල් ගැන කියලා දුන්නාට කමක් නැහැ'
ව්‍යාපාරියකු වන ඇන්ටන් (සැබෑ නම නොවේ) දරන්නේ ඊට වෙනස් මතයකි. ඔහු පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර වැඩි වියට පත්වන තෙක් දරුවන් ආරක්ෂා කර ගැනීම මව් පියන්ගේ වගකීමක් බව ඔහු පැවසීය.
"දරුවෙකුට දැනුම් තේරුම් වෙන වයස වෙනකම් දෙමාව්පියෝ, නෑදෑයෝ සහ ගුරුවරු ඒ අය ගැන හොයලා බලන්න ඕනේ වැරදි දේවල්වලට යොමු වෙන්න දෙන්නේ නැතුව. ඒ අයව ආරක්ෂා කර ගන්න ඕනේ. ලොකු වුණාට පස්සේ ඔය දේවල් ගැන කියලා දුන්නාට කමක් නැහැ, හැබැයි පොඩි ළමයෙකුට වුණත් ඔය දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ."
"ගෑනු ළමයෙකුට නම් ඔය වගේ දේවල් කියලා දුන්නාට කමක් නැහැ, ඒත් ලොකු වුණාට පස්සේ. හැබැයි ඉතින් ඔය දේවල් නිසා අපේ රටට සංස්කෘතියට නොගැලපෙන දේවල්වලට ළමයි යොමු වෙන්න පුළුවන් කියන නිසා ඒ ගැනත් කල්පනාවෙන් තමයි ඔය වගේ දේවල් උගන්වනවා නම් උගන්වන්න වෙන්නේ,"ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
ලිංගික අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළ යුතු වයස ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය
'ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට තමන් ගැන සහ අවට ලෝකය ගැන වයසට හා වර්ධනයට සුදුසු ආකාරයකින් දැනුවත් වීමට අයිතියක් ඇති' බවත්, 'ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ඔවුන්ට මෙම ඉගෙනීම අවශ්‍ය වන' බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, 'පාසල් පාදක විෂය මාලා සඳහා සහය වීමේ අරමුණින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ ගෝලීය මග පෙන්වීම මගින් දරුවන්ගේ විධිමත් අධ්‍යාපනය සාමාන්‍යයෙන් ආරම්භ වන විට එනම්, වයස අවුරුදු 5 දී පුළුල් ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ යුතු' බව ය.
'කෙසේ වෙතත්, ලිංගික අධ්‍යාපනය ජීවිත කාලය පුරා ම සිදුවන ක්‍රියාවලියකි, ඇතැම්විට මුල් කාලීනව නිවසේදී, විශ්වාසදායක රැකබලා ගන්නන් සමගින් එම අධ්‍යාපනය ආරම්භ වේ. ඉගෙනීම වැඩිවිය පැමිණීමේ ක්‍රියාවලියකි; මුල් අවධියේදී උගන්වන දේ වැඩිවිය පැමිණීමේ සහ නව යොවුන් වියේදී උගන්වන දේට වඩා බෙහෙවින් වෙනස් වේ,' ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
'ලිංගිකත්වය ගැන ඉගැන්වීම අනිවාර්යයෙන් ම ලිංගිකත්වය ගැන ඉගැන්වීම ලෙස අදහස් නොවේ. නිදසුනක් වශයෙන්, තරුණ වයස් කාණ්ඩ සඳහා, පුළුල් ලිංගික අධ්‍යාපනය හරහා දරුවන්ට තම ශරීර ගැන ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ හැඟීම් සහ හැඟීම් හඳුනා ගැනීමට උපකාර කළ හැකි අතර, පවුල් ජීවිතය සහ විවිධ ආකාරයේ සබඳතා, තීරණ ගැනීම, කැමැත්ත පිළිබඳ මූලික මූලධර්ම සහ ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම හෝ අපයෝජනය සිදුවුවහොත් කළ යුතු දේ සාකච්ඡා කරයි. මෙම ආකාරයේ ඉගෙනීම ජීවිත කාලය පුරා ම සෞඛ්‍ය සම්පන්න සබඳතා සඳහා පදනම ස්ථාපනය කරයි,' ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ දරුවන් ලිංගික අපයෝජනවලට ලක්වීම පිළිබඳ දත්ත
ලොව පුරා වයස අවුරුදු 20ට අඩු ගැහැනු දරුවන් මිලියන 120ක් පමණ (දරුවන්ගෙන් 10න් 1ක් පමණ) බලහත්කාරයෙන් ලිංගික සංසර්ගය හෝ වෙනත් බලහත්කාර ලිංගික ක්‍රියාවන්ට මුහුණ දී ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසයි.
එහි ඇස්තමේන්තු අනුව, පිරිමි දරුවන් සහ පිරිමින් මිලියන 410 සිට 530 දක්වා (7න් 1ක් පමණ) ළමා කාලය තුළ ලිංගික හිංසනය අත්විඳ ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත අනුව, 2025 වසරේ මේ දක්වා දරුවන්ට එරෙහි ලිංගික අපයෝජන පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.














