'විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ' - මහජන උපයෝගිතා කොමිසම තීරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
නිසි කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළ බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂසහගත බව සහ මෙම කාර්තුව සඳහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් කරනු ලැබූව ද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සඳහා සංශෝධනයක් ක්‍රියාවට නැංවීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි ආදි කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව එහි සඳහන් ය.
නිසි කාලය තුළ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ඇයි?
2026 ජනවාරි සිට මාර්තු දක්වා සදහා වු ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා තිබී ඇත.
එහෙත්, 2026 පළමු කාර්තුව සඳහා විදුලි බල මණ්ඩලය සිය යෝජනාව 2025 දෙසැම්බර් 29 වන දා ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 08 වන දාට පෙර ඉදිරිපත්කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 05 වන දා දන්වා තිබිණි.
නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව විදුලි බල මණ්ඩලය 2026 ජනවාරි 08 වන දා කොමිෂන් සභාවට දන්වා ඇති අතර, මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති නිසා එය තවදුරටත් ප්‍රමාද වීමෙන් සමාලෝචනය හා මහජන උපදේශනවලින් පසුව ක්‍රියාවට නැගිය හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය තුළ බව කොමිසම පෙන්වා දෙයි.
කාර්තුවේ කෙටි කාලයක් සඳහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සංපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය බව කොමිසමේ නිවේදනයේ දැක්වේ.
කෙටි කාලයක් සඳහා ගාස්තු සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ආර්ථිකයට ඇති විය හැකි අහිතකර බලපෑම් සලකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
එමෙන් ම, 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වන දා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ද කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දන්වා තිබේ.
2026 පළමු මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය වසරේ සම්මත වූ නව විදුලි බල සංශෝධන පනතින් සිදු කිරීමට යන නව ව්‍යුහාත්මක වෙනස්කම්වලට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත විදුලි සේවකයන්ගේ වන්දි මුදල ගෙවීම සඳහා ලබා ගත ණය මුදලේ ගෙවිය යුතු වාරිකය ද පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට එයින් යෝජනා කර තිබිණි.














