රු. බිලියන 61ක් ලාභ ලබා තිබියදී ලංවිම යළිත් 18%ක ගාස්තු වැඩි කිරීමක් ඉල්ලීම ගැන දැඩි විවේචන

- Author, බීබීසී සිංහල
2025 මුල් මාස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රතියෝජනාව සහ ඒවා සම්බන්ධ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරනු ලැබුවේ පසුගිය ජනවාරි 17 වන දා ය.
කෙසේ වෙතත්, මේ වසරේ පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබේ.
ඒ සම්බන්ධ මහජන උපදේශන වැඩසටහන් මේ වන විට දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් පවත්වන අතර, එම වැඩසටහන්වලදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ මීළඟ වාරිකය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට විදුලි බල මණ්ඩලය පිරිවැය නිර්මිත ගාස්තු ක්‍රමවේදයක් සඳහා ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බවට එම මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දුව
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරග කළ සමයේදී එම මැතිවරණ වේදිකාවලදී දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ඔවුන් බලයට පැමිණි වහා ම විදුලි බිල 30%කින් පමණ අඩු කරන බවට ය.
කෙසේ වෙතත්, ජනවාරි මාසයේදී මහජන උපයෝගීතා කොමිසම විසින් 20%ක විදුලි ගාස්තු අඩු කිරීමක් නිවේදනය කළේ, රජයේ පාර්ශවයෙන් දිගින් දිගට ම මෙම ගාස්තු අඩු කිරීමට නොහැකි බවටත්, වැඩි කිරීමක් සිදුකළ යුතු බවටත් යෝජනා කරමින් සිටි අතරවාරයේදී ය.
මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට පාඩු සිදුවී ඇති නිසා 2025 වසරේ මීළඟ මාස 7ක කාලය සඳහා 18.3%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබේ.
ඔබේ විදුලි ගාස්තුව ගණනය කරන්නේ කොහොම ද?
ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කරනු ලබන විදුලි ගාස්තු ගණනය කරන්නේ සමීකරණයක් ඇසුරිනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔවුන් මේ සඳහා ඉදිරි කාලපරිච්ඡේදයකට ගාස්තු පුරෝකථනයක් සිදුකරයි.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ජයනාත් හේරත්ගෙන් විමසීමක් කළ අතර ඔහු මෙම සමීකරණය සම්බන්ධයෙන් පැහැදිලි කළේ මෙසේ ය.
"විදුලි ගාස්තු තීරණය කිරීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා සමීකරණයක් තියෙනවා. දවසක ආදායම වියදම මත ගණනය කරන්න බෑ. අවුරුදු 2ක කාල පරාසයකට තමයි විදුලි ගාස්තු ක්‍රියාදාමය සම්පූර්ණ වෙන්නේ. විදුලි බල පනතේ තියෙනවා පිරිවැය නිර්මිත ගාස්තුව කියන එක," ඔහු පැවසුවේ ය.
ඔහු පෙන්වා දුන්නේ, විදුලි බල පනතට අනුව විදුලි බල මණ්ඩලයට පාඩු ලැබීමට නොහැකිවා සේ ම ලාභ ලැබීමට ද නොහැකි බව ය.
එහෙයින්, විදුලි බල මණ්ඩලය පාඩු ලබන අවස්ථාවලදී එම පාඩුව පාරිභෝගිකයාගෙන් අය කර ගන්නා සේ ම ලාභ ලැබුවේ නම් ලාභයේ වාසිය ද පාරිභෝගික ජනාතාවට ලබා දිය යුතු බව ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් වසරකට දෙවරක් එනම් මාස හයකට වරක් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සිදු කරයි.
"දැන් සාකච්ඡා කරමින් සිටින්නේ ජූනි සිට දෙසැම්බර් දක්වා ගාස්තු සම්බන්ධයෙන් වෙන යෝජනාව. දැන් ක්‍රියාත්මක වන ක්‍රමවේදයට අනුව අවුරුද්දකට දෙපාරක් ගාස්තු සංශෝධනය වෙන්න ඕනේ. ජනවාරි සිට ජූනි දක්වා එකකුත්, ජූලි සිට දෙසැම්බර් දක්වා එකකුත් විදිහට. දැන් ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් එවලා තියෙනවා ජූනි සිට දෙසැම්බර් දක්වා මාස 7ක කාලයකට," ජයනාත් හේරත් පැවසීය.
"විදුලි ගාස්තු තීරණය වන්නේ ඇස්තමේන්තු මත. මුලින් ම ඉදිරි මාසවලට තියෙන විදුලි ඉල්ලුම විදුලි බල මණ්ඩලය හරහා ඇස්තමේන්තු කරනවා. ඒ ඇස්තමේන්තුගත ගිගා වොට් පැය ප්‍රමාණය, විවිධ විදුලි ජනන මූලාශ්‍ර වෙන ජල විදුලිය, ඩීසල්, සුළං බලාගාර, ගල් අඟුරු වගේ විවිධ ආකාරයෙන් ජනනය කරන්න යන වියදම ගණනය කරනවා. ජල විදුලිය නම් එක ඒකකයකට රු. 12.00ක් වගේ යන්නේ. ගල් අඟුරු නම් රු. 43.00ක් යනවා. ඒ විදිහට ජනන වියදම හදනවා."
"ඒ අනුව ඉදිරි කාලයේදී ගල් අඟුරු මිල, ඩීසල් මිල ගැන තියෙන්නෙත් ඇස්තමේන්තු. ඊට පස්සේ ප්‍රධාන ලයින් හරහා ඇවිල්ලා, නැවත අපේ ගෙවල්වලට ලබාදෙන ලයින් දක්වා එනවා. ඉන්පසුව මනු කියවන්නා ඇවිල්ලා විදුලි බිල් ගණනය කිරීම කරනවා. මේ හැම වියදමක් ම ගණනය කරලා අදාළ මාස හයක කාලසීමාවේ විදුලිය ලබා දීමට යන මුළු වියදම ඇස්තමේන්තු කරනවා," යැයි ඔහු වියදම ගණනය කරන ආකාරය පිළිබඳ විස්තර කළේ ය.
"ඊළඟට කරන්නේ අපි ගණනය කරන මේ කාලයට අදාළව කලින් වසරේ ඒ කාලයේ සිදුවෙලා තියෙන්නේ මොකක් ද කියන එක බලන එක. මේ වෙනකොට ඒ කාලයේ සත්‍ය දත්ත ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලය සඳහාත් ගාස්තු තීරණය කරන්න අපි ඇස්තමේන්තුවක් සකස් කරලා තියෙනවා. පහුගිය අවුරුද්දේ ජූලි සිට දෙසැම්බර් දක්වා කාලයේ අපට තියෙනවා රු. බිලියන 25ක ලාභයක්. නමුත් ඒක විදුලි බල මණ්ඩලයට අයිති දෙයක් නෙවෙයි. ඒක අයිති පාරිභෝගිකයාට. එතකොට ඒක ඉදිරි කාලේ වියදමෙන් අඩු කරනවා."
"ඒ වගේ ම අපි ගණනය කරන කාලය තුළ ගෙවන්න තියෙන විදුලි බල ක්ෂේත්‍රය සඳහා අරගෙන තියෙන ණය මුදල් ආපසු ගෙවීමට අදාළ ගාස්තුවකුත් විදුලි බිලේ ඒකකයකට ඇතුළත් වෙනවා. මෙන්න මේවා තමයි විදුලි ගාස්තු සමීකරණය ඇතුළේ තියෙන දේවල්. මේ විදිහට සියලු ම දේවල් ඇස්තමේන්තු කරලා ඊළඟ කාලපරිච්ඡේදය සඳහා විදුලි ඒකකයක මිල තීරණය කරලා යවනවා. ඒ දේ තමයි අපි ජනවාරි 18 කළේ," මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.
ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව කුමක් ද?
බස්නාහිර පළාතේ මහජන උපදේශන වැඩසටහන පසුගිය ජූනි 03 වන දින කොළඹදී පැවැත්වූ අතර, එහිදී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මාධවී කුඩලිගම විසින් 2025 ඉදිරි මාස හත සඳහා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලැබුවා ය.
"2025 වසර සඳහා බලශක්ති ඉල්ලුම ගිගා වොට් පැය 17,291ක් වෙනවා. එතනින් 2025 අවසාන මාස හතේ ඉල්ලුම ගිගා වොට් පැය 10,116ක් කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ කියන්නේ දිනකට අවශ්‍ය වෙන බලශක්ති ඉල්ලුම ගිගා වොට් පැය 47.3යි."
මෙම බලශක්ති ඉල්ලීම සපිරීම සඳහා ජනන යෙදවුම් සැලසුමක් සකස් කරන අතර එහිදී එම සැලසුම සඳහා පහත පුරෝකථනයන් සිදුකර ඇති බව ඇය පෙන්වා දුන්නා ය.
"ජනන යෙදවුම් සැලසුම ක්‍රියාත්මක කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙයි කියලා. ලක්විජය ගල් අඟුරු බලාගාරය, වික්ටෝරියා බලාගාරය, ඉහළ කොත්මලේ බාලාගාරය වැනි බලාගාරවල විවිධ නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිත යි. මේ සඳහා සති හයක සිට මාස තුනක දක්වා කාලයක් අපට අවශ්‍ය වෙනවා. ඊට අමතරව ජූලි මාසයේ සිට 'සොබදනවි' පෞද්ගලික තාප බලාගාරය ද්විත්ව චක්‍ර ක්‍රමයට ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන් ම ජල විදුලියෙන්, ගල් අඟුරුවලින් සහ පුනර්ජනනීය බලශක්තිවලින්. ජලාශවලට ජලය ගලා ඒම ගිගා වොට් පැය 3,278ක් ලෙස ඇස්තමේන්තු කළා."
"ඒ අනුව 2025 අවසාන මාස 7 සඳහා ආදායම රු. බිලියන 230,713.51ක් අපේක්ෂා කරනවා," යැයි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මාධවී කුඩලිගම පැවසුවා ය.
මෙම ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ගාස්තු සංශෝධන ඉල්ලීමෙහි දැක්වෙන්නේ, පසුගිය ජනවාරි මාසයේදී මහජන උපයෝගිතා කොමිසම මණ්ඩලයේ ඉල්ලීමකින් තොර ව සිදුකළ ගාස්තු අඩු කිරීම නිසා විදුලි බල මණ්ඩලය මේ වන විට පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බව ය.
මේ නිසා රු. බිලියන 8.2ක අලාභයක් සිදුව ඇති බව එහි සඳහන් ය.
ඉදිරි මාස හත සඳහා වියදම ගණනය කිරීමේදී රු. බිලියන 42ක ආදායම් වියදම් පරතරයක් පවතින නිසා 18.3%කින් ගාස්තු ඉහළ දැමිය යුතු බව විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමෙහි දැක්වේ.
'2024 ලංවිම ලාභය රු. බිලියන 61ක්'
කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ජයනාත් හේරත් පෙන්වා දෙන්නේ, මෙම වසරේ මුල් මාස තුනේ අදායම් වියදම් සලකා බලා පාඩු ලබන බව පැවසීමට නොහැකි බව ය.
"2023, 2024 වර්ෂ දෙක ම ලාභ ලැබුවා. අවුරුදු දෙකක කාලය ඇතුළේ මේ විදිහට ලාභ ලබන්නේත් නැති පාඩු ලබන්නේත් නැති තත්ත්වයට සමබර වෙනවා. එතකොට තමයි පිරිවැය නිර්මිත ගාස්තුවක් හැදෙන්නේ. එතකොට ජනවාරි ඉඳලා මාර්තු දක්වා අරගෙන පාඩු ලැබුවා කියලා කියන්න බෑ," ඔහු පෙන්වා දෙයි.
"2024 අවුරුද්දේ ලාභ ලබලා තියෙනවා රු. බිලියන 61ක්. මේ අවුරුද්දේ දැන් පාඩු ලබලා තියෙන්නේ බිලියන 8යි. විදුලි බල පනතට අනුව ලාභය පාරිභෝගිකයන්ට දෙනකොට බිලියන 8 අඩු කළත් තව බිලියන 53ක් ඉතුරු යි."
ඔහු පෙන්වා දෙන්නේ, තවමත් සත්‍ය දත්ත ඇත්තේ පළමු මාස තුන සඳහා පමණක් බව ය.
"ඒ වගේ ම පහුගිය අවුරුද්දේ ඒ නිශ්චිත කාලය ඇතුළේ ලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ සාධක තියෙනකොට අපට කියන්න බෑ විදුලි බිල වැඩි කරන්න කියලා."

'රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡාවලට මේ රටේ විදුලි පාරිභෝගිකයන් බිල්ලට දිය යුතු නෑ'
ජූනි 03 පැවති බස්නාහිර පළාතේ මහජන උපදේශන වැඩසටහනේ අදහස් දැක්වීම සඳහා විවිධ තලවල විදුලි පාරිභෝගිකයන්, සංවිධාන විශාල සංඛ්‍යාවක නියෝජිතයන් පැමිණ තිබූ අතර, ඒ සඳහා ආසන්න වශයෙන් 80 දෙනෙකු පමණ ලියාපදිංචි වී තිබිණි.
එහිදී බලශක්ති විශේෂඥ අශෝක් අබේගුණවර්ධන පෙන්වා දුන්නේ, විදුලි බල මණ්ඩලයේ වියදම් පුරෝකථනයන් සහ තමන් සිදු කර ඇති පුරෝකථනයන් අතර වෙනසක් පවතින බව ය.
"ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට අනුව ඉදිරි මාස හත සඳහා ජනන වියදම රු. බිලියන 157ක් කියලා යෝජනා කරලා තියෙනවා. අපේ ගණනය කිරීම්වලට අනුව රු. බිලියන 139ක් විය යුතු යි. ඒ ගැන පැහැදිලි කළොත්,... පහුගිය අවුරුදු කිහිපයේ ම විදුලි බල මණ්ඩලය පුරෝකථනයන් සකස් කරලා තියෙන්නේ වැටෙන වැස්සට වඩා අඩුවෙන් වැස්ස ලැබෙනවා කියලා. පහුගිය මාස හතරේ දත්ත සංසන්දනය කළොත් පුරෝකතනයේ සහ දත්තවල 36%ක වෙනසක් තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.
"ඒ වගේ ම මීළඟට ලාභ ම තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය. එතනත් ගණනය කිරීම්වල 22%ක වෙනසක් තියෙනවා. ඒ අනුව මේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අධ්‍යයනය කරලා විද්‍යාත්මකව සහ සංඛ්‍යානාත්මක ව ගණන් හදලා බැලුවා ම 11%ක අඩුවීමක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි වියදම රු. බිලියන 139ක් විය යුතු යි කියලා කියන්නේ," ඔහු පැවසුවේ ය.
එමෙන් ම මෙවැනි ගාස්තු වැඩිවීමක් එක්වර ම ක්‍රියාත්මක කිරීමෙන් පාරිභෝගිකයන්ට ඒ සඳහා හැඩ ගැසීමට කාලය ප්‍රමාණවත් නොවන බව ඔහු පැවසුවේ ය.
"ජූනි මාසයේ ආසන්න දිනක මේ සංශෝධනය කළොත් පාරිභෝගිකයාට ඒ සඳහා හැඩ ගැසෙන්න තියෙන ඉඩ හොඳට ම අඩු යි. ඒ වගේ ම මේ තත්ත්වය බලපානවා නම් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡාවලට, ඒවාට මේක අදාළ කර ගත යුතු නෑ. ඒ වෙනුවෙන් මේ රටේ විදුලි පාරිභෝගිකයන් බිල්ලට දිය යුතු නෑ."
'ලියාපදිංචි වෙලා තිබුණ කර්මාන්ත ශාලාවලින් 41%ක් වහලා දාලා'
මහජන උපදේශන වැඩසටහන සඳහා විවිධ කර්මාන්තකරුවන් ද සම්බන්ධ වී සිටි අතර, පානළුව කර්මාන්ත කලාපයේ සභාපති උපාලි ජයසේකර අදහස් දක්වමින් විදුලි ගාස්තු ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක් වැසීගොස් ඇති බව පෙන්වා දුන්නේ ය.
"ලංකා විදුලි බල මණ්ඩලය සමග ලියාපදිංචි වුණ කර්මාන්ත ශාලා 44,000ක් 2023 අවුරුද්දේ තිබිලා තියෙනවා. ඒකෙන් 18,300ක් වහලා දාලා තියෙනවා. ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය දවසකට කර්මාන්ත ශාලා 50ක් වහල දාලා තියෙනවා 2023 අවුරුද්දේදී. ලියාපදිංචි වෙලා තිබුණ කර්මාන්ත ශාලාවලින් 41%ක් වහලා දාලා තියෙනවා," ඔහු පැවසුවේ ය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී විය හැකි සමාජ බලපෑම සම්බන්ධයෙන් ද මීට පෙර ගාස්තු සංශෝධනය කිරීමේදී සලකා බැලුව ද මෙවර යෝජනාවේ එය අන්තර්ගත නොවීම ඔහු විවේචනය කළේ ය.
"විදුලි බල මණ්ඩලයේ ජනවාරි ඉදිරිපත් කරපු ගාස්තු යෝජනාවේ සෝෂල් ඉම්පැක්ට් කියලා කොටසක් තිබුණා, නමුත් මේ යෝජනාවේ ඒ කොටස හැලිලා තියෙනවා. එතකොට ඉදිරියේදි ගාස්තු වැඩි කිරීමකින් සෝෂල් ඉම්පැක්ට් එකක් නැද්ද? ඒක හිතා මතා අමතක කළා ද?, ඒක අමතක වුණා ද? නැතිනම් ඔබතුමන්ලට ඒක දැනෙන්නේ නැද්ද?," ඔහු ප්‍රශ්න කළේ ය.
"2025 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 94ක් වියදම. කොමිසම ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 88ක්. නමුත් ඇත්තට ම මුදල බිලියන 79යි. 16%ක වෙනසක් තියෙනවා විදුලි බල මණ්ඩලය එක්ක. එතකොට අපට මේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන ගණන් පිළිගන්න පුළුවන් ද? ඒ නිසා අපි යෝජනා කරනවා මෙයාලා ඉදිරිපත් කරලා තියෙන ඇස්තමේන්තු ස්වාධීන විගණනයකට යටත් කරන්න කියලා ගාස්තු වැඩි කරන්න කලින්," යැයි උපාලි ජයසේකර ද මෙම ගණනය කිරීම් අතර ඇති වෙනස පිළිබඳව පෙන්වා දුන්නේ ය.
'විදුලි බිල වැඩි කර ගන්න තොග ගිණුමේ කරපු වෙනස්කම් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු යි'
පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේ විදුලි බල හා බලශක්ති ඇමතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටි අතර, ඔහුගේ අදහස් දැක්වීමේ වාරයේදී ඔහු පෙන්වා දුන්නේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් අතර පරස්පරතාවක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් කොමිසම සොයා බැලිය යුතු බවත් ය.
"පහුගිය අවුරුද්දේ ජූනි මාසයේ මාර්ගෝපදේශයේ තිබූ එක් ව්‍යතිරේඛයක් තමයි මහජන උපයෝගිතා කොමිසම මොකක් කිව්වත් තොග ගිණුම භාවිත කරලා විදුලි බිල වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා," හිටපු බලශක්ති ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.
"තොග ගිණුම සකස් කිරීමේදී සහ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී අනුගමනය කරපු නිර්ණායකයන්, ඒ වගේ ම විදුලි බල මණ්ඩලයේ ලාභ අලාභ ගණනය කරන ගිණුමේ ගණනය කිරීමේ නිර්ණායකයන් මේවා එකිනෙකට වෙනස්. එක නිර්ණායකයක් මත මේ සියල්ල සකස් විය යුතු යි. තමන්ට විදුලි බිල වැඩි කර ගන්න තොග ගිණුමේ කරපු වෙනස්කම් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු යි කියලා මම කොමිසමට යෝජනා කරනවා."
තව ද ලංකා විදුලි බල මණ්ඩලය විසින් ම සකස් කරන ලද ලේඛන දෙකක අතිරික්ත ආදායම සඳහන්ව ඇත්තේ අගයන් දෙකක් ලෙස බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"ඒ වගේ ම ඔබේ මේ ලියවිල්ලේ සඳහන් වෙනවා මේ අවුරුද්දේ මේ ජූනි-දෙසැම්බර් සංශෝධනයේදී රු. මිලියන 11,858ක ආදායම් අතිරික්තයක් තියෙනවා කියලා. විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර මූල්‍ය ප්‍රකාශනයට අනුව ඒ අගය රු. බිලියන 37.33ක්. ඒ නිසා මේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී විකෘති කිරීම් සිදු කරලා කෙසේ හෝ මේ ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට පාර හදා ගන්න බව අපට පේනවා," ඔහු පැවසීය.
මෙවැනි "තාක්ෂණික කාරණා මත විදුලි බල පද්ධතිය පාඩු ලබන බව පෙන්වලා එහි වගකීම නිලධාරීන් සහ ඇමතිවරුන් භාර ගන්නේ නැතිව මහජනයා පිට පැටවීමට සම්පූර්ණයෙන් ම අපි විරුද්ධ බව ප්‍රකාශ කරන්න ඕනේ," හිටපු ඇමතිවරයා පැවසුවේ ය.
මෙම වැඩසටහනේදී බොහෝ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද මෙම කරුණු සම්බන්ධයෙන් එම වැඩසටහනට සම්බන්ධ වී සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ඩබ්. එදුස්සූරියගෙන් වැඩිදුර විමසීමට බීබීසී සිංහල විසින් උත්සහ කළ නමුත් ඔහු පැවසුවේ, ඒ සමබන්ධ සියලු කරුණු වැඩසටහන ආරම්භයේදී ලංකා විදුලි බල මණ්ඩලය පාර්ශවයෙන් කළ කරුණු දැක්වීමේදී ඉදිරිපත් කර ඇති බව ය.














