බලශක්ති ඇමති අද හෙටම කළ නොහැකි යැයි කියූ විදුලි බිල අඩු වූණේ කොහොමද?

Four analog electricity meters in a row on the outside of a building close up shot.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

2025 මුල් මාස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රතියෝජනාව සහ ඒවා සම්බන්ධ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව කොළඹදී අද (ජන. 17) පැවති මාධ්‍ය හමුවකදී එම කොමිෂන් සභාව පැවසීය.

ඒ අනුව, සංශෝධිත විදුලි ගාස්තු අද (ජන. 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මහජන උපයෝගීතා කොමිසම මෙම නිවේදනය සිදු කළේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් පසුගිය ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේ දී විදුලි බිල කඩිනමින් අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කළ පසුබිමක වීම විශේෂත්වයකි.

එක් එක් අංශය සඳහා ගාස්තු වෙනස් වන්නේ මෙහෙමයි

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ගෘහස්ථ අංශය සඳහා 20%කින් විදුලි ගාස්තු පහළ දමා තිබේ.

ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යායතන සඳහා 21%කින් විදුලි ගාස්තු පහළ දමා ඇත. හෝටල් සඳහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින් ද විදුලි ගාස්තු පහළ දමා ඇත.

පොදු කාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12%කින් පහළ දමා තිබේ. රාජ්‍ය ආයතන සඳහා 11%කින් ද වීදි ලාම්පු සඳහා 11%කින් ද ගාස්තු අඩු කර තිබේ.

ගෘහස්ථ අංශයේ පාරිභෝගික කාණ්ඩ අනුව වෙනස් වන්නේ මෙහෙමයි

ගෘහස්ථ අංශයේ ඒකක 0-30 දක්වා 29%, ඒකක 31-60 දක්වා 28%කින්, ඒකක 61-90 දක්වා 19%කින්, ඒකක 91-180 දක්වා 18%කින් සහ ඒකක 180ට වැඩි පාරිභෝගිකයින් සඳහා 19%කින් විදුලි ගාස්තු පහළ දමන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ ය.

ඒ අනුව, එම කාණ්ඩයේ සමස්තයක් වශයෙන් විදුලි ගාස්තු අඩුවීමේ ප්‍රතිශතය 20%කි.

ඇමති පැවසුවේ කුමක් ද?

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරග කළ සමයේ දී එම මැතිවරණ වේදිකාවල ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ඔවුන් බලයට පැමිණි වහාම විදුලි බිල 30%කින් පමණ අඩු කරන බවට ය.

මීට පෙර රජය පැවති සමයේ දී විදුලි බිල අඩු කරන ලෙස හඬ නැගූ ප්‍රධාන පාර්ශවයක් වූයේ ජාතික ජන බලවේගයයි.

ජනාධිපතිවරයා බලයට පත් වී යම් සැලකිය යුතු කාලයක් ගත වූ තැන මෙන් ම, විදුලි බිල අඩු කරන ලෙස විපක්ෂයේ හඬක් නැගෙමින් තිබෙන අවස්ථාවක මෙම විදුලි බිල අඩු කිරීම මහජන උපයෝගිතා කොමිසම සිදු කළ ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ එවැනි අඩු කිරීමක් අද හෙටම සිදු කිරීමට නොහැකි බවයි.

"දවසෙන් දෙකෙන් විදුලි බිල අඩු කරනවා කියල අපි කොහෙවත් කියලා නෑ. අවුරුදු තුනක් ඇතුළත තමයි අපි මේක කරන්න සැලසුම් කරලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය සමග කතා කළාම ඔවුන් යෝජනා කළේ 37%කින් විදුලි බිල වැඩි කරන්න ඕනේ කියලා," ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු මේ ප්‍රකාශය සිදු කළේ 2025 ජනවාරි 09 වනදා යි.

'විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යයෙන් ම සිදු වෙනවා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලශක්ති අමාත්‍යවරයා මෙන් ම බලශක්ති අමාත්‍යංශයේ විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් විසින් දෙසැම්බර් මස 12 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ 2025 වසරේ මුල් මස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අදායම් සහ වියදම් අතර රුපියල් බිලියන 39ක හිඟයක් ඇතිවන බවයි.

2024 වසරේ දී එම අදායම් වියදම් අතර වෙනස සලකා බැලූ විට රුපියල් බිලියන 41ක අතිරික්තයක් පවතින බවත්, එම අතිරික්තය ඉහත කී බිලියන 39ක හිඟය පියවීමට යොදාගත යුතු බව ඔහු පැවසුවේ ය.

"2025 පළමු මාස 6 තුළ විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම යන කොටස් තුනේ වියදම සහ විදුලි බල මණ්ඩලය ගෙවීමට තිබෙන ණයවල එකතුව රුපියල් බිලියන 268ක්. මේ පවතින විදුලි ගාස්තු ක්‍රමයම ඉදිරි මාස හයට පවත්වාගෙන ගියත් අපට ලැබෙන අදායම් පුරෝකථනය වෙන්නේ රු. බිලියන 229යි," ඔහු පැවසුවේ ය.

"ඒ අනුව තමයි විදුලි ගාස්තුව වැඩි කරන්නේ නැතිව, අඩු කරන්නේ නැතිව පවත්වාගෙන යන්නේ."

අමාත්‍යවරයා සහ විවිධ පාර්ශවයන් විසින් මේ ආකාරයෙන් විදුලි බිල අඩු කිරීමක් කළ නොහැකි බවට ප්‍රකාශ අතර තිබෙන පසුබිමක මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කරන විදුලි බිල අඩු කිරීම නිශ්චිතවම සිදුවන්නේදැයි මාධ්‍යවේදීන් විසින් මාධ්‍ය හමුවේදී මෙම නිවේදනය සිදුකළ එම කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ජයනාත් හේරත්ගෙන් දිගින් දිගටම විමසන ලදී.

එහිදී ඔහු ප්‍රකාශ කළේ විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව මෙම අඩු කිරීම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක වන බවයි.

"මිට පෙර විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ අතිරික්තය විදිහට අපට ලබාදුන්නා පුරෝකථනවල සහ අපි විසින් ඒවා පරික්ෂා කිරීමේ දී ඒ සංඛ්‍යාවල වෙනසක් පවතින බව පැහැදිලි වුණා. විදුලිය ජනනය සඳහා වන වියදම්වල වෙනසක් නිරීක්ෂණය වුණා. ඉදිරි මාස හයේ අදායම් පුරෝකථන අනුව ගාස්තු අඩු කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒ අනුව තමයි මේ විදහට අවසන් තීරණය නිවේදනය කරන්නේ. මේ අවසන් තීරණය අද [ජනවාරි 17] මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා," ඔහු පැවසීය.

'සංවර්ධන කටයුතු කප්පාදු කර විදුලි බිල අඩු කරන්න සිදුවෙනවා'

නිවේදනය කළ විදුලි බිල අඩු කිරීම ලංකා විදුලිබල මණ්ඩලයට කිරීමට හැකි දැයි බීබීසී සිංහල විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්තගෙන් විමසිමක් කරන ලදී.

"ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපට වියදම් කප්පාදු කරලා කරන්න වෙන්නේ. සංවර්ධන කටයුතු සඳහා වෙන් කරලා තියෙන වගේ වියදම් අඩු කරලා තමයි අඩු කිරීම කරන්න වෙන්නේ," ඔහු පැවසුවේ ය.

එහි දී අප විමසා සිටියේ යෝජිත විදුලි බලාගාර ඉදි කිරීම් මේ හේතුවෙන් නැවත්වීමට සිදුවන්නේ ද යන්නයි.

"බලාගාරවලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ට්‍රාන්ස්ෆෝමර් විශාල කරන එක වගේ දේවල් කරන එක අපි කරනවා. ඒ වගේ දේවල්වලට යොදන සල්ලි තමයි අඩු කරන්න වෙන්නේ."

මේ වන විට බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ය.