'ලංවිම විශ්‍රාම වන්දි ගෙවීමේ බර පාරිභෝගිකයන් පිටට': යළිත් 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

විදුලි බල ඇමති කුමාර ජයකොඩි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/Facebook

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

වර්තමාන ජාතික ජන බලවේග රජය බලයට පැමිණීමට පෙර විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ පක්ෂයකි.

කෙසේ වෙතත්, ඔවුන් බලයට පැමිණීමෙන් පසුව 2025 වසරේ මුල් කාර්තුව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටි අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් 2025 ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේදී විදුලි බිල කඩිනමින් අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කරන ලද පසුබිමක ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.

ඉන්පසුව 2025 මැයි මාසයේදී 2025 පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබූ අතර, ජූනි මාසයේදී මහජන උපයෝගීතා කොමිසම 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට ප්‍රකාශයට පත් කළේ ය.

ඒ, 2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ය.

තත්ත්වය එසේ තිබියදී ලංකා විදුලි බල මණ්ඩලය නැවත වරක් 6.8%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටි අතර, වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම ඔක්තෝබර් මාසයේදී තීරණය කළේ ය.

2026 පළමු මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ එවන් පසුබිමක ය.

පසුගිය වසරේ සම්මත වූ නව විදුලි බල සංශෝධන පනතින් සිදු කිරීමට යන නව ව්‍යුහාත්මක වෙනස්කම්වලට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත විදුලි සේවකයන්ගේ වන්දි මුදල වන රු. මිලියන 11,500කට ආසන්න මුදලක් ද විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම ද එම ගාස්තු වැඩි කිරීමට එක් හේතුවකි.

ලංවිම ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටින්නේ ඇයි?

ලංකා විදුලි බල මණ්ඩලයේ දැවැන්ත ආයතනික වෙනස්කමක් සිදු වීමට මාසයක පමණ කාලයක් තිබියදී ඉල්ලා සිටින මෙම ගාස්තු වැඩි කිරීමට ඔවුන් හේතු කිහිපයක් පෙන්වා දී තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2026 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන පළමු මාස තුන සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු වියදම රු. මිලියන 137,016ක් ලෙස දක්වා ඇති අතර, එහි අපේක්ෂිත ආදායම රු. මිලියන 113,161කි.

පසුගිය වසරින් ඉදිරියට ගෙන ආ ආදායම රු. මිලියන 10,761ක් වන අතර, ආදායම් හා වියදම් අතර පරතරය රු. මිලියන 13,094ක් වේ.

ලංවිම 11.57%ක ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා තිබෙන්නේ එම පරතරය පියවා ගැනීමට ය.

මෙම මාස තුනේ වියදම් කාණ්ඩයේ මූල්‍ය වියදම් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වෙන විදුලි සේවකයන්ගේ වන්දි මුදල ද ඇතුළත් වී තිබීම කැපී පෙනෙයි.

2025 අගෝස්තු 25 වන දින කැබිනට් තීරණයකින් පසුව, ලංවිම සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර, සේවකයින් 2,158 දෙනෙකු සඳහා මුළු ඇස්තමේන්තුගත වන්දි මුදල රුපියල් මිලියන 11,554ක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මුදල වසර 5ක ණය මුදලක් ලෙස ලබාගෙන ගෙවීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව 2026 පළමු කාර්තුවේ ගෙවිය යුතු ණය වාරිකය වන රු. මිලියන 874.23ක මුදලක් ද මූල්‍ය වියදම් අතරට එක්ව ඇති අතර, එය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගනු ඇත.

මීට අමතරව කිතුල්ගල ජල විදුලි ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8ක (රු. මිලියන 540) මුදලක් 2026 පෙබරවාරි වන විට ගෙවිය යුතු නමුත්, ඉන් ගාස්තු වැඩි වීමට සිදුවන බලපෑම අඩු කර ගැනීමට එම මුදල මාස 6ක් තුළ ගෙවීමට ලංවිම සැලසුම් කර තිබේ.

තව ද තම්බපවනි සුළං විදුලි බලාගාරයට සම්බන්ධ රු. මිලියන 2,725ක ණය වාරිකයක් ද 2026 මාර්තු මාසයේදී පියවීමට ඇති අතර එය ද ඉහත පරිදි ගාස්තුවට බලපෑම අඩු වීම සඳහා මාස හයකින් ගෙවීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, එම ණය වාරිකය සහ කොන්ත්‍රාත් ගාස්තුවල පළමු මාස තුන සඳහා වන කොටස මූල්‍ය වියදම් සඳහා ඇතුළත් වේ.

විදුලි බලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'විදුලි සේවක වන්දිය විදුලි ගාස්තුවට එකතු කිරීම වැරදි ක්‍රමවේදයක්'

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පවසන්නේ, විදුලි සේවක වන්දිය විදුලි ගාස්තුවට එකතු කිරීම වැරදි ක්‍රමවේදයක් බව ය.

"ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වෙන විදුලි සේවකයන්ට ගෙවන වන්දි මුදල මෙවර විදුලි ගාස්තුවට එකතු කරලා තියෙනවා. එතන මිලියන 874ක් පාරිභෝගිකයන්ගෙන් අය කර ගන්න හදන එක වැරදියි."

"දැනට තියෙන පනත සහ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන පනතෙන් විදුලිය සපයන්න යන වියදම විතරයි ජනතාවගෙන් විදුලි ගාස්තු විදිහට අය කර ගන්න පුළුවන්. ගාස්තුවෙන් වන්දි මුදල අය කර ගන්න යනවා කියන්නේ ඒක විදුලිය සපයන්න යන වියදමක් නෙවෙයි. එතකොට ඒ ක්‍රමවේදය වැරදි යි," ඔහු පෙන්වා දෙයි.

"ඒ වගේ ම බලාගාරවලට මුදල් ගෙවන්න හදනවා. මෙච්චර මුදලක් ගෙවන්න ගියා ම අපේ විදුලි බිල සෑහෙන්න වැඩි වෙනවා," යැයි පැවසූ ඔහු තවදුරටත් පැවසුවේ, විදුලි ගාස්තු සඳහා යම් සහන ලබා දී ඇති කර්මාන්ත ක්ෂේත්‍රයේ සහන ද ඉවත් කිරීමට නියමිත බව ය.

"අඩු ආදායම්ලාභීන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දී තිබූ සහනත් මේ අය ඉවත් කරන්න යනවා කියලා අපට දැන ගන්න ලැබිලා තියෙනවා," සංජීව ධම්මික පවසයි.

දිට්වා හානිය අය කර ගන්නේ කොහොම ද?

2025 අවසානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයට රු. බිලියන 20ක පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම අනපේක්ෂිත වියදමෙන් රු. මිලියන 7,016ක් 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ඒවා බව ද ඔවුහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම වියදම පියවා ගැනීම සඳහා සහනදායී ණය පහසුකම් ලබා ගැනීමට ලංවිම උත්සහ කරමින් සිටින බවත්, එය අසාර්ථක වුවහොත් 2026 දෙවන කාර්තුවේ ගාස්තු සංශෝධනය හරහා දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අලාභය අය කර ගැනීමට සිදුවන බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධන යෝජනාවේ සඳහන් වේ.

මෙම ගාස්තු සංශෝධනය සඳහා එම අලාභය අය කර ගැනීම ඇතුළත් වී නොමැත.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ කුමක් ද?

බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අදහස විමසූ අතර, එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ, විදුලි සේවක වන්දි මුදල් ද ගාස්තු එකතු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ය.

එම යෝජනාවලිය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවත්, ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු පැවසීය.

"11.57%කින් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාවලිය මේ වන විට අපට ලැබිලා තියෙනවා. අපි දැන් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යනවා. ඒ අධ්‍යයන කටයුතුවලින් පසුව ඒ පිළිබඳ අපේ වාර්තාවක් සකස් කරලා ප්‍රසිද්ධ කරනවා. ඒ පිළිබඳව ඉදිරියේදී නිවේදනය කරලා මහජන අදහස් කැඳවීම සිදු කරලා ඒවාත් සැලකිල්ලට අරගෙන, පනතේ වගන්ති ප්‍රකාරව ගාස්තු සම්බන්ධ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත යි."