අද මධ්‍යම රාත්‍රියේ සිට ඔබේ විදුලි බිල්පත වෙනස් වන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මාස 7ක කාලය සඳහා 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය.
ඒ, අද දින (ජූනි 11) මහජන උපයෝගීතා කොමිසමේ පැවති නව ගාස්තු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මෙම නව ගාස්තු අද (ජූනි 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
මේ වසරේ පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබිණි.
ඒ සම්බන්ධ මහජන උපදේශන වැඩසටහන් මේ වන විට දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් පැවැත්වූ අතර, එම වැඩසටහන්වලදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.
විදුලි ගාස්තු වැඩි වන්නේ කොහොම ද?
මෙම සමස්ත 15%ක විදුලි බිල වැඩිවීමේදී පෙර පැවති ගාස්තුවලට සාපේක්ෂ ව නව විදුලි ගාස්තු යටතේදී, ගෘහස්ථ විදුලි පරිභෝජනයේ අඩු ම සීමාව වන මාසික විදුලි ඒකක 30 දක්වා භාවිත කරනන්ගේ මාසික බිල්පතේ වෙනස -23%කි.
ඒ එම කාණ්ඩයේ වැඩි ම ගාස්තු වැඩිවීමේ වෙනස වන අතර ඒකක 60 සීමාව භාවිත කරන්නන්ගේ බිලපත් දෙක අතර ගාස්තුවල වෙනස -16ක් බව මහජන උපයෝගිතා කොමිසමේ නිවේදනයේ දැක්වේ.
මාසික පරිභෝජනය විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් භාවිත කරන ආගමික සිද්ධස්ථාන සඳහා ගාස්තු වැඩි කිරීමක් සිදු කර නොමැති අතර අනෙකුත් කාණ්ඩ සඳහා 12%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කර ඇත.
ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තු වෙනස් වී ඇත්තේ මේ ආකාරයට වේ.

'ඉදිරි මාස හත සඳහා සමස්ත ගාස්තු වැඩිවීමේ වටිනාකම රු. බිලියන 268ක්'
ඉදිරි මාස 7 සඳහා විදුලි බල මණ්ඩලය සමස්ත වැඩිවීම රු. බිලියන 276ක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, මෙම වැඩිවීම රු. බිලියන 268ක් බව මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ජයනාත් හේරත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.
මීට පෙර බීබීසී සිංහල විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් සිදු කළ විමසීමකදී ඔහු පැවසුවේ පසුගිය වසරේ ලංකා විදුලි බල මණ්ඩලය රු. බිලියන 61ක ලාභයක් අත්පත් කරගෙන ඇති බව ය.
මෙමෙ වසරේ මුල සිදු කළ ගාස්තු සංශෝධනය හේතුවෙන් පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය රු. බිලියන 8ක පාඩුවක් ලබා ඇති බවට පවසමින් 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබිණි.
විදුලි ගාස්තු වැඩි කිරීමට පෙර මහජන උපයෝගීතා කොමිසම විසින් දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් පැවැත්වූ මහජන උපදේශන වැඩසටහන්වලදී විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව බොහෝ අදහස් පල විය.
එමෙන් ම එම වැඩසටහන් මාලාවේ බස්නාහිර පළාතේ පැවැත්වූ වැඩසටහනේදී අදහස් දැක්වීමට පැමිණ සිටි කිහිපදෙනෙකු ම ලංකා විදුලි බල මණ්ඩලයේ පිරිවැය සහ ලාභාංශ ගණනය කිරීම් විවේචනයට ලක් කළේ ඒවායේ දෝෂ පවතින බවට පෙවා දෙමින් ය.














