'විරෝධතාකරුවන්ට එක පෙළට වෙඩි තියාගෙන ගියා, මිනිස්සු හිටපු තැන්වල ම ඇදගෙන වැටුණා': ඉරානයේ මාරාන්තික මර්දනය ඇසින් දුටුවන් හෙළි කළ කරුණු

A masked protester stands on a platform above crowds at night in Kaj Square, in north-west Tehran. on 9 January 2026. They are holding a black and white photo above their head of the last shah's son, Reza Pahlavi. Light from buildings, streetlamps and shop fronts are illuminating the area. The protester's mask is black with a white mark on the front, with three holes cut out for their eyes, mouse and nose.

ඡායාරූප මූලාශ්‍රය, Public domain

    • Author, රෝජා අසාඩි
    • Author, සාරා නම්ජූ
    • Role, බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 8

''මම මගේ ඇස් දෙකෙන් ම දැක්කා - ඔවුන් විරෝධතාකරුවන්ට එක පෙළට වෙඩි තියාගෙන ගියා, මිනිස්සු හිටපු තැන්වල ම ඇදගෙන වැටුණා.''

ඔමිඩ් කතා කරන විට ඔහුගේ හඬ වෙව්ලන්නට විය. තමාව සොයා ආරක්ෂක හමුදා ලුහුබඳිනු ඇතැයි ඔහු බිය වී සිටියේ ය. බලධාරීන්ගෙන් පළිගැනීම් වලට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම හමුවේ, ඉරානය සහ ලෝකයේ අනෙක් රටවල් අතර දිගු කලක් පවත්නා නිශ්ශබ්දතාවයේ පවුරු බිඳ දමමින් කතා කිරීම අතිශය විශාල ධෛර්යයක් අවශ්‍ය කරන කාර්යයකි.

අවුරුදු 40 මුල් අවධියේ පසු වන ඔමිඩ්, (ආරක්ෂාව වෙනුවෙන් අප ඔහුගේ නම වෙනස් කර ඇත.) දරුණු වෙමින් පවතින ආර්ථික දුෂ්කරතාවලට එරෙහිව ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ කුඩා නගරයක වීථිවල විරෝධතා පවත්වමින් සිටියි.

ඔහු පැවසුවේ, ආරක්ෂක හමුදා තම නගරයේ නිරායුධ විරෝධතාකරුවන්ට කලාෂ්නිකොව් වර්ගයේ ප්‍රහාරක රයිෆල්වලින් වෙඩි තැබූ බව ය.

"අපි කුරිරු රෙජීමයක් එක්ක අතේ කිසි ම දෙයක් නැතුව සටන් කරනවා," ඔහු පැවසීය.

Protesters gathered in front of burning vehicles in Tehran at night in video released on 9 January 2026. Thick black smoke billows from the hulks of several burning cars with a large vehicle in the background. Around a dozen people are in the foreground. Lights from buildings are in the background.

ඡායාරූප මූලාශ්‍රය, Eyewitness image / Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිකුරාදා ටෙහෙරානයෙන් නිකුත් වූ දර්ශනවල මෝටර් රථ ගිනි ගන්නා ආකාරය දැක්වේ.

දෙසැම්බර් 28 වන දා ආරම්භ වී පසුගිය සතියේ රට පුරා පැතිර ගිය විශාල විරෝධතාවලට පසුව, ආරක්ෂක බළකා සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරන ලද කෲර මර්දනය පිළිබඳ වාර්තා බීබීසී පුවත් සේවය වෙත ලැබී තිබේ.

එතැන් සිට බලධාරීන් විසින් ඉන්ටර්නෙට් ප්‍රවේශය අවහිර කර ඇති අතර, එමගින් ඉරානයේ සිට වාර්තාකරණයේ නිරත වීම මීට පෙර කිසිදු දිනෙක සිදු නොවූ තරම් අපහසු වී ඇත. ඉරානය තුළ සිට වාර්තා කිරීම ඉරාන රජය බීබීසී පර්සියානු සේවයට තහනම් කර ඇත.

රට පුරා පැවති විශාලතම ආණ්ඩුවට එරෙහි විරෝධතාවලින් එකක් බ්‍රහස්පතින්දා පැවති අතර එය විරෝධතා මාලාවේ 12 වන රාත්‍රිය යි. ඊට පසු දින, ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මෙලෙස පැවසුවේ ය. "ඉස්ලාමීය ජනරජය පසුබසින්නේ නැහැ." ආරක්ෂක බළකාය සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය ඔහුගෙන් නියෝග ලබා ගන්නා බැවින් දරුණු ලේ වැගිරීම් සිදු වූයේ ඉන් අනතුරුව බව පෙනෙන්නට තිබේ.

ඉරාන බලධාරීන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කරදර ඇති කරන බවට චෝදනා කළ අතර "ත්‍රස්තවාදී ක්‍රියා" හෙළා දකින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.

A large group of people gather in front of buildings in Babol. Someone near the camera has their hands in the air. It is after dark and lights from buildings illuminate the area.

ඡායාරූප මූලාශ්‍රය, Eyewitness image

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පතින්දා පළ කරන ලද වීඩියෝවක උතුරු ඉරානයේ බාබොල්හි විශාල ජනකායක් දක්නට ලැබිණි.

'විනිශ්චයක් දෙන දිනය'

ටෙහෙරානයෙන් පැමිණි තරුණ කාන්තාවක පැවසුවේ, පසුගිය බ්‍රහස්පතින්දා ''විනිශ්චයක් දෙන දිනය'' ලෙස හැඟුණු බව ය.

"ටෙහෙරාන්වලින් දූරස්ථ ප්‍රදේශවල පවා විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී තිබුණා — ඔබට විශ්වාස කරන්න බැරි තැන්වල පවා," ඇය පැවසුවාය.

''නමුත් සිකුරාදා, ආරක්ෂක බළකාය ඇවිත් මරාගෙන මරාගෙන ගියා. ඒ ඔක්කොම මම මගේ ඇස්වලින් ම දැක්ක නිසා මම අසනීප වුණා, මගේ ආත්ම ශක්තිය සම්පූර්ණයෙන් ම කඩාගෙන වැටුණා. සිකුරාදා ලේ පිරුණු දවසක් වුණා."

සිකුරාදා ඝාතනවලින් පසු, මිනිසුන් පිටතට යාමට බිය වූ බවත්, බොහෝ දෙනෙක් දැන් මංතීරුවල සහ ඔවුන්ගේ නිවෙස් තුළ සිට යාච්ඤා කරන බවත් ඇය පැවසුවා ය.

ටෙහෙරානය යුධ පිටියක් වූ බවත්, විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගෙන් වීදි පිරී ඉතිරී තිබූ බවත් ඇය පැවසීය.

නමුත් ඇය පැවසුවේ ''යුද්ධයකදී දෙපැත්තට ම අවි තිබෙනවා. මෙහේ මිනිස්සුන්ට පුළුවන් කෑ ගහන්න යි මිය යන්න යි විතරයි. ඒක ඒකපාර්ශවික යුද්ධයක්.''

A lorry burns during protests in Tehran on 8 January 2026. It is facing a fence. A cab door is wide open and flames are engulfing the front of the vehicle.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සති කිහිපයක විරෝධතාවලින් පසු බලධාරීහු ඉරානයේ පාලනය නැවත ලබා ගැනීමට උත්සාහ කරති

ටෙහෙරානයට බටහිර දෙසින් පිහිටි නගරයක් වන ෆාර්ඩිස්හි සිටින ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ, සිකුරාදා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය යටතේ ක්‍රියාත්මක පැරාමිලිටරි බසීජ් බළකායේ සාමාජිකයින් පැමිණ පොලිසිය නොසිටි අවස්ථාවකදී වීථිවල සිටි විරෝධතාකරුවන්ට හදිසියේ පහර දුන් බව ය.

ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, නිල ඇඳුමින් සැරසී යතුරු පැදිවලින් පැමිණි හමුදා භට පිරිස් විරෝධතාකරුවන්ට සෘජුවම ජීව උණ්ඩවලින් වෙඩි තැබූහ. හඳුනා ගැනීමේ සලකුණු නොමැති මෝටර් රථ ද පටු මාර්ගවල ධාවනය කරන ලද අතර, විරෝධතාවලට සම්බන්ධ නොවූ පුද්ගලයින්ට ද එහි සිටි පිරිස් වෙඩි තැබූ බව ඔවුහු පැවසූහ.

"හැම පාරක ම දෙතුන් දෙනෙක් මැරුණා," එක් සාක්ෂිකරුවෙක් චෝදනා කළේ ය.

A man stands on the top of a statue with the Iranian flag flying in the city of Khorramabad on 8 January 2026. The statue is of a man.

ඡායාරූප මූලාශ්‍රය, User generated content

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි 8 වන දින මෙහි දැක්වෙන ඉරානයේ මධ්‍යයේ පිහිටි කොරාමාබාද් නගරයේ විරෝධතා ඇවිළී ගොස් තිබිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බීබීසී පර්සියානු සේවයට තම අත්දැකීම් පැවසූ පුද්ගලයන් කියා සිටියේ, ඉරානය තුළ පවතින සැබෑ තත්ත්වය බාහිර ලෝකයට සිතා ගැනීමට පවා අපහසු බව ය. ජාත්‍යන්තර මාධ්‍ය මෙතෙක් වාර්තා කර ඇති මරණ සංඛ්‍යාව ඔවුන්ගේ ඇස්තමේන්තු වල සුළු කොටසක් පමණක් බවත් ඔවුන් පවසයි.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට ඉරානය තුළ ස්වාධීනව වාර්තාකරණයේ නිරත වීමට අවසර නොමැති අතර, ඔවුන් බොහෝවිට රටින් පිටත ක්‍රියාත්මක වන ඉරාන මානව හිමිකම් කණ්ඩායම් මත විශ්වාසය තබා කටයුතු කරයි. සඳුදා දින නෝර්වේ පදනම් කර ගත් Iran Human Rights (IHRNGO) සංවිධානය පැවසුවේ, ඉරානය තුළ අවම වශයෙන් විරෝධතාකරුවන් 648 දෙනෙකු මියගොස් ඇති අතර එම පිරිස අතර වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් 9 දෙනෙකු ද සිටින බව ය.

ඇතැම් ප්‍රාදේශීය මූලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කරන්නේ, විවිධ නගර පුරා සිය ගණනක සිට දහස් ගණනක් දක්වා වූ ඉතා ඉහළ සංඛ්‍යාවක් මිය ගිය බව ය.

බීබීසීයට දැනට මෙම සංඛ්‍යා ලේඛන ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි වී ඇති අතර, මේ දක්වා ඉරාන බලධාරීන් විරෝධතාකරුවන්ගේ මරණ සංඛ්‍යාව පිළිබඳ නිල හෝ විනිවිද පෙනෙන සංඛ්‍යා ලේඛන ලබා දී නොමැත.

කෙසේ වෙතත්, විරෝධතා අතරතුර ආරක්ෂක නිලධාරීන් 100 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇති අතර, ඔවුන් "කැරලිකරුවන්" ලෙස හඳුන්වා දෙන විරෝධතාකරුවන් විවිධ නගරවල මුස්ලිම් පල්ලි සහ බැංකු ‍රැසකට ගිනි තැබූ බව පවසයි.

A man climbs a post with the Iranian flag hoisted on it after dark. Many protesters are gathered around. The image was posted on social media on 8 January 2026.

ඡායාරූප මූලාශ්‍රය, User generated content

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙහෙරානයේ විරෝධතාකරුවන් දෙසැම්බර් 28 සිට වීදි බැස තිබිණි

'සිතාගත නොහැකි මර්දනයක්'

බීබීසී පර්සියානු සේවයේ සත්‍යාපන කණ්ඩායම විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝවල, විරෝධතා අතරතුර විවිධ ස්ථානවල පොලිස් වාහන සහ සමහර රජයේ ගොඩනැගිලි ගිනි තබන ආකාරය ද දැක්වේ.

බීබීසී වෙත ලැබුණු සාක්ෂි සහ වීඩියෝ ප්‍රධාන වශයෙන් ටෙහෙරාන්, කරාජ් ආසන්නයේ, රාෂ්ට්, ඊසානදිග මාෂාඩ් සහ දකුණේ ෂිරාස් වැනි විශාල නගරවලින් ලැබුණු ඒවා ය. මෙම ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය හරහා ඉන්ටර්නෙට් වෙත වැඩි ප්‍රවේශයක් ඇත.

A fire burns where cars are parked in Tehran on 8 January 2026. People are gathered nearby. A tree is in the foreground.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි 8 වන දින ටෙහෙරානයේ විරෝධතා අතරතුර වාහන ගිනි තබන ආකාරය...

මුලින් ම ජීවිත හානි සිදුවූ කුඩා නගරවලින් ලැබෙන තොරතුරු හිඟ ය. ස්ටාර්ලින්ක් වෙත ඔවුන්ගේ ප්‍රවේශය ඉතා සීමිත වීම ඊට හේතුව යි.

නමුත් විවිධ නගරවලින් ලැබුණු වාර්තා පෙන්වා දෙන්නේ, මර්දනයේ බරපතළකම සහ මාරාන්තික ප්‍රචණ්ඩත්වය බහුලව භාවිත වන බව ය.

බීබීසී පුවත් සේවය වෙත අදහස් දැක්වූ වෛද්‍යවරුන් සහ හෙදියන් පැවසුවේ, ඔවුන් මළ සිරුරු සහ තුවාල ලැබූ විරෝධතාකරුවන් රැසක් දුටු බව ය.

බොහෝ නගරවල රෝහල් වින්දිතයින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර විශේෂයෙන් හිසට සහ ඇස්වල බරපතළ තුවාල සිදුව ඇති පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා දිය නොහැකි තත්ත්වයක් ඇතැයි ඔවුහු පවසති. ඇසින් දුටු ඇතැම් සාක්ෂිකරුවන් පැවසුවේ, මළ සිරුරු "එකිනෙක මත ගොඩගැසී" තිබූ බව සහ ඒවා පවුල්වල ඥාතීන්ට භාර දී නොමැති බව ය.

සුසාන භූමිවල මළ සිරුරු

ක්‍රියාකාරිකයෙකු විසින් මෙහෙයවන ටෙලිග්‍රෑම් නාලිකාවක් වන Vahid Online ඔස්සේ ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද ග්‍රැෆික් වීඩියෝ මගින් ටෙහෙරානයේ කහ්රිසාක් අධිකරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ තබා ඇති මළ සිරුරු විශාල සංඛ්‍යාවක් පෙන්වන ලද අතර, වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ශෝක වෙමින්, මළ සිරුරු හඳුනා ගැනීමට උත්සහ කරමින් සිටින අයුරු දැක්විණි.

Bodies lying on the ground in black bags while a man walks nearby. Other people are standing nearby. Nobody is identifiable in the image.

ඡායාරූප මූලාශ්‍රය, User generated content

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙහෙරානයේ අධිකරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ මළ සිරුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වී තිබේ.

තිරයක් ඔස්සේ ප්‍රදර්ශනය කර තිබූ හඳුනා නොගත් මළ සිරුරුවල ඡායාරූප දෙස ඥාතීන් බලා සිටින ආකාරය කහ්රිසාක් වෙතින් ලැබුණු වීඩියෝවක පෙනෙන්නට තිබිණි.

කළු පැහැති බෑග්වල තිබූ බොහෝ මළ සිරුරු එම ස්ථානයේ සහ පිටත මාර්ගයේ තබා ඇති අයුරු පෙනෙන්නට තිබූ අතර, ඒවායින් ඇතැම් සිරුරු පමණක් හඳුනාගෙන ඇති බව පෙනේ.

තවත් එක් වීඩියෝවක මළ සිරුරු කිහිපයක් තබා ඇති ගබඩාවක ඇතුළත කොටස පෙන්වන ලද අතර, තවත් වීඩියෝවක දැක්වුණේ මළ සිරුරු පිරී ඇති ට්‍රක් රථයක් සහ මිනිසුන් පිරිසක් ඒවා ඉවතට ගන්නා ආකාරය යි.

මෂාඩ්හි සුසාන භූමියකදී මෘත ශරීරාගාර සේවකයෙකු පැවසුවේ, සිකුරාදා උදෑසන හිරු උදාවීමටත් පෙර හිසට සිදුවූ බරපතළ තුවාල සහිත මළ සිරුරු 180ත් 200ත් අතර සංඛ්‍යාවක් එහි රැගෙනැවිත් වහා ම භූමදාන කළ බව ය.

ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී විරෝධතාකරුවන්ගේ මළ සිරුරු 70ක් නගරයේ පිහිටි රෝහල් මෘත ශරීරාගාරයකට මාරු කළ බව රාෂ්ට්හි ප්‍රකාශකයෙක් බීබීසී පර්සියානු පුවත් සේවයට පැවසීය. එම මූලාශ්‍රයට අනුව, ආරක්ෂක අංශ අදාළ මළ සිරුරු පවුල්වලට භාර දීමට පෙර "උණ්ඩ සඳහා ගෙවීමක්" සිදු කරන ලෙස ඉල්ලා තිබේ.

එමෙන් ම, නැගෙනහිර ටෙහෙරානයේ රෝහලක වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බීබීසී පර්සියානු සේවයට පැවසුවේ, බ්‍රහස්පතින්දා දිනයේදී ම මළ සිරුරු 40ක් පමණ එම රෝහල වෙත රැගෙන ආ බව ය. වෛද්‍යවරයාගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා රෝහලේ නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමු.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉරිදා පැවසුවේ, ''ගත වූ දින කිහිපය තුළ විරෝධතාකරුවන්ට එරෙහිව ඉරාන බලධාරීන් ප්‍රචණ්ඩත්වය සහ අධික බලය භාවිත කිරීමෙන් සිදුවූ මරණ සහ තුවාල සිදුවීම් පිළිබඳ පළවූ වාර්තා සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ" බව ය.

"මම අවධාරණයෙන් කියනවා, මරණ සංඛ්‍යාව කුමක් වුවත්, ආරක්ෂක හමුදා ජනතාවට එරෙහිව ආයුධ භාවිත කිරීම කනස්සල්ලට කරුණක් කියන එක," ඉරාන ඉස්ලාමීය ජනරජයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මයි සැටෝ බීබීසී පර්සියානු පුවත් සේවයට පැවසීය.