IS [ඉස්ලාමීය රාජ්‍යය] නැවතත් ශක්තිමත් වෙමින් තිබේද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, කැතරින් හීත්වුඩ් සහ ෆර්නැන්ඩූ ඩුආර්ටේ,
- Role, බීබීසී ලෝක සේවය
- Author, BBC Monitoring
- Role, Jihadist Media Insight team
බොන්ඩායි වෙරළ තීරය ඉලක්ක කර එල්ල වූ මාරාන්තික ප්‍රහාරය, "ඉස්ලාමීය රාජ්‍ය (IS) මතවාදය" මගින් පොළඹවන ලද්දක් බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීමෙන් පසු ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම කෙරෙහි ගෝලීය අවධානය යොමු වී තිබේ.
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම් සඳහා සුන්නි ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම වගකීම භාරගෙන නොමැත. කෙසේ වෙතත්, එම ස්ථානයේ තිබී සොයාගත් වාහනයක "දේශීයව නිෂ්පාදිත" IS ධජ සමඟ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරය පිළිබඳව අයිඑස් සංවිධානය සිය සතිපතා පුවත්පත වන අල්-නාබා හි අදහස් දක්වමින්, සෘජුවම සංවිධානය කිරීම වෙනුවට, තම අන්තර්ජාල පණිවිඩ හරහා ප්‍රචණ්ඩත්වයට අනුබල දීම සම්බන්ධයෙන් ගෞරවය හිමිවන බව හැඟෙන භාෂාවක් භාවිතා කළේය.
සැකකාර ප්‍රහාරකයින් ලෙස පියෙකු සහ පුතෙකු හඳුනාගෙන තිබේ. පොලිසිය පියාට වෙඩි තබා ඝාතනය කළ අතර පුත්‍රයාට මිනීමැරුම් චෝදනා 15 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images
සිඩ්නි ප්‍රහාරයෙන් සිහිපත් කෙරෙන්නේ බටහිර ඉලක්කවලට එරෙහිව ප්‍රහාර සංවිධානය කිරීමට හෝ පෙළඹවීමට IS සංවිධානය උත්සහය අතහැර නොමැති බවයි. සිරියාවේ සහ ඉරාකයේ ඔවුන්ගේ "කැලිෆේට්" කඳවුරු අහිමි වූ 2017 වසරේ සිට එහි බලපෑම දැඩි ලෙස සීමා කර තිබියදීත් එය එසේමය.
බොන්ඩායි වෙරළ තීරයේ සිදු කළ වෙඩි තැබීමට දිනකට පෙර එක්සත් ජනපද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ඝාතනය වූ සිරියාවේ ප්‍රහාරයක් පිළිබඳව එහි ආධාරකරුවන් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ උද්යෝගය බෙදා ගත්තද IS නිහඬ පිළිවෙතක සිටියේය. සිරියාවේ ඝාතන සිදු කළේ IS ක්‍රියාකාරිකයෙකු බව එක්සත් ජනපදය පවසයි.
"කිසිදා ඉවත්ව නොගිය දෙයක නැවත පැමිණීමක් ගැන අපට කතා කරන්න බැහැ," BBC Monitoring හි ජිහාඩ්වාදය පිළිබඳ විශේෂඥවරියක් වන මිනා අල්-ලාමි පවසයි.
මේ ප්‍රහාර ඉස්ලාමීය රාජ්‍ය මෙහෙයුම් ලෙස පූර්ව වශයෙන් සඳහන් කිරීමට එරෙහිව ඇය අනතුරු අඟවන අතර එලෙස සිදු කිරීමෙන් කණ්ඩායමේ සැබෑ හැකියාවන් පිළිබිඹු කිරීමට වඩා කණ්ඩායමේ ප්‍රචාරණය වැඩි කිරීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවයි.
ඉස්ලාමීය රාජ්‍යය තවමත් ක්‍රියාත්මක ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
එහි උච්ඡතම අවස්ථාවේදී, IS සංවිධානය සිරියාවේ සහ ඉරාකයේ විශාල භූමිප්‍රදේශයක් පාලනය කළ අතර, බදුකරණය, අධ්‍යාපනය, ආගමික පොලිසිය සහ සෞඛ්‍ය සේවා පද්ධති හරහා ක්‍රියාකාරී රාජ්‍යයක් ලෙස පෙනී සිටියේය.
නමුත් 2019 දී එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සන්ධානයක් මගින් එය භෞමිකව පරාජය කරන ලද අතර එමඟින් භෞතික කැලිෆේටය අවසන් විය.
අල් ලාමි පවසන්නේ 2019 වසරේදී එක්සත් ජනපය සිදු කළ වැටලීමකදී සියදිවි නසාගත් එහි ආරම්භක නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ අහිමි වීමෙන් කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය තවදුරටත් දුර්වල වී ඇති බවයි. එතැන් සිට, එහි නායකයින් කිසිවෙකුට පිළිගත් අනන්‍යතාවයක් හෝ පොදු ආකෘතියක් නොතිබිණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අනුව අද වනවිට සිරියාවේ සහ ඉරාකයේ ඒකාබද්ධව IS සටන්කරුවෝ 3,000 ක් දක්වා සිටිති. ඊට ප්‍රතිවිරුද්ධව එක් අවස්ථාවක දී, 2014 දී ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ප්‍රකාශ කිරීමෙන් පසු කණ්ඩායමට එක්වීමට විදේශීය සටන්කරුවන් දස දහස් ගණනක් රොක් වූහ.
IS සංවිධානයේ ශක්තිය හීන වෙමින් පවතින බවට තවත් ලකුණක් වන්නේ එහි ප්‍රහාරවල පරිමාණය බව අල්-ලාමි පවසයි. 2010 දශකයේ මැද භාගයේදී සිරියාව, ඉරාකය සහ බටහිර රටවල සිදු වූ ඉහළ පෙළේ ප්‍රහාර කිහිපයක වගකීම මෙම කණ්ඩායම භාර ගත්තේය.
"දැන් එය බොහෝ දුරට රඳා පවතින්නේ කුඩා හෝ පහර දී පලා යන ප්‍රහාර මත තමයි" ඇය පවසයි, බටහිර රටවල් වෙත එල්ල වන විරල ප්‍රහාර බොහෝ දුරට මධ්‍යගතව සම්බන්ධීකරණය කරන ලද ඒවාට වඩා IS විසින් "පොළඹවන" ලද ප්‍රහාරයි.
පසුගිය වසරේ, කොරසාන් පළාත ලෙස හැඳින්වෙන IS හි ඇෆ්ගනිස්ථාන ශාඛාව ජනවාරි මාසයේදී ඉරානයේ සිදු වූ පුද්ගලයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය මාරාන්තික ප්‍රහාරවලට සහ මාස දෙකකට පසු රුසියාවේ 150 කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමේ ප්‍රහාරවලට සම්බන්ධ වීමෙන් පසු ගෝලීය සිරස්තල බවට පත් විය. යුරෝපයේ ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් ද එම කණ්ඩායම සැක කරන ලද අතර, ඉන් බොහොමයක් ව්‍යර්ථ කරන ලදී.
කෙසේ වෙතත්, මෙම වසරේ, ISKP සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති අතර ඇෆ්ගනිස්ථානයේදී පවා ප්‍රහාර සිදු කිරීමේ අරගලයකට මුහුණ පා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔවුන්ගේ නමින් සිදු කරන ලද ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් දැන් උප සහරා අප්‍රිකාවේ සිදු වේ. Institute for Economics and Peace විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශක වාර්තාවට අනුව, IS සහ එහි අනුබද්ධිත කණ්ඩායම් "2024 දී මාරාන්තිකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස රැඳී සිටි අතර, රටවල් 22 ක් පුරා මරණ 1,805 කට වගකිව යුතු විය."
IS සංවිධානයට් එහි ප්‍රචාරක බලයෙන් වැඩි කොටසක් අහිමි වී ඇති බව අල්-ලාමි තවදුරටත් පවසයි. "ඔවුන් සතුව මෙම සියුම්, විස්තීර්ණ ප්‍රචාරක වීඩියෝ තිබූ අතර දැන් ඔවුන් වීඩියෝ නිකුත් කිරීමේ අරගලයක නිරත වී සිටියි."
නමුත් IS තවමත් එහි මාර්ගගත මාධ්‍ය හරහා ප්‍රහාර සඳහා පෙළඹවීම් සිදු කරමින් සිටියි.
අල්-ලාමි පවසන්නේ එය අද්විතීය වන්නේ එයට "තරුණ, සමාජ මාධ්‍ය පිළිබඳ දැනුමක් ඇති සහ කණ්ඩායම තම ප්‍රචාරණයේ ඉතිරි කර ඇති පරතරය පියවා ගැනීමට සැබවින්ම උදව් කර ඇති අන්තර්ජාල ආධාරකරුවන්ගේ හමුදාවක්" සිටීමෙනි.
තරුණයින් වෙත ළඟා වීමට ඔවුන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි වේදිකාවල ක්‍රියාකාරී වී සිටියි. BBC Monitoring විශ්ලේෂකයින්ට බොහෝ විට ආයුධ භාවිතා කරන ආකාරය, වෙඩි තබන ආකාරය සහ කෙනෙකුට මාරාන්තික ලෙස පිහි පහර දෙන්නේ කෙසේද යන්න පිළිබඳ "පහරෙන් පහර උපදෙස්" සහිත අත්පොත් හමු වේ.
මෙම පළ කිරීම් වලින් ඇතැම් ඒවා පළපුරුදු "මාධ්‍ය ජිහාඩ්වාදීන්" විසින් කරන ලද ඒවා බවට අල්-ලාමි සැක කරන අතර, ඇතැම් ඒවා "IS ප්‍රචාරණයෙන් බලපෑමට ලක් වූ සහ කණ්ඩායමට එහි පණිවිඩය ප්‍රචාරය කිරීමට උදව් කරන සාමාන්‍ය තරුණයින්" විසින් සිදු කරන බව ඇස්තමේන්තු කරයි.
බොන්ඩායි ප්‍රහාරයෙන් පසු අදහස් දක්වමින් IS සංවිධානය කියා සිටියේ "ජිහාඩ්" දැන් "වඩාත් දුෂ්කර හා සංකීර්ණ අවධියකට" පිවිස ඇති බවත්, එය අන්තර්ජාල ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වන බවත්ය.
"ඩිජිටල් ලෝකය හරහා විධාන ලබා ගැනීමේ උපාය මාර්ගය... බොහෝ සම්පත් අවශ්‍ය නොවන සහ බොහෝ බාධක ජය ගත හැකි ඵලදායී උපාය මාර්ගයකි," එහි සඳහන් විය.
IS අප්‍රිකාව සහ ආසියාව තුළ වර්ධනය වෙමින් සිටීද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
මැද පෙරදිග එහි සාම්ප්‍රදායික කඳවුරුවල සහයෝගය අහිමි වීමෙන් අදහස් වන්නේ IS විකල්ප සොයමින් සිටින බවයි.
දකුණු ආසියාව තුළ IS-Khorasan පළාත නොහොත් ISKP, වඩාත් ආක්‍රමණශීලී ශාඛාවක් ලෙස සැලකේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන්නේ ඇෆ්ගනිස්ථානය සහ උතුරු පකිස්ථානය පදනම් කරගත් එහි සටන්කරුවන් 2,000 ක් සිටින බවත් ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය වැනි අනෙකුත් මධ්‍යම ආසියානු රටවලින් බඳවා ගැනීම අඛණ්ඩව සිදු කරමින් සිටින බවයි.
මේ අතර, අග්නිදිග ආසියාව ආවරණය කරන සහ දකුණු පිලිපීනයේ බොහෝ දුරට සංකේන්ද්‍රණය වී ඇති IS හි so-called East Asia Province (ISEAP) මීට පෙර පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ මාරාන්තික ප්‍රහාර ගණනාවකට වගකිව යුතු විය.
කෙසේ වෙතත්, මෙම ශාඛාව මෙම වසරේ කිසිදු ප්‍රහාරයක් සඳහා වගකීම භාරගෙන නොමැත.
විශේෂඥයින් පවසන්නේ IS හි ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ අප්‍රිකාව වෙත බවයි.
නෙදර්ලන්තය පදනම් කරගත් ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ ආරක්ෂක විශේෂඥයෙකු වන ඒඩ්‍රියන් ෂ්ටුනි, පසුගිය වසර කිහිපයේදී මහාද්වීපය තුළ "IS වැඩි වේගයකින් වර්ධනය වී ඇත" යනුවෙන් අනතුරු අඟවයි.
"බලහත්කාරයෙන් සහ ස්වේච්ඡාවෙන් බටහිර හමුදා ඉවත් කිරීම්, කලාපීය අස්ථාවරත්වය සහ ත්‍රස්ත විරෝධී උත්සාහයන් සඳහා අරමුදල් ප්‍රතික්ෂේප කිරීම මධ්‍යයේ සහෙල් (උතුරු අප්‍රිකාවේ කලාපය) සහ බටහිර අප්‍රිකාව වැනි දුර්වල පාලනයක් ඇති කලාපවල ආරක්ෂක හිදැස් සූරාකමින් ඔවුන් එසේ කර ඇත."
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඉස්ලාමීය රාජ්‍ය බටහිර අප්‍රිකානු පළාතේ (ISWAP) සටන්කරුවන් 8,000 සිට 12,000 දක්වා සංඛ්‍යාවක් සිටිය හැකිය. අල්-ලාමි පවසන්නේ මෙම වසරේ මෙම කණ්ඩායම සිදු කර ඇති ප්‍රහාර දහයෙන් නවයක්ම උප සහරානු අප්‍රිකාවේ සිදුවී ඇති බවයි.
IS සහෙල් සහ සෝමාලියාව තුළ ක්‍රියාකාරී වන අතර, එහිදී ඔවුන්ට ශක්තිමත් අල්-කයිඩා ශාඛා ස්වරූපයෙන් බරපතල ජිහාඩ් එදිරිවාදිකම් ඇතැයි ඇය පවසයි. කෙසේ වෙතත් ඇය පවසන්නේ නයිජීරියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ මොසැම්බික් යන රටවල එය ශක්තිමත්ම බවයි. මෙම රටවල සටන්කාමීන් බොහෝ විට ක්‍රිස්තියානි ප්‍රජාවන් මෙන්ම හමුදාව ඉලක්ක කරයි. ඩීආර්සී හි, අයිඑස් අනුබද්ධිත සංවිධාන ඔවුන් නිතර වැටලීම් කරන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් නොවන පුද්ගලයින් විසින් ගෙවිය යුතු බද්දක් පැනවීමට උත්සාහ කර ඇති බව ඇය පවසයි.
"කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කිතුනුවන්ට විකල්ප තුනක් ඇති බව IS පවසනවා: ඉස්ලාම් ආගමට හැරවීම, Jizya ලෙස හඳුන්වන බද්ද IS වෙත ගෙවීම හෝ ඝාතනයට ලක් කිරීම. බොහෝ අවස්ථාවලදී ඔවුන් (සටන්කාමීන්) එම විකල්ප ලබා දෙන්නේ නෑ.ගම්මාන වටලා ඔවුන්ව මරා දමනවා" ඇය තවදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
අල්-ලාමි පවසන්නේ ගෝලීය මාධ්‍ය අවධානයක් නොමැති වීම IS සංවිධානයට අප්‍රිකාවේ බොහෝ දුරට පාලනයකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ දී ඇති බවයි.
"පසුගිය වසරේදී IS කලකිරීමට පත්ව සිටියා. ඔවුන් නිල පණිවිඩයක් හරහා පවසා සිටියේ 'අපි අප්‍රිකාවේ මේ සියලුම කිතුනුවන් මරා දමමින් ඉන්නවා, බටහිර මාධ්‍ය ජාතිවාදීයි. ඔවුන් මේවා ගැන තැකීමක් කරන්නේ නැහැ'" ඇය පවසයි.
නමුත් IS අප්‍රිකාව තුළ දැඩි ලෙස ක්‍රියාකාරී වුවද, සිරියාව සහ ඉරාකය තුළ ඔවුන්ට එය වරක් හිමිව තිබූ ශක්තියට "ළඟාවී නොමැත" යනුවෙන් අල්-ලාමි පවසයි.
"මැදපෙරදිග සිදු කළ පරිදි IS සංවිධානය අප්‍රිකාවේ කොතැනකවත් භූමි ප්‍රදේශ පාලනය කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් සැඟවී සිටීම සහ පහර දී පලා යන ප්‍රහාර මත විශ්වාසය තබා සිටිනවා."
මීළඟට සිදුවන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
Chatham House (චැතම් හවුස්) හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආචාර්ය රෙනාඩ් මන්සූර් විශ්වාස කරන්නේ IS අතීතයට වඩා බෙහෙවින් දුර්වල බවයි.
"අයි එස් අයි එස් යටතේ ජීවත් වූ ජනයාගෙන් බොහෝ දෙනෙක් දුක් වින්දා," ඔහු පවසයි. මිනිසුන් තම රජයන් ගැන නොසතුටින් සිටියද, "ISIS ට පෙර තිබූ බලය හෝ ආකර්ෂණය නැහැ" යැයි ඔහු බීබීසීයට පැවසීය.
"ඒ මුල් දැන් එහි නැහැ, එබැවින් නුදුරු අනාගතයේ දී ඉස්ලාමීය රාජ්‍යය ඒ ආකාරයෙන් නැගී එන බව කියන්න අමාරුයි" ඔහු තවදුරටත් පවසයි. නමුත් බලය සඳහා තරග කරන සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් සිටින ප්‍රදේශවල අයිඑස් ශක්තිමත් වීමට හැකියාවක් ඇති බවට ද ඔහු අනතුරු අඟවයි.
ආරක්ෂක විශේෂඥ ඒඩ්‍රියන් ෂ්ටුනි පවසන්නේ විශාලතම අවදානම ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව IS තර්ජනයට ප්‍රතිචාර දක්වන ආකාරය තුළ බවයි. ඉහළ පෙළේ ප්‍රහාර හමුවේ "ප්‍රතික්‍රියාශීලී ප්‍රවේශයක්" ක්‍රියාත්මක නොවන බවත්, විවිධ රටවලින් ලැබෙන අඛණ්ඩ පීඩනය අත්‍යවශ්‍ය බවත් ඔහු අනතුරු අඟවයි.
"IS වැනි අනුවර්තන විරුද්ධවාදියෙකුට සහ එහි පරිණාමය වන උපක්‍රමවලට එරෙහිව වරින් වර අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. IS නොසලකා හැරීම මත ශක්තිමත් වනවා" ඔහු පවසයි.










