2023 වසරේ දී IS සංවිධානයට සිදුවූයේ කුමක් ද?

Islamic State/Iraq/Syria: A masked Islamic State soldier poses holding the ISIL banner somewhere in the deserts of Iraq or Syria. ISIL publicity image, 2015. (Photo by: Pictures from History/Universal Images Group via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බීබීසී මොනිටරින් විසින් රැස් කරන ලද දත්තවලට අනුව, කලක් ඊසානදිග සිරියාවේ සිට උතුරු ඉරාකය හරහා විශාල භූමි ප්‍රදේශයක් අල්ලාගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) 2023 වසරේ ප්‍රහාරවල සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

IS ක්‍රියාකාරකම් පසුගිය වසරට සාපේක්ෂව අඩකට වඩා අඩු වී ඇති අතර ඔවුන්ට එහි නායකයින් අහිමිවීම ද සිදු විය.

ඊට අනුබද්ධ ඊජිප්තු ශාඛාව ලිබියාවේ සහ යේමනයේ අනෙකුත් අක්‍රිය ශාඛා හා සම්බන්ධ වෙමින් මෙම වසරේ දී නිහඬ විය. මේ අතර, ඊට අනුබද්ධ ඇෆ්ඝනිස්ථාන ශාඛාව පසුගිය වසරේ සිදු වූ ප්‍රහාරවලින් සුළු ගණනක වගකීම භාර ගත්තේ ය.

නයිජර්හි සිදු වූ ප්‍රධාන පෙළේ ප්‍රහාරවල වගකීම භාරගත්, ප්‍රචාරක ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානය යොමු කළ නැගෙනහිර මාලිහි ව්‍යාප්තවූ සහෙල් ශාඛාව හැර, සංවිධානයේ අප්‍රිකාවේ ක්‍රියාත්මක ශාඛාව ද අඩු ප්‍රහාර ගණනක වගකීම භාර ගත්තේ ය.

මෙම සංඛ්‍යා අපට පවසන්නේ කුමක් ද?

IS සංවිධානය විසින් 2023 වසරේ දෙසැම්බර් මාසය හැර ගෝලීය වශයෙන් එල්ල කළ ප්‍රහාර 838ක වගකීම භාර ගනු ලැබ ඇති අතර, ඉකුත් වසරේ එම කාලය තුළ ඔවුන් සිදු කළ බව කී ප්‍රහාර 1,811 හා සැසඳීමේ දී එය 53%ක පහත වැටීමකි.

ප්‍රහාර ගණන පිළිබඳ විශ්ලේෂණ වාර්තා සහ ඒ සම්බන්ධයෙන් වන සොයාගැනීම් පදනම් වී ඇත්තේ, IS සංවිධානයේ ම නිල ප්‍රකාශ, පණිවිඩ යැවීම් හා ප්‍රචාරණ කටයුතු සහ එහි ආධාරකරුවන් මත ය. ඒ හේතුවෙන්, සංඛ්‍යා අතිශයෝක්තියට නංවා තිබිය හැකි හෝ ඇතැම් විට අඩු ගණනක් ලෙස හුවා දක්වා තිබිය හැකි ය.

2023 වසර සඳහා උපුටා දක්වන ලද සියලු ම සංඛ්‍යා ජනවාරි 1 සහ නොවැම්බර් 30 අතර සිදු වූ ප්‍රහාර නියෝජනය කරයි.

IS ප්‍රහාර ගැන අප දන්නේ මොනවා ද?

එහි උච්චතම අවස්ථාවේ දී, මෙම සංවිධානය සිරියාවේ සහ ඉරාකයේ විශාල භූමි කොටසක් පාලනය කළ නමුත් 2017 වන විට එම භූමිය ප්‍රමාණයෙන් 95%ක් ඔවුන්ට අහිමි විය.

2019 වසරේදී, එක්සත් ජනපදය සහ කුර්දි සටන්කාමීන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර සන්ධානයක් සිරියාවේ IS සංවිධානය සතුව තිබුණු අවසාන බලකොටුව වූ බාගූස් (Baghuz) ගම්මානයේ පාලනය සියතට ගත් අතර ඉන් පසුව ඇති වූ පරාජයන් මාලාවත් සමග එම සංවිධානය පරිහානියට පත් විය.

Graphic showing total attacks claimed by IS annually
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එතැන් සිට, මැද පෙරදිග පරාජයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සහ කළ IS සංවිධානය එහි අප්‍රිකාවේ ඇති ශාඛාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

IS සංවිධානය තවමත් ඉරාකයේ සහ සිරියාවේ ත්‍රස්ත කටයුතු සිදු කරන අතර, ආසියාවේ, අප්‍රිකාවේ සහ මැද පෙරදිග ආශ්‍රිත අනුබද්ධ ශාඛා අවම වශයෙන් 12කින් සමන්විත ජාලයක් අධීක්ෂණය කරමින් ද සිටියි. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල සැලකිය යුතු අඩුවීමක් නිරීක්ෂණය කළ හැකි ය.

බොහෝ විට ආරක්ෂක හේතු මත ඔවුන් සිදු කරන සියලු ම ප්‍රහාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බව පවසමින් මාර්තු මාසයේදී IS සංවිධානය එහි ප්‍රහාර පහත වැටීම සාධාරණීකරණය කිරීමට උත්සහ කළේ ය.

ඊජිප්තුවේ සීනායිහි ක්‍රියාත්මක IS ශාඛාව, වසර අග දී සූවස් ඇල ආසන්නයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියා ද ඇතුළුව පසුගිය වසරේ එල්ල කළ ප්‍රහාර 102ට සාපේක්ෂව මේ වසරේ කිසිදු ප්‍රහාරයක වගකීම භාර නොගත්තේ ය. ඊජිප්තු සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රබල මැඩපැවැත්වීම් සමග ඔවුන්ට කටයුතු කිරීමට සිදු වීම ඊට හේතු වූ බව අදහස යි.

පසුගිය වසරේ එල්ල කළ ප්‍රහාර 145 සහ තාලිබාන් සංවිධානය නැවත බලයට පත් වූ 2021 වසරේ දී එල්ල කළ ප්‍රහාර 293ට සාපේක්ෂව ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක IS සංවිධානයේ කොරාසාන් පළාත් කණ්ඩාම (ISKP) එල්ල කළ ප්‍රහාර ගණන ද පහළ වැටුණේ 2023 වසරේ ඔවුන් සිදු කළ බවට වගකීම භාරගත් ප්‍රහාර 20ත් සමග ය.

ප්‍රහාර සංඛ්‍යාවේ අඩුවක් තිබුණ ද, ඒවායින් විශාල ජීවිත හානි සංඛ්‍යාවක් සිදු විය. ජූලි මාසයේ දී ISKP සංවිධානය විසින් වයඹදිග පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් වන ජමායිත් උලෙමා-එ-ඉස්ලාම් ෆාස්ල්හි දේශපාලන රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර, එය අවම වශයෙන් පුද්ගලයන් 60 දෙනෙකුට මරු කැඳවීය.

2023 වසරේ IS සංවිධානය ඉරාකයේ සිදු කළ ප්‍රහාර 141ක වගකීම භාර ගත් අතර පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය තුළ සිදුවූ ප්‍රහාර 401ට සාපේක්ෂව එය 65%ක පහත වැටීමක් සනිටුහන් කළේ ය.

මෙම ශාඛාව මේ වසරේ සිරියාවේ ප්‍රහාර 112කට වගකිව යුතු වන අතර එය පසුගිය වසරේ සිදු වූ ප්‍රහාර 292ට වඩා අඩු ගණනකි.

IS සංවිධානය අප්‍රිකාවේ වර්ධනය වෙමින් පවතින්නේ ද?

2019 වසරේ දී බාගූස්හි බලය අහිමි වීමෙන් පසු, IS ශාඛා පහක් ඇති උප-සහරා අප්‍රිකාවේ එහි “පුළුල් කිරීම” සහ “ජයග්‍රහණ” කෙරෙහි අවධානය යොමු කරවීම සඳහා ඔවුන් තම ප්‍රචාරණ කටයුතු වෙනස් කර ඇත: නයිජීරියාව කේන්ද්‍ර කරගත් බටහිර අප්‍රිකානු පළාත් ශාඛාව (ISWAP), උගන්ඩාව වෙත ඇතැම් අවස්ථාවලදී ආක්‍රමණ එල්ල කරන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කේන්ද්‍ර කරගත් මධ්‍යම අප්‍රිකානු පළාත් ශාඛාව, සහෙල් ශාඛාව, මොසැම්බික් ශාඛාව සහ සෝමාලියා ශාඛාව එම ශාඛා පහ වේ.

වඩා ත් ම ක්‍රියාකාරී ශාඛාව වූයේ, ඊසානදිග නයිජීරියාවේ සහ චැඩ් විල කලාපය අවට වැඩි වශයෙන් ක්‍රියාත්මක බටහිර අප්‍රිකානු පළාත් ශාඛාව (ISWAP) වුව ද 2023 වසරේ දී ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද පහත වැටිණි. මෙම කණ්ඩායම 2022 වසරේදී ප්‍රහාර 470ක සහ 2023 වසරේදී ප්‍රහාර 266ක වගකීම භාර ගත්තේ ය.

IS සංවිධානයේ මධ්‍යම අප්‍රිකානු පළාත් ශාඛාව සහ මොසැම්බික් ශාඛාව ද ප්‍රධාන තර්ජනයක් ලෙස පැවතුන ද වගකීම භාර ගත්තේ අඩු ප්‍රහාර ගණනක් සම්බන්ධයෙනි. ශාඛා ද්විත්වය ම ප්‍රාදේශීය සහ ග්‍රාමීය හමුදා බලවේගවලට මෙන් ම ක්‍රිස්තියානි ගම්වැසියන් වැනි එතරම් තර්ජනාත්මක නොවන ඉලක්කවලට එරෙහිව දිගින් දිගට ම එල්ල කළ ප්‍රහාරවල වගකීම භාර ගත්තේ ය.

ISහි මධ්‍යම අප්‍රිකානු පළාත් ශාඛාව ද මේ වසරේ උගන්ඩාවේ සිදු වූ ප්‍රහාර හතරක වගකීම භාර ගත් අතර ඉන් එක් ප්‍රහාරයකින් සංචාරකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මාර්ගෝපදේශකයා ලෙස කටයුතු කළ පුද්ගලයා ඝාතනයට ලක් විය. නමුත් පුළුල් ලෙස දෝෂාරෝපණය ලක් වුව ද බටහිර උගන්ඩාවේ ද්විතීයික පාසලක් වෙත ජූනි මාසයේදී එල්ල වූ මාරාන්තික ප්‍රහාරයේ වගකීම ඔවුහු භාර නොගත්හ.

සමස්තයක් වශයෙන්, IS සංවිධානයේ උප-සහරා අප්‍රිකානු ශාඛා එක්ව සිදු කළ ප්‍රහාර 2023 වසරේ දී 508ක් දක්වා පහත වැටී ඇත. ඒ, ගිය වසරේ වූ ප්‍රහාර 847ක සිට ය. කෙසේ වෙතත්, තවමත් ඊට IS සංවිධානය ගෝලීය වශයෙන් එල්ල කරන ප්‍රහාරවලින්, මේ දක්වා අප්‍රිකාව සඳහා විශාලතම අනුපාතය වන 60%ක් ඇතුළත් වේ.

IS ක්‍රියාකාරකම් වර්ධනය වන්නේ කොහේ ද?

බීබීසී මොනිටරින් විසින් රැස් කරන ලද දත්තවලට අනුව, සහෙල් කලාපයේ සහ පිලිපීනයේ IS ශාඛා මෙම වසරේ වඩා ත් ක්‍රියාකාරී විය.

අප්‍රේල් මාසයේ සිට නයිජර් දේශසීමාව ආසන්නයේ නැගෙනහිර මාලි ප්‍රදේශයේ IS සංවිධානය ව්‍යාප්ත වෙමින් පවතින බවට වාර්තා විය. මෙම ප්‍රදේශයේ IS සංවිධානයේ වර්ධනය සිදුවන්නේ, අන්තවාදීන් විසින් සූරාකෑමට උනන්දුවක් දක්වන ලද සහෙල් කලාපයේ රටවලට බලපාමින් පවතින දේශපාලන සහ ආරක්ෂක කැළඹීම් මධ්‍යයේ ය.

Graphic showing IS-claimed attacks by region

ජූලි සහ ඔක්තෝබර් අතර, IS සංවිධානය විසින් "අපරාධවලට එරෙහිව සටන් කිරීම" සහ "යුක්තිය ක්‍රියාත්මක කිරීම" සඳහා මැයි මාසයේ සිට ක්‍රියාත්මක කළ බව කියන "හමුදා ව්‍යාපාර" පෙන්වන වාර්තා සහ පින්තූර නිකුත් කරන ලදී. ඔවුන් ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ විධික්‍රම මාලි සහ නයිජර් අතර දේශසීමා ප්‍රදේශවල ෂාරියා නීතිය ප්‍රවර්ධනය කිරීමක් ලෙස දිස් වුණු අතර, නිල නොලත් ප්‍රාදේශීය අධිකාරියක් ලෙස කටයුතු කරන අයුරු ද පෙනෙන්නට විය.

නයිජර්හි දී, ජූලි මාසයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව, IS සංවිධානය එය රටේ බටහිර ප්‍රදේශයේ හමුදාවට එරෙහිව විශාල ජීවිත හානි ගණනක් සිදු වූ මහා පරිමාණ ප්‍රහාර මාලාවක් සිදු කළ බව පැවසීය. ඔක්තෝබර් මස මුලදී සිදු වූ එක් ප්‍රහාරයකින් සෙබළුන් 60 දෙනෙකු පමණ මිය ගිය බවට වාර්තා වූයේ, නයිජර් රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට පොළඹවමිනි.

2014 වසරේ සිට IS සංවිධානය වෙත අග්නිදිග ආසියාවේ සටන්කාමී කණ්ඩායම්වලින් ද පක්ෂපාතිත්වය පිළිබඳ ප්‍රතිඥා ලැබෙමින් තිබිණි. මෙම කලාපය තුළ IS සංවිධානය අනුබද්ධ කණ්ඩායම් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන්නේ බොහෝ දුරට ක්‍රිස්තියානි රටක් වන දකුණු පිලිපීනයේ, මුස්ලිම් බහුතරයක් වෙසෙන දූපත්වල ය.

ජූලි මාසයේ සිට, සංවිධානයේ ශාඛා 2022 වසරේ දී සිදු කළ ප්‍රහාර හතට සාපේක්ෂව මෙම වසරේ ප්‍රහාර 20ක් සිදු කළ බව පැවසීය.

අප දත්ත රැස් කළ කාල සීමාවෙන් පිටත, එනම්, දෙසැම්බර් 3 වන දින දකුණු පිලිපීනයේ කතෝලික දේව මෙහෙයක දී සිදු වූ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් භාරගෙන, කලාපය තුළ බඳවා ගැනීම් සිදු කරන බවට ප්‍රකාශයක් සිදු කළේ ය.

IS නායකයන් ගැන අප දන්නේ මොනවා ද?

IS සංවිධානයට මෑතක සිට සිය ඉහළ පෙළේ නායකයින් අහිමිවීමෙන් විශාල පාඩු සිදුවිය.

ඔවුන්ට වසරක් වැනි කෙටි කාලයක් තුළ විවිධ තනතුරු දැරූ නායකයින් තිදෙනෙකු අහිමි වූ අතර, ඒ සියල්ලෝ ම 2022 පෙබරවාරි සහ 2023 අප්‍රේල් අතර කාලය තුළ සිරියාවේ දී මියගියහ.

2019 ඔක්තෝබර් 27 වන දින එක්සත් ජනපද ප්‍රහාරයකින් සිදු වූ අඅබු බකර් අල්-බග්දාදිගේ මරණයෙන් පසු කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරෙයිෂි ය. පසුව අබු අල්-හසන් අල්-කුරෙයිෂි සහ ඉන් පසු අබු අල්-හුසේන් අල්-කුරෙයිෂි විසින් මීට නායකත්වය දෙනු ලැබුණි..

මෙම නායකයින් අතර ඥාති සම්බන්ධයක් නොමැත. "අල්-කුරෙයිෂි" යන ආරූඪ නාමය මක්කම සිටි මුහම්මද් නබිතුමාගේ කුරෙයිෂ් යන ගෝත්‍රයට සම්බන්ධයක් දක්වයි.

2014 ජූනි මාසයේ දී ඔවුන් "කැලිෆේට්" එනම්, ‘මහම්මත්තුමාගේ රාජධානියක්’ ප්‍රකාශයට පත් කළ දා සිට ඔවුන් දිගට ම ඔවුන්ගේ නායකයින් "කාලිෆ්වරුන්" ලෙස හැඳින්වූ අතර, ඉන් පළමුවැන්නා වූයේ අල්-බග්දාදි ය.

2023 අගෝස්තු මාසයේ දී, IS සංවිධානය නව නායකයෙකු වන අබු හෆ්ස් අල්-හෂිමි අල්-කුරෙයිෂි ඉදිරිපත් කළ නමුත් ඔහු ගැන එතරම් තොරතුරු නොමැති අතර ඔහු තවමත් නායකත්ව පණිවිඩයක් ලබා දී නොමැත.

විශේෂයෙන් සිරියාවේ සහ ඉරාකයේ බොහෝ දුරට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන එල්ල කළ ප්‍රහාරවලින් IS සංවිධානයට එහි ප්‍රමුඛ අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකු අහිමි විය.

අගෝස්තු මාසයේ දී, මොසැම්බික් රාජ්‍යයේ හමුදාව එරට IS ප්‍රධානියා ඝාතනය කළ බව ප්‍රකාශ කළ නමුත්, “කාලිෆ්වරයා” සහ එහි ප්‍රකාශකයා සම්බන්ධයෙන් හැරුණු විට සංවිධානය එවැනි ඝාතන ගැන අදහස් දක්වන්නේ කලාතුරකිනි.

Iraqi army soldiers hold a flag from the Islamic State (IS) jihadist group up-side-down on November 23, 2016, near an Iraqi army base in the outskirts of Mosul. Forces battling the Islamic State group in northern Iraq cut off the jihadists' last supply line from Mosul to Syria, trapping them in the city for a bloody last stand. (Photo by THOMAS COEX / AFP) (Photo by THOMAS COEX/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 වන විට කණ්ඩායමට එහි භූමියෙන් 95%ක් අහිමිවිය

ගාසා තීරයේ යුද්ධයෙන් ඇති බලපෑම කුමක් ද?

IS සංවිධානයට එරෙහි හමුදා මෙහෙයුම් සහ සෝමාලියාව, සහෙල්, චැඩ් විල කලාපය සහ සිරියාව ඇතුළු ඇතැම් රටවල ප්‍රතිවාදී කණ්ඩායම්වල තරගකාරීත්වය සංවිධානයේ ක්‍රියාකාරකම් පහත වැටීමට දායක වන සාධක අතර ඇති බවට විශ්වාස කෙරේ.

නායකත්ව අහිමිවීම් සහ සාපේක්ෂව වත්මන් නායකත්වයේ නිර්නාමිකභාවය ද ප්‍රධාන සාධක ලෙස සැලකේ.

නමුත් තවමත් IS ප්‍රහාර සිය ගණනක්, විශේෂයෙන් අප්‍රිකාවේ සිදුවන අතර දේශපාලන, ආරක්ෂක සහ වාර්ගික දුර්වලතා උපයෝගී කර ගනිමින් සංවිධානය බොහෝ රටවල ක්‍රියාත්මක වේ.

ගාසා තීරයේ යුද්ධය IS සහ අනෙකුත් අන්තවාදී කණ්ඩායම් විසින් එවැනි එක් "අවස්ථාවක්" ලෙස දැකිය හැකි අතර, ඔවුන් තම සතුරන්ට එරෙහිව කෝපය යළි හරවා යැවීමට ගැටුම භාවිත කිරීමට මාර්ග සොයනු ඇත.

ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයේ සිදු කළ හමාස් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200ක් මියගිය පසු (තවත් 240 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත්) යුද්ධය ආරම්භයේ සිට ගාසා තීරයේ 20,000කට වැඩි පිරිසක් මිය ගොස් 52,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැ යි වාර්තා වේ.

අල්-කයිඩාව පලස්තීන සටන්කාමීන් සමග සටනට සහභාගී වන ලෙස මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලා සිටිය ද, IS සංවිධානයේ සතිපතා පුවත්පත වන අල්-නබාහි පළ වූ එහි ප්‍රතිචාරයේ පලස්තීන කණ්ඩායම් සඳහා කිසිදු ප්‍රශංසාවක් හෝ හමාස් සංවිධානයට සහාය දෙන ලෙසට මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලා සිටින බවක් සඳහන් වූයේ නැත.

ගාසා තීරයේ තම අනුගාමිකයින් මර්දනය කරන බවට හමාස් සංවිධානයට මීට පෙර ඔවුන් චෝදනා කර තිබිණි. ඒ වෙනුවට, IS සංවිධානය අවධානය යොමු කර ඇත්තේ, ඊශ්‍රායලය “ආරක්ෂා කිරීම” සම්බන්ධයෙන් තම චෝදනාවට ලක්ව සිටින අරාබි ආණ්ඩුවලට එරෙහිව පමණක් නොව ලොව පුරා පළිගැනීමේ ප්‍රහාර සිදු කිරීමට පෙළඹවීම කෙරෙහි ය.