ඉස්ලාමීය සංවිධානවලට පැනවූ තහනම ඉවත් කළේ ඇයි? එය රටේ ආරක්ෂාවට තර්ජනයක් ද?

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images
2019 අප්‍රේල් 21 වැනි දා ශ්‍රී ලංකාවේ කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන 11න් 5ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජූලි 26 වැනි දා පියවර ගත්තේ ය.
ඒ, අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමිනි.
ඒ අනුව, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළි ත් කතාබහක් නිර්මාණය විය.

ශ්‍රී ලංකාව යුද්ධ හමුදාව 2019 ජූනි 26 වන දා නිල වෙබ් අඩවියෙහි පළ කරන ලද ලිපියක "තව්හිද් ජමාත් සංවිධානය පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයෙන්...," යන සිරස්තලයෙන් අර්ථ ගන්වා තිබුණේ, පාස්කු ප්‍රහාරයට තවුහිද් ජමාත් සංවිධානය වගකිව යුතු බව ය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සේයිලානි (JMI) යන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධාන දෙකක සිටි පිරිස් එක්ව සිදු කළ ප්‍රහාරයක් බව ද යුද හමුදාව 2019 අප්‍රේල් මාසයේදී අනාවරණය කර තිබිණි.
සිව් වසරකට ඉහතදී පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට චෝදනා කරමින් තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන 11න් 05ක තහනම ඉවත් කළේ, කුමන පදනමක් යටතේ ද යන්න විමසා බැලීම වටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉස්ලාම් සංවිධාන තහනම් කිරීම
පාස්කු ප්‍රහාරය එල්ල වීම ත් සමග ඇති වූ විරෝධය හමුවේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 මැයි 13 වන දා ඉස්ලාමීය සංවිධාන 3ක් තහනම් කිරීමට පියවර ගත්තේ ය.
අංක 2123/2 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් තහනම් කරන ලද සංවිධාන වූයේ, ජාතික තව්හීද් ජමාත් (NTJ), ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් (JMI) සහ විලයාත් අස් සෙයිලානි (WAS) යන ඒවා ය.
පසුව, 2021 වසරේ අප්‍රේල් 13 වන දා 2223/3 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් සංවිධාන ලෙස නම් කළේ ය.
එම සංවිධාන 11 මෙසේ ය.
1. එක්සත් තවුහිද් ජමාත් (UTJ)
2. සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
3. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් (SLTJ)
4. සමස්ත ලංකා තවුහිද් ජමාත්
5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
6. දාරුල් අදර් කුරාන් මද්‍රසා
7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය
8. ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා
9. අල්-ඛයිදා
10. සේව් ද පර්ල්ස්
11. සුපර් මුස්ලිම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, "රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයත්නයන් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස," අදාළ සංවිධාන තහනම් කරනු ලැබූ බව ය.
මේ අතර, තව්හිද් ජමාත් සංවිධානවලට ප්‍රතිපාදන සැපයූ බව කියන පාර්ශව පිළිබඳව පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙක් විවිධ මත පළ කළහ.
"තොරතුරු ලබා ගැනීම සඳහා වුව තව්හිද් ජමාත් ව්‍යාපාරයට ඇයි උදව් කළේ කියන එක සහ තවුහිද් ජමාත් ව්‍යාපාරය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වෙ ඇයි? මේ තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු එයින් කැඩී ගිය කෙනෙක් තමයි සහරාන් හෂීම් කියන්නේ. ඉතින් මේවා නොවිසඳුණු ප්‍රශ්න. අපි තවමත් හිතනවා මේ ප්‍රහාරවලට සම්බන්ධ අය ඉන්නේ නිදැල්ලේ කියලා," යනුවෙන් පාඨලී චම්පික රණවක පසුගිය අප්‍රේල් 21 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා විමර්ශනවලදී ද ඉස්ලාම් සංවිධාන රැසක නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තහනම ඉවත් කිරීම
මෙවන් තත්ත්වයක් තුළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තහනම් කර තිබූ ඉස්ලාමීය සංවිධාන 5ක තහනම ඉවත් පසුගිය ජූලි 26 වන දා පියවර ගෙන තිබිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන පහ සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරිණි.
ඉහත කී සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කළේ කුමන පදනමක් යටතේ ද යන්න අපි ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසීමක් කළෙමු.
එහිදී, ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් ප්‍රකාශ කළේ, අදාළ සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කළේ කොන්දේසි මත පදනම්ව බව ය.
"කොන්දේසි යටතේ තමයි ඒ තහනම ඉවත් කළේ. ඒ කොන්දේසිය තමයි, අපි නිරන්තරයෙන් ඒ සංවිධානය ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඒ සංවිධාන හරහා රටේ ආරක්ෂාවට බලපෑමක් විය හැකි කුමක් හෝ සිද්ධ වුණොත් ආයෙත් තහනම පනවනවා. ඒ නිසා ඒක රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙන්නෙ නෑ."
අදාළ සංවිධාන සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පෙර අධ්‍යයනයක් කළේ ද යන්න අපි විමසුවෙමු.
"අපි දීර්ඝ කාලයක් විමර්ශනය කළා. ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ කියලා හරියට ම අපි කියන්නෙ නෑ. ඒත්, දැනට ඒක තහවුරු වෙලා නෑ. ඒ විමර්ශනය තාම ත් අධිකරණය මත තියෙන නිසා නිශ්චිත තීන්දුවක් දෙන්න අමාරු යි. අපි ඔවුන්ගේ කටයුතු ගැන දැඩි අවධානයෙන් ඉන්නේ," ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.
තහනම ඉවත් කිරීම ආරක්ෂාවට තර්ජනයක් ද?
ඉහත කී ඉස්ලාමීය සංවිධාන 5 සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත්දැයි අපි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකු වන ජාතික ආරක්ෂක විද්‍යාලයේ හිටපු අණ දෙන නිලධාරී මේජර් ජෙනරල් (විශ්‍රාමික) අමල් කරුණාසේකරගෙන් විමසීමු.
ඔහු පැවසුවේ, රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන විදෙස් රටවල් සමග ඇති කර ගත් එකඟතා මත අදාළ සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පෙනී යන බව ය.
"මෙතන මට පේන විදිහට ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල ඉල්ලීම් මත මේ තහනම ඉවත් කිරීමට පියවර ගන්න ඇති කියල යි හිතෙන්නේ. මොක ද මේ වෙලාවේ රටේ ආර්ථික තත්ත්වය කඩා වැටිලා තියෙන නිසා විදෙස් ආයෝජන ගෙන්න ගන්න එක ත් වැදගත්. රටේ ආරක්ෂාව වගේ ම ආර්ථිකය ත් වැදගත් නිසා වරදක් කියන්න ත් බෑ."
කෙසේ වෙත ත්, රටේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කර අදාළ සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම අතිශයින් වැදගත් බව ඔහු පෙන්වා දුන්නේ ය.
"ආරක්ෂක අමාත්‍යංශය කියන විදිහට ඒ සංවිධාන ගැන විමසිල්ලෙන් ඉන්නවා නම් හොඳ යි. රටේ ආර්ථිකය ගොඩ නගන්න ත් ඕන. මේ වෙලාවේ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙන්න තීරණය කළා වෙන්න පුළුවන්. හැබැයි ඒක හරහා රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙන පරිදි නිරන්තර අවධානයෙන් සිටිය යුතු යි," මේජර් ජෙනරල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර පැවසීය.












