පාස්කු ප්‍රහාරය: සාරා ජෙස්මින් සෙවීමට තෙවැනි DNA පරීක්ෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් යනු පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තාගේ භාර්යාව යි.
ඇය සයින්දමරදුහි නිවෙසක සිදුවූ පිපිරීමෙන් මියගිය බව පැවසුන ද, එය තහවුරුව නැති හෙයින්, ඇය මියගියා ද, තවමත් ජීවතුන් අතර ද, නැතහොත් ඉන්දියාවට පලාගියා ද යන්න තවමත් අභිරහසකි.
සාරා පිළිබඳ තෙවැනි DNA පරීක්ෂාව සඳහා සයින්දමරුදු පිපිරීමෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් යළි ගොඩගැනීමට විමර්ශන නිලධාරින් තීරණය කර ඇත.
ඒ අනුව අම්පාර පොදු සුසාන භූමියේ දී එම මෘත ශරීර කොටස් හෙට (අප්‍රේල් 27) පෙරවරුවේ ගොඩගැනීමට නියමිත ය.
කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව සිරුරු කොටස් නැවත ගොඩගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
සාරා ජැස්මින් මියගියේදැ යි තහවුරුකර ගැනීම සඳහා මීට පෙර DNA පරීක්ෂණ දෙකක් පවත්වනු ලැබුව ද, එහිදී ඇගේ DNA සොයා ගැනීමට හැකිවූයේ නැත.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඉකුත් 2020 ජුලි මස 21 වැනිදා සාක්ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර කියා සිටියේ, සාරා ජෙස්මින් නැමැත්තිය සයින්දමරුදු නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය බවට තහවුරු වී නොමැති බව යි.
අවසන් මොහොත වන විටත් එම තැනැත්තිය අදාල නිවසේ සිටි බවට තහවුරු වුව ද, පිපිරීමෙන් පසු හමුවූ කිසිදු මළ සිරුරක DNA සාරා ජෙස්මින්ගේ මවගේ DNA සමග සැසඳුනේ නැති බව ද ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබිණි.
කවුද මේ සාරා?
පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් "සාරා ජෙස්මින්" යනු කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් හස්තුන්ගේ බිරිඳ යි.
ඇය අවසන් වරට සිට ඇත්තේ අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවසේ බව මොහොමඩ් සහරාන්ගේ බිරිඳ විමර්ශකයන්ට දන්වා තිබිණි.
2019 අප්‍රේල් මස 21 වැනි දින සහරාන් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් එල්ල කළ පාස්කු දින ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් විසින් 2019 අප්‍රේල් 26 වැනි දින අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මියගියේ ය.
ඒ, ආරක්ෂක අංශ සාමාජිකයින් ඔවුන් සැඟවී සිටි නිවස වැටලූ අවස්ථාවේ දී ය.
මෙහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු 17 දෙනෙකු මියගිය බව විමර්ශනවල දී නීරීක්ෂණය වී තිබුණ ද, පුලස්තනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ගේ ශරීර කොටස් එම ස්ථානයේ තිබුණු වග මෙතෙක් තහවුරු වී නැතැ යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
හෙට (අප්‍රේල් 27) දිනයේ මළ සිරුරු නැවත ගොඩගැනෙන අවස්ථාවට, ඒවා භූමදානය සිදුකරන අවස්ථාවේ එහි සිටි විමර්ශන නිලධාරීන් ද, අධිකරණ වෛද්‍යවරුන් ද සහභාගිවීමට නියමිත ය. කල්මුණේ මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මෙය සිදුකෙරෙනු ඇත.










