පාස්කු ප්‍රහාරයට වසර තුන යි; වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වන්නේ කවදා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප්‍රේල් 21 යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයකි.
2019 වසරේ අප්‍රේල් 21 දාට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්කරමින්, ළමුන් සිය ගණනකට තම දෙමව්පියන්, නෑ හිතවතුන් අහිමි කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළෝ ය.
ප්‍රහාරයට වසර තුනක් ගතවන මේ අවස්ථාවේ දී ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වී ඇද්ද, ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න බරපතල ප්‍රශ්නාර්ථයකි.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.
එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා විය.
ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්විය. තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.
මීගමුව, මඩකලපුව, සහ කොළඹ පිහිටි පල්ලිවලට ප්‍රහාර එල්ල කෙරුනේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුර දී ය.
ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි, සහ ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ හෝටල් සහ ලැගුම්හල් ය.
රාජ්‍ය බුද්ධි සේවයට අනුව දෙවන ප්‍රහාර මාලාවක් ද සැලසුම් කර තිබී ඇති නමුත් රජය විසින් සිදුවූ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස ඒවා අසාර්ථක විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් අටදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් ජාතික තව්හීද් ජමාත් නම් සංවිධානයට සම්බන්ධව සිටියවුන් විය.
තව්හීද් ජමාත් යනු විදේශීය සම්බන්ධතා ඇතැ යි සැකකෙරෙන ඉස්ලාමීය කල්ලියක් වන අතර, ඔවුන් මීට පෙර බෞද්ධ සහ සුෆී මුස්ලිම්වරුන් ඉලක්කකර ප්‍රහාර එල්ල කර තිබේ.
යුක්තිය නොදුරේදීම ඉටු කරන බව ජනපති කියයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා යුක්තිය නොදුරේදීම ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (අප්‍රේල් 21) පැවසීය.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, 2019 වර්ෂයේ උතුම් පාස්කු සැමරුම් දිනයේදී රටේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අද දිනයට වසර තුනකි."
"ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාවට ය."
"මේ වන විට අපගේ රජය පත් වී වසර තුනකට ආසන්න ව තිබුණ ද මිනිසුන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්, 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නැතැයි නැඟෙන චෝදනා බොහෝ ය."
එහෙත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති යුගයක මෙවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු වීම සුළුපටු කාරණාවක් නො වේ.
මේ වන විට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි.
සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේදී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බව ද අද දිනයේ ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා බලයට පත්කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා ද?
පවතින රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව සිටියේ ය යන්න දැන් දැන් සමාජයෙන් මතුවන සැකයකි.
කෙසේ නමුත්, පසුගිය දා ආරක්ෂක ලේකම්වරයා මෙම ප්‍රකාශයන් ප්‍රතික්ෂේපකර සිටියේ සිංහල බෞද්ධ නායකයෙකු පත්කිරීමට ඉස්ලාමිකයින් අටදෙනෙකු දිවි පුදනු ඇත්දැ යි ප්‍රශ්න කරමිනි.
"සමාජයේ ඇතැම් කොටස් කියාගෙන යනවා රජය බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය විකුණගෙන කියලා. දැන් මෙතන චෝදනාව ඇති වෙන්නේ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා මෙම කුමන්ත්‍රණයක් සිදුවුණා. මේක පිටුපස්සේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මම ඉතාමත්ම වගකීමෙන් කියන්න ඕනේ, ඒ වගේ ප්‍රහාරයක් ඇහුණහම මට තියෙන ප්‍රශ්නය, ඒ තමයි සිංහල බෞද්ධ කෙනෙක්ව රටේ නායකයා කරන්න ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වන ඉස්ලාම් ධර්මය වැරදි විදිහට අර්තකථනය කරලා, මොලය විකල් කරපු ඉස්ලාම් ආගම අදහන අට දෙනෙක් ජීවිත පූජා කරයි ද කියලා සිංහල බෞද්ධයකේව රටේ ජනාධිපති කරන්න," ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අප්‍රේල් 12 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව පැහැදිලි කළේ ය.
සහරාන් හෂීම් පටිගත කළ බව කියන වීඩියෝවක කොටසක් ද ඔහු එහිදී ප්‍රදර්ශනය කළේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ සහරාන් හිෂීම් සහ නවුෆර් මව්ලවී පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයින් දෙදෙනා බවට හඳුනාගෙන ඇති බව යි.
හේමසිරි - පූජිත් නිදොස්කොට නිදහස්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය පෙබරවාරි 18 වැනිදා නිදොස්කොට නිදහස් කෙරුනි.
ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස යි.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා, මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගය නිකුත් කෙරිණි.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.
විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් මෙම නඩුව දෙකෙන් නිදහස් කරනවා ද, නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මඩුල්ල පෙබරවාරි 18 දින නියම කරන ලද්දේ මෙම නඩු දෙකෙහිම පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව යි.
2019 ජුනි 6 දා පැවැත්වුණු, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබුණේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල්තියා තොරතුරු ලැබී තිබුණු බව යි.
නමුත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමට ක්‍රියා නොකළේ එවක ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුවම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ගෙන්යැ යි තමන් දැනුවත් වී සිටි නිසා බව ඔහු පැවසීය.
නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව අධිචෝදනා ගොනුව පවරා තිබූ මෙම නඩු දෙකෙන් චූදිතයන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරු මඬුල්ල මෙසේ ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළෝ ය.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය වගකීම හරිහැටි ඉටු නොකර, එය වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව යි.
මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද විනිසුරුවරයා පැවසීය.
යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව සඳහන් කර සිටි විනිසුරු පටබැඳිගේ, අදාළ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගත බව අවධාරණය කළේ ය.
තව ද, දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම අනුමත කළ නොහැකි බව ද විනිසුරුවරයා තීන්දුවෙන් පවසා සිටියේ ය.
විත්තිකරුවන් අපරාධමය චෝදනාවක් නොව වගකීම් පැහැර හැරීමක් හෝ සිදුකර නැතැ යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණ සැමරුම
පාස්කු ඉරුදින ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණ සැමරුම කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී අද පෙරවරුවේ පැවැත්විණි.
ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු පූජාප්‍රසාදිවරුන් හා කන්‍යා සොහොයුරියන්, සංඝයාවහන්සේ ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන්, පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ වින්දිතයන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්, හා පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ විදෙස් වින්දිතයන් නියෝජනය කරමින් එක්වූ එම රටවල තානාපතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙනි.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අනෙකුත් රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී අද සවස තවත් යාඥා මෙහෙයක් පැවැත් වේ.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් අද දහවල් කොළඹ ගාලු මුවදොර දී මහා සංඝරත්නයට දානමය පිංකමක් ද පැවැත්වීමට නියමිත ය.












