ඉරානයේ විරෝධතා අතරතුර 500 දෙනෙක් මරුට: එරට තත්ත්වය ඔබට බලපාන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, MAHSA / Middle East Images / AFP via Getty Images
ඉකුත් වසරේ දෙසැම්බර් මස 28 වන දා ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ග්‍රෑන්ඩ් බසාර්හිදී ආරම්භ වූ මහජන විරෝධතාවලින් පසුව රට තුළ මේ වන විට දැඩි නොසන්සුන්තාවක් පවතී.
දිනෙන් දින ඉහළ යන මහජන විරෝධතා පාලනය කිරීම අරමුණු කර ගනිමින් ඉරාන රජය එරට තුළ ඉන්ටර්නෙට් සේවා අක්‍රීය කිරීමට කටයුතු කළේ ය. Netblock වෙබ් අඩවියට අනුව ඉරානය පසුගිය ජනවාරි 08 වන දා සිට ඉන්ටර්නෙට් පහසුකම් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල රාත්‍රී කාලයේදී ටෙහෙරානයේ පැවති විරෝධතාවලට එක්වූ විරෝධතාකරුවෙකු බීබීසී පර්සියානු රූපවාහිනියට පැවසුවේ, Gen Z විරෝධතාකරුවන් තම මව්පියන්ට සහ වැඩිහිටියන්ට විදීවලට පැමිණ විරෝධතා පෙළපාළිවලට එක්වන ලෙස පවසමින් ඔවුන් දිරිමත් කරමින් සිටින බව ය.
විරෝධතා අතරතුර 500කට අධික පිරිසක් ජිවිතක්ෂයට
දින 15කට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන මහජන විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 10,600 දෙනෙකු මේ වන විට ඉරාන ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගනු ලැබ ඇති බව ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර යි.
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRTN) පවසන්නේ රට පුරා පැවති විරෝධතාවලදී, විරෝධතාකරුවන් 495 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් 48 දෙනෙකු මිය ගොස් ඇති බව ය.
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි මෘත ශරීරාගාරයක රූගත කළ දර්ශනවල මළ සිරුරු බහාලූ බෑග් 180ක් පමණ දුටු බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
"තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉතා ඉහළයි. ඇසට වෙඩි වැදීලා තියෙන එක් පුද්ගලයෙකු මම දැක්කා, ඔහුගේ හිස පිටුපසින් උණ්ඩය පිට වෙලා තිබුණා," ටෙහෙරානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන වෛද්‍යවරයෙක් බීබීසීයට පැවසීය.
ඉකුත් සිකුරාදා (ජනවාරි 10) රාත්‍රියේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සම්බන්ධතාවක් හරහා බීබීසීයට සම්බන්ධ වූ වෛද්‍යවරයෙකු පැවසුවේ, ටෙහෙරානයේ ප්‍රධාන අක්ෂි විශේෂඥ මධ්‍යස්ථානය වන ෆරාබි රෝහලේ හදිසි සේවා පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ය.
හදිසි නොවන ඇතුළත් කිරීම් සහ සැත්කම් අත්හිටුවා ඇති අතර හදිසි අවස්ථා සඳහා කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය කැඳවා ඇති බව ඔහු පැවසීය.
ට්‍රම්ප්ගෙන් ඉරානයට යළිත් අනතුරු ඇඟවීමක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රජයට එරෙහි විරෝධතා තුන් වන සතියටත් එළඹෙද්දී, ඉරානයට එරෙහිව "ඉතා ශක්තිමත් හමුදා ක්‍රියාමාර්ග" ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඊයේ (ජනවාරි 11) එයාර්ෆෝස් වන් ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව පැවසුවේ ය.
එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉරාන නිලධාරීන් තමාව සම්බන්ධ කර ගනිමින් "සාකච්ඡා කිරීමට" අවශ්‍ය යැයි පැවසූ නමුත් "එවැනි රැස්වීමකට පෙර යම් ක්‍රියා මාර්ග ගැනීමට සිදුවනු ඇති" බව ය.
ඉරාන රජය විරෝධතාකරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද ප්‍රතිචාර දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන් ඊට මැදිහත් වන බව ද ප්‍රකාශ කළේ ය.
මේ අතර, ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් තමන් ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබේ.
මේ අතර, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද ඉරානයේ අවසන් ෂා රජුගේ පුත් රේසා පහ්ලවි පසුගිය සිකුරාදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, "ඉරානයේ ජනතාවට උපකාර කිරීම සඳහා මැදිහත් වීමට සූදානම්ව සිටින්න" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට එල්ල වන චෝදනා
ඉරානයේ වත්මන් ඉස්ලාමීය ජනරජය අවසන් කොට රාජාණ්ඩුවක් පත් කරන ලෙස ඇතැම් විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.
"ඇමෙරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීමට" උත්සහ කරන රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් "කරදරකාරයන්" බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත.
86 හැවිරිදි ඉරානයේ ආධ්‍යාත්මික නායකයා සිය ආධාරකරුවන් පිරිසක් අමතමින් එලෙස ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනවාරි මස 10 වන දා ය.
"ඉස්ලාමීය ජනරජය බලයට පත් වුණේ ලක්ෂ ගණනක් වූ ගෞරවනීය ජනතාවගේ රුධිරය මතින් බව සැමට දන්වන්න, එය ප්‍රතික්ෂේප කරන අය ඉදිරියේ කිසිවිටෙකත් අප අඩියක් ආපස්සට ගන්නේ නැහැ," ඔහු එහිදී වැඩිදුරටන් පැවසුවේ ය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉකුත් සතියේදී ඉරානය ලිපියක් යොමු කරමින් කියා සිටියේ, විරෝධතා ඉරානය තුළ "ප්‍රචණ්ඩකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවන් සහ පුළුල් විනාශකාරී ක්‍රියාවන්" බවට පත් කිරීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කරන බව ය.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිය රට තුළ නොසන්සුන්තා ඇති කරන රටවල් දෙක බවට ඉරානය චෝදනා කර තිබේ.
"ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහි ජාතික සටනකදී" මියගිය "දිවි පිදූවන්" වෙනුවෙන් රජය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙන අතර, සඳුදා (ජනවාරි 12) දින පැවැත්වෙන රජයට පක්ෂපාතී පෙළපාළිවලට සහභාගී වන ලෙස ඉරාන නායකයෝ සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, KHOSHIRAN / MIDDLE EAST IMAGES / AFP VIA GETTY IMAGES
විරෝධතා ආරම්භය සහ ඊට හේතු වූ කරුණු
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද ජාත්‍යන්තර සම්බාධක ඉරානයේ ආර්ථික ගැටලු තවත් උග්‍ර කර ඇති නමුත් එය මේ සඳහා වූ එක ම හේතුව නොවේ.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධ ඉහළ පෙළේ දූෂණ නඩු මහජන කෝපය වැඩි කර ඇති අතර ඇතැම් පාලක ප්‍රභූවරුන් ආර්ථික අර්බුදයෙන් ප්‍රයෝජන ගන්නා බවට ජනතාව තුළ තිබූ සැකය තහවුරු කර ඇත.
බොහෝ සාමාන්‍ය ඉරාන ජාතිකයින් විශ්වාස කරන්නේ, බොහෝ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් විශේෂ ගනුදෙනු, වෙළෙඳාම පාලනය කිරීම, ඛනිජ තෙල් මුදල් විදේශගත කිරීම සහ මුදල් විශුද්ධිකරණය හරහා සම්බාධකවලින් ලාභ ලබමින් සිටින බව ය.
රජයේ නිලධාරීන් පවසන්නේ, "සම්බාධකවලින් ලාභ ලබන" බවට චෝදනා කරන්නන් සම්බාධකවලට වඩා චෝදනා ලැබිය යුතු බව ය.
දෛනික මුදල් උච්ඡාවචනයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගේ වෙළෙඳසල් වසා දමා වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා රජයේ මැදිහත්වීමක් ඉල්ලා ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර්හි ව්‍යාපාරිකයින් පිරිසක් දෙසැම්බර් 28 වන දා පළමු වරට විවෘතව විරෝධතාවක නිරත වූහ.
වෙළෙඳ ප්‍රජාවෙන් ඇරඹි විරෝධතා වේගයෙන් රටේ අනෙක් ප්‍රදේශ කරා පැතිර ගියේ ය. ආර්ථික සටන් පාඨ ඉක්මනින් දේශපාලනික බවට පත්වූ අතර, සමස්ත ඉස්ලාමීය ජනරජය ම ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
සිසුන් ද විරෝධතාවලට එක්වූ අතර, පසුව අනෙකුත් නගර සහ ගම්මානවල පිහිටි කුඩා ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව ද එයට එක් වූහ. දින කිහිපයක් ඇතුළත, ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව සටන් පාඨ පෙළපාළිවල ප්‍රධාන කොටසක් බවට පත්විය.
'ඉරාන රජය වගකීම් පැහැර හැරලා'
මේ අතර, ඉරානයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ.
එම ඒකාබද්ධ නිවේදනයට අනුව "ඉරාන ආරක්ෂක අංශවල ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර විරෝධතාකරුවන් ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින" බව ඔවුන් පවසයි.
"ඉරාන බලධාරීන්ට තමන්ගේ ම ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇති අතර පළිගැනීමේ බියෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සාමකාමී රැස්වීමට ඉඩ දිය යුතුය," යනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පැවසීය.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසුවේ ජීවිත හානි පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බවයි.
"ලෝකයේ ඕනෑම තැනක සිටින ජනතාවට සාමකාමීව විරෝධතා දැක්වීමට අයිතියක් ඇති අතර, එම අයිතිය ආරක්ෂා කිරීමට සහ එම අයිතියට ගරු කරන බව සහතික කිරීමට රජයකට වගකීමක් තියෙනවා," ඔහු පැවසීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඉරානය පාලනය කරන උත්තරීතර නායකයා කවුද?
1979 වසරේදී ඉරානයේ ප්‍රබල මහජන විරෝධතා හේතුවෙන් ඇති වූ පාලන තන්ත්‍රයේ වෙනස්වීමෙන් පසු 1989 සිට අයතුල්ලා අලි කමේනි ඉරානයේ උත්තරීතර නායකයා බවට පත්විය.
රාජ්‍ය නායකයා සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) ඇතුළු හමුදාවේ සේනා විධායකයා ලෙස, ඔහුගේ තනතුර ඔහුව බලවත් තැනැත්තෙකු බවට පත් කොට තිබේ.
1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාඩ්හි උපත ලැබු අයතුල්ලා අලි කමේනි, ආගමික පවුලක දරුවන් අට දෙනාගෙන් දෙවැන්නා වූ අතර ඔහුගේ පියා ඉරානයේ ප්‍රමුඛ නිකාය වන ඉස්ලාම් ආගමේ ෂියාවරුන්ගේ මධ්‍යම පෙළේ පූජකවරයෙකි.
ඔහු ප්‍රධාන වශයෙන් කුරානය හැදෑරූ අතර වයස අවුරුදු 11 දී පූජකවරයෙකු බවට පත්වීමට සුදුසුකම් ලැබූ නමුත්, එකල බොහෝ ආගමික නායකයින් මෙන්, ඔහුගේ කාර්යය අධ්‍යාත්මික මෙන් ම දේශපාලනික විය.
1989 වසරේ සිට මේ දක්වා ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස අයතුල්ලා අලි කමේනි කටයුතු කරමින් සිටියි.
2025 වසරේ ජුනි මාසයේදී ඇතිවූ ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක යුද්ධයේදී පැවැති ගැටුම් අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායලය විසින් සිදු කරන ලද සැලැස්මක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බවට ද වාර්තා විය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අතින් ඉහළට
නෝර්වේ මූලස්ථානය කර ගත් ඉරාන මානව හිමිකම් (IHR) කණ්ඩායම බීබීසීයට පැවසුවේ, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී ඉරානය මරණ දඬුවම ලබා දුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ය.
දෙසැම්බර් මාසය ආරම්භය දක්වා ඉරානය තුළ ක්‍රියාත්මක වූ මරණ දඬුවම් සංඛ්‍යාව 1,500ක් බවට වන තොරතුරු සත්‍යාපනය කිරීමට හැකිවූ බව ඉරාන මානව හිමිකම් කණ්ඩායම පවසයි.
එමෙන් ම ඔවුන් පවසන්නේ ඉරානයේ ක්‍රියාත්මක කෙරුණු මරණ දඬුවම් ගණන 975ක් බවට 2024 වසරේදී සිය කණ්ඩායම කරුණු තහවුරු කර ගත් බව ය.
හිජාබය "නුසුදුසු ලෙස" පැළඳ සිටි බවට චෝදනා කරමින් 2022 වසරේදී මහ්සා අමිනී නමැති තරුණියක අත්අඩංගුවට ගෙන සිටියදී මිය යාමෙන් පසු ඉරානය පුරා උද්ගත වූ මහජන විරෝධතාවලට පෙර සිට ම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සංඛ්‍යා ලේඛන ඉහළ යමින් පැවතිණි.
ඉරාන පාලන තන්ත්‍රයට තර්ජනයක් එල්ල වී ඇති බව හැඟෙන විට එහි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අනුපාතය වැඩි වන බවත්, ජනතාව තුළ භීතිය ඇති කිරීමෙන් අභ්‍යන්තර විරෝධය වැළැක්වීම එහි අරමුණ බවත් මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.














