විශ්වවිද්‍යාලයක් තුළ ඇඳුම් ගලවා දැමීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් තරුණිය නිදහස් කරන්නැයි ඉරානයට බලපෑම්

Screengrab of a video showing an Iranian woman sitting in her underwear at the Science and Research Branch of Islamic Azad University in Tehran, Iran

ඡායාරූප මූලාශ්‍රය, Telegram

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ කාන්තාව යට ඇඳුම් පමණක් ඇඳ අසල වීදියක ඇවිද යාමට පෙර ඉස්ලාමීය අසාද් විශ්වවිද්‍යාලයේ පඩිපෙළක් මත වාඩි වී සිටි ආකාරය වීඩියෝවක දැක්වේ.
    • Author, පර්හාම් ඝෝබාඩි
    • Role, බීබීසී පර්සියානු සේවය

අනිවාර්ය හිජාබ් නීතියට එරෙහි විරෝධතාවක් යැයි පවසමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයකදී ඇඳුම් ඉවත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිටින කාන්තාවක නිදහස් කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ටෙහෙරානයේ ඉස්ලාමීය අසාද් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා පර්යේෂණ ශාඛාවේ යට ඇඳුමින් සැරසී සිටි කාන්තාව පඩිපෙළක් මත වාඩි වී සිටින ආකාරය සහ සන්සුන්ව ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සෙනසුරාදා සමාජ මාධ්‍යවල හුවමාරු විය.

දෙවන වීඩියෝවේදී, කාන්තාව ඇගේ යට ඇඳුම් ගලවන බව පෙනේ. ටික වේලාවකට පසු, සිවිල් ඇඳුමින් සැරසුණු නියෝජිතයන් ඇයව බලහත්කාරයෙන් අල්ලාගෙන මෝටර් රථයකට තල්ලු කරන ආකාරය දක්නට ලැබේ.

අසාද් විශ්වවිද්‍යාලය පැවසුවේ, කාන්තාව “මානසික ආබාධයකින්” පෙළෙන අතර “මානසික වෛද්‍ය රෝහලකට” ගෙන ගොස් ඇති බව ය.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ඉරාන ජාතිකයන් මෙම ප්‍රකාශය ප්‍රශ්න කර තිබේ. ඇයගේ ක්‍රියාව “කාන්තාව, ජීවිතය, නිදහස” ව්‍යාපාරයේ කොටසක් ලෙස අර්ථ නිරූපණය කරනු ලැබූ අතර බොහෝ කාන්තාවන් තම හිසකෙස් වැසීමට සහ දිගු ලිහිල් ඇඳුම් ඇඳිය යුතු බවට වන නීති ප්‍රසිද්ධියේ පැහැර හරින බවට අදහස් පළ කර තිබේ.

වසර දෙකකට පෙර කුර්දි ජාතික කාන්තාවක වන මහ්සා අමිනී “නිසි ලෙස” හිජාබය පැළඳ නොසිටීම නිසා අත්අඩංගුවට ගෙන පසුව පොලිස් අත්අඩංගුවේදී මිය යාමෙන් පසු රට පුරා ආරම්භ වූ විරෝධතා අතරතුර පුද්ගලයින් 500කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

"ඉරාන ශිෂ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය ඒකකය" ලෙසින් හඳුන්වා ගන්නා Amirkabir Newsletter Telegram නාලිකාව මෙම පුවත ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරමින් වාර්තා කළේ, එම කාන්තාව හිස් ආවරණයක් නොපැළඳීම සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජිතයන් සමග ඇති වූ ආරවුලක් නිසා ගැටුම අතරතුර ඇඳුම් ගලවා දැමූ බව ය.

සිවිල් ඇඳුමින් සැරසුණු නියෝජිතයින් ඇය රඳවාගෙන සිටියදී, එම කාන්තාවගේ හිස අත්අඩංගුවට ගැනීමට ආ පුද්ගලයින් පැමිණි මෝටර් රථයේ දොරේ හෝ රාමුවේ වැදීම නිසා ලේ ගලමින් සිට ඇති අතර, ඇයව හෙළි නොකළ ස්ථානයකට ගෙන ගිය බව ද එහි සඳහන් වේ.

Square screengrab of a video showing an Iranian woman sitting in her underwear at the Science and Research Branch of Islamic Azad University in Tehran, Iran ඉරානයේ, ටෙහෙරාන් හි ඉස්ලාමීය අසාද් විශ්ව විද්‍යාලයේ විද්‍යා හා පර්යේෂණ ශාඛාවේ ඉරාන කාන්තාවක් ඇගේ යට ඇඳුමෙන් වාඩි වී සිටින අයුරු දැක්වෙන වීඩියෝවක තිර පිටපත

ඡායාරූප මූලාශ්‍රය, Telegram

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම කාන්තාව අසාද් විශ්වවිද්‍යාලයේ පන්තියකට ඇතුළු වී එහි සිටි සිසුන් රූගත කිරීමට පටන් ගත් බව සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවෙකු බීබීසී පර්සියානු සේවයට පැවසීය. කථිකාචාර්යවරයා ඊට විරුද්ධ වූ විට ඇය කෑගසමින් පිටව ගිය බව ඔවුහු පැවසූහ.

සාක්ෂිකරුවන්ට අනුව, එම කාන්තාව සිසුන්ට පැවසුවේ, “මම ආවේ ඔබලාව බේරගන්න” යනුවෙනි.

මේ අතර, ඉරාන මාධ්‍ය විසින් එම කාන්තාවගේ හිටපු සැමියා බව පවසන, වීඩියෝවෙහි මුහුණ අපැහැදිලි කර තිබූ පුද්ගලයෙකුගේ වීඩියෝවක් නිකුත් කර ඇති අතර, ඇයගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් එම වීඩියෝව අන් අය අතරේ බෙදා නොහරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. බීබීසී පර්සියානු සේවයට එම පුද්ගලයාගේ ප්‍රකාශයේ නිවැරදිභාවය තහවුරු කිරීමට නොහැකි වී ඇත.

2018 වසරේදී පැවති විරෝධතාවයකදී සිය හිස් ආවරණය ඉවත් කිරීමේ වරදට තෙවසරක සිර දඬුවම් ලැබීමෙන් පසු ඉරානයෙන් පළා ගොස් කැනඩාව පැමිණි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනි අසාම් ජන්ග්‍රාවි පැවසුවේ, "හිජාබය අනිවාර්ය කිරීමට එරෙහිව මා විරෝධය පළ කළ විට, ආරක්ෂක අංශ මා අත්අඩංගුවට ගැනීමෙන් පසු, මා මානසික රෝගියෙකු ලෙස ප්‍රකාශ කරන ලෙස මගේ පවුලට බලපෑම් එල්ල කළ," බව ය.

“මගේ පවුල එය කළේ නැහැ, නමුත් පීඩනය යටතේ සිටින බොහෝ පවුල් තම ආදරණීයයන් ආරක්ෂා කිරීමට හොඳ ම මාර්ගය එය යැයි සිතමින් ඔවුන් කියන දේ කරනවා. ඉස්ලාමීය ජනරජය කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය ගැන ප්‍රශ්න කරමින් ඔවුන් අපකීර්තියට පත් කිරීමට උත්සහ කරන්නේ එලෙස යි,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කළේ, ඉරානය "ප්‍රචණ්ඩ ලෙස අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාව වහා ම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු" බව ය.

“ඇය නිදහස් කරන තෙක්, බලධාරීන් ඇයව වධහිංසාවලින් සහ වෙනත් අයහපත් සැලකිලිවලින් ආරක්ෂා කළ යුතු අතර ම පවුලේ අයට සහ නීතිඥයින්ට ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කළ යුතු ය. අත්අඩංගුවට ගැනීමේදී ඇයට එරෙහි පහරදීම් සහ ලිංගික හිංසන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම අවශ්‍ය වේ. ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගත යුතු යි,” එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉරානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, මායි සාටෝ, X සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ වීඩියෝව පළකරමින් තැබූ සටහනක දැක්වුණේ, "බලධාරීන්ගේ ප්‍රතිචාරය ඇතුළුව මෙම සිදුවීම සමීපව නිරීක්ෂණය කරන" බව ය.

දැනට ඉරානයේ සිරගතව සිටින ඉරාන නොබෙල් සාම ත්‍යාගලාභී නාර්ගේස් මොහොමඩි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ය.

"කාන්තාවන් විරෝධය පළ කිරීම නිසා වන්දි ගෙවනවා, නමුත් අපි බලහත්කාරය හමුවේ හිස නමන්නේ නැහැ," ඇය පැවසුවාය.

“විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවයේ නිරත වූ ශිෂ්‍යාව මර්දනයට එරෙහි මෙවලමක් ලෙස ඇගේ සිරුර ආයුධයක් බවට පත් කර විසම්මුතියේ සංකේතයක් බවට පරිවර්තනය කළා. ඇයට නිදහස ලබා දෙන ලෙසත් කාන්තාවන්ට සිදුවන හිරිහැර නතර කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා."