නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනී නාර්ගෙස් මොහොමදීට

නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනී නාර්ගෙස් මොහොමදීට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2007 වසරේදී ගත් ඡායාරූපයක් වන මෙහි සිටින නාර්ගෙස් මොහොමදී මේ වන විට එවින් සිරගෙදර දීර්ඝ සිර දඬුවමක් විඳිමින් සිටියි
    • Author, යාරෝස්ලාව් ලූකීව්
    • Role, බීබීසී පුවත්

සිරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහොමදී 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන තිබේ.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් නෝර්වීජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කළේ, 51 හැවිරිදි මොහොමදී ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි අරගලය වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වූ බව ය.

ඇය තම අරගලය වෙනුවෙන් "පෞද්ගලික කැපකිරීම් රැසක්" සිදු කර ඇතැයි කමිටු සභාපතිනී බෙරිට් රීස්-ඇන්ඩර්සන් පැවසුවා ය.

මොහොමදී දැනට ඉරානයේ වසර 31ක සිර දඬුවමක් විඳිමින් සිටින අතර ඇය කස පහර 154කට ලක්ව ඇති බව ද සභාපතිනිය පැවසුවා ය.

රීස්-ඇන්ඩර්සන් පැවසුවේ, දීර්ඝ සිර දඬුවම මෙන් ම, මොහොමදී 13 වතාවක් අත්අඩංගුවට ගෙන පස් වතාවක් වරදකාරිය කර ඇති බව ය.

මෙම ත්‍යාගය ඇය හිමි කර ගන්නේ, වසරකට වැඩි කාලයක් පුරා කාන්තාවන් විසින් ඉරානයේ ක්‍රියාත්මක කරන ලද විරෝධතාවලින් පසුව ය.

විරෝධතාවලදී අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින කාන්තාවන් ලිංගිකව හා ශාරීරිකව අපයෝජනයට ලක්වන ආකාරය පිළිබඳව බියකරු තොරතුරු බීබීසීය වෙත ලබා දීම සඳහා පසුගිය දෙසැම්බරයේදී මොහොමදී සිරගෙදර සිට ලිවීමේ කටයුතුවල නිරත වුණා ය.

ඇය පැවසුවේ, 22 හැවිරිදි මහ්සා අමිනීගේ එම වසර මුලදී පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාමෙන් පසුව ඇවිළුණු මහජන විරෝධතා අතරතුර එවැනි අඩන්තේට්ටම් වඩා ත් සුලභ වූ බව ය.

එම නොසන්සුන්තා 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී හට ගත් අතර වැඩි නිදහසක් ඉල්ලා සිටීමේ සිට රජය පෙරළා දැමීම දක්වා වූ ඉල්ලීම් සහිතව එම විරෝධතා රට පුරා පැතිර ගියේ ය.

ඉරාන කාන්තාවන් විරෝධය පළ කිරීම සඳහා තම හිස් ආවරණ ගලවා ඉවත් කර ගිනි තබා "කාන්තාවන්, ජීවිතය, නිදහස" යනුවෙන් හඬ නගන අයුරු දැක්වෙන ඡායාරූප ලොව පුරා දැඩි අවධානයක් දිනා ගත්තේ ය.

බලධාරීන් විසින් මෙම විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්දනය කරනු ලැබ ඇති අතර ඒවා බොහෝ දුරට යටපත්ව ගොස් ඇත.

මොහොමදී මානව හිමිකම් ආරක්ෂක මධ්‍යස්ථානයේ (Defenders of Human Rights Center) නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

පසුගිය වසරේ, ඇය ලොව පුරා සිටින බලපෑමක් ඇති කළ කාන්තාවන් 100 දෙනෙකු ඇතුළත් ලැයිස්තුවක් වන බීබීසිය විසින් නම් කරන ලද 'වසරේ කාන්තාවන් 100 දෙනා (BBC's 100 Women)' අතර සිටියා ය.