නොබෙල් සාම ත්‍යාගලාභී ඇලස් බියාලියාට්ස්කි යනු කවුද?

Ales Bialiatski

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇලස් බියාලියාට්ස්කි ජාත්‍යන්තර මානව හිමිකම් සම්මාන රාශියක් ලබා ඇත

ඇලස් බියාලියාට්ස්කි යනු, මේ වනවිට නඩු විභාගයකින් තොරව සිරගත කර සිටින ප්‍රකට බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි.

බෙලරුසියාවේ සිටි ඒකාධිපති පාලක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට එරෙහි වීදි විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස 1996 දී පිහිටුවන ලද වියස්නා මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා වන්නේත් 60 හැවිරිදි බියාලියාට්ස්කි ය.

බෙලරුසියානු බලධාරීන් දේශපාලන සිරකරුවන්ට එරෙහිව වධහිංසා පැමිණවීම ලේඛනගත කිරීමට සහ සිරගත කරන ලද විරෝධතාකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය ලබා දීමට වියස්නා මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කරමින් තිබේ.

"තම මව් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු තම ජීවිතය කැප කර තිබේ" යි නෝර්වීජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානී බෙරිට් රීස්-ඇන්ඩර්සන් මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගලාභීන් තිදෙනා ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ ය.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මාන රාශියක් ලබා ඇති බියාලියාට්ස්කි, 2011 දී බදු පැහැර හැරීමේ චෝදනා මත වරදකරු වීමෙන් පසු වසර තුනක් සිරගතව සිට 2014 දී නිදහස ලැබුවේ ය. ඔහු සෑම විට ම ඔහුට එරෙහිව එල්ල වූ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

A Facebook picture of Ales Bialiatski standing in front barbed wire and armed Belarusian soldiers. Photo: September 2020

ඡායාරූප මූලාශ්‍රය, Ales Bialiatski/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 දී අත්අඩංගුවට ගැනීමට පෙර, ඇලස් බියාලියාට්ස්කි බෙලාරුසියානු බලධාරීන් ආක්‍රමණිකයන් ලෙස ක්‍රියා කරන බවට චෝදනා කළේ ය.

2020 වසරේ ලුකෂෙන්කෝ තවදුරටත් බලය තහවුරු කරගත් මැතිවරණ, දූෂිත මැතිවරණයක් බවට චෝදනා කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් දැවැන්ත වීදි විරෝධතා සිදු කිරීමෙන් පසුව, 2021 දී බියාලියාට්ස්කිව නැවත සිරගත කෙරිණි.

"බලධාරීන් විසින් නැවත නැවතත් ඇලස් බියලියාට්ස්කි නිහඬ කිරීමට උත්සාහ කරමින් සිටිති" යි රීස්-ඇන්ඩර්සන් පැවසුවා ය.

"පෞද්ගලික ජීවිතයට ලැබෙන අපමණ හිරිහැර මධ්‍යයේ වුවද, බෙලාරුසියාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සටනට තමන් දෙන දායකත්වය බියලියාට්ස්කි ස්වල්ප වශයෙන් හෝ අඩු කර නො මැත." යි ඇය තවදුරටත් පැවසුවාය.

වසර දෙකකට පෙර සිදුවූ ඔහුගේ අත්අඩංගුවට ගැනීමට පෙර, "බෙලාරුසියානු බලධාරීන් ආක්‍රමණිකයන් ලෙස ක්‍රියාකරමින් සිටිති" යි බියලියාට්ස්කි සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණි.

"මුළු බෙලරුසියාව පුරා පෙලපාලිකරුවන් සිය දහස් ගණනක් සිටින අතර, ඔවුන්ගෙන් සිය ගණනක් සිරගත කර තිබේ."

බියලියාට්ස්කිගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැත.

බියලියාට්ස්කිගේ බිරිඳ වන නටාලියා පින්චුක් පැවසුවේ ඇය ඉතාම හැඟීම්බරව සිටින බවයි.

"ඇලෙස් සහ ඔහුගේ සගයන් ඔහුගේ සංවිධානය හරහා සිදුකරන ක්‍රියාකාරකම් අගය කිරීම ගැන නොබෙල් කමිටුවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මම මගේ කෘතඥතාව පළ කරමි"යි ඇය AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා සිටියා ය.

බටහිර ප්‍රජාව විසින් යුරෝපයේ අවසන් ආඥාදායකයා ලෙස හඳුන්වන ලුකෂෙන්කෝ, 1994 සිට බෙලරුසියාව පාලනය කළේ ඒකාධිපති ස්වරූපයකිනි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වූ පෙබරවාරි 24 වැනිදා සිට ම, යුක්රේනයට මාරාන්තික මිසයිල ප්‍රහාර දියත් කිරීම සඳහා සඳහා බෙලරුසියාවේ භූමිය භාවිතා කිරීමට මෙන් ම රුසියානු ගොඩබිම් හමුදා සහ අවි ගබඩා එහි යැවීමටත් ඔහු තම සමීප සගයා වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට අවසර ලබා දුන්නේ ය.

සිවිල් නිදහස සඳහා වූ යුක්රේන මධ්‍යස්ථානය

Natalia Yashchuk, Center for Civil Liberties' co-ordinator, in the organisation's Kyiv office, Ukraine. Photo: 7 October 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිවිල් නිදහස සඳහා වූ මධ්‍යස්ථානය පැවසුවේ නොබෙල් සාම ත්‍යාගය ලැබීම ආඩම්බරයක් බවයි.

බියලියාට්ස්කිට අමතරව, සිවිල් නිදහස සඳහා වූ යුක්රේන මධ්‍යස්ථානය හෙවත් (CCL) ද මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ඒකාබද්ධ ජයග්‍රාහකයින් තිදෙනා අතරේ ඇත.

CCL යනු යුක්රේනයේ ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයකි. පශ්චාත්-සෝවියට් රටවල් නවයක මානව හිමිකම් කණ්ඩායම් නායකයින් විසින් දේශසීමා අතර මානව හිමිකම් සුරැකීම සඳහා ආධාරක මධ්‍යස්ථානයක් ලෙස එය 2007 දී කීව් නුවර දී ආරම්භ කරන ලදී.

එය ආරම්භ කළ දා පටන්, 2014 දී රුසියාව විසින් ඈඳාගත් යුක්රේනයේ දකුණු අර්ධද්වීපයට අයත් ක්‍රිමියාවේ මුල්බැස ගත් දේශපාලන පීඩා නිරීක්ෂණය කරමින් සිටිති. යුක්රේනයේ නැඟෙනහිර ඩොන්බාස් කලාපයේ සිදු වූ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලේඛනගත කිරීම මෙන් ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ක්‍රෙම්ලිනයට බල කිරීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාර සංවිධානය කිරීම ද ඔවුන් විසින් සිදුකර තිබේ.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව, යුක්රේනය සම්පූර්ණයෙන් ආක්‍රමණය කිරීම ආරම්භ කළ පසුව, යුක්‍රේන සිවිල් ජනතාවට එරෙහිව රුසියානු යුද අපරාධ හඳුනාගෙන ඒවා ලේඛනගත කිරීම CCL හි ප්‍රධාන කාර්යය බවට පත් විය.

සිකුරාදා නිවේදනයෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් CCL ය පවසා සිටියේ, නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීම ගැන තමන් ආඩම්බර වන බවයි.

රුසියානු Memorial මානව හිමිකම් සංවිධානය

A man enters an office of the human rights group Memorial in Moscow, Russia. Placards read: "Memorial forever" (top) and "We love Memorial". Photo: December 2021

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සහය දක්වන්නන් විසින් පසුගිය වසරේදී මොස්කව්හි සංවිධානයේ කාර්යාලයෙන් පිටත "Memorial Forever" සහ "We Love Memorial" යනුවෙන් සටහන් කර තිබුණි.

මෙම වසරේ අනෙකුත් නොබෙල් සාම ත්‍යාගලාභියා වන්නේ බලධාරීන් විසින් මෙම වසර මුලදී වසා දමන ලද රුසියානු මානව හිමිකම් සංවිධානය වන Memorial ය.

වසර 30කට වැඩි කාලයක්, සෝවියට් යුගයේදී මරණ දඬුවම ලැබුණු, සිරගත කරන ලද හෝ පීඩාවට පත් වූ මිලියන සංඛ්‍යාත නිවැරදි මිනිසුන් පිළිබඳ අවධානය යොමු කිරීමට මෙම සංවිධානය ක්‍රියා කර තිබුණි.

එය සිදු කළ කාර්යය ගැන රුසියානු බලධාරීන් කිසි විටෙකත් සතුටු නො වූහ. මුලින් ම 2006 වසරේදී එම සංවිධානයට බලධාරීන් විසින් අවවාද කරන ලද අතර, 2014 දී එය 'විදේශීය නියෝජිතයන්' ලැයිස්තුවට එකතු කරන ලදී. එම ලැයිස්තුව, රුසියානු රජය විසින්, විදේශයන්ගෙන් අරමුදල් ලබා ගන්නා බවට චෝදනා කරන සංවිධාන සහ පුද්ගලයින්ගේ ලැයිස්තුවකි.

මෙම සංවිධානය වසා දැමීම සඳහා එරට බලධාරීන්ට ලැබුණු ලොකු ම පිටිවහල වූයේ, එහි සමහර සමාජ මාධ්‍ය පළ කිරීම් 'විදේශීය නියෝජිතයන්ගෙන් ලද තොරතුරු' ලෙස සලකුණු කර නො තිබීම ය. නීතිමය තත්ත්වය යටතේ එය සඳහන් කිරීම අවශ්‍ය කරුණකි.

2021 වසෙර් දෙසැම්බර් මාසයේදී රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම සංවිධානය සහ එහි ප්‍රාදේශීය ශාඛා වසා දැමීමට නියෝග කළේ එය '2012 විදේශීය නියෝජිත නීතිය' උල්ලංඝනය කර ඇති බව පවසමිනි.

උසාවි තීන්දුව ප්‍රකාශ කෙරෙන අවස්ථාවේ 'ලැජ්ජයි' කියමින් කෙරෙන කෑගැසීම් ඇසී තිබුණි.