සල්මාන් රුෂ්ඩි: 'The Satanic Verses' හේතුවෙන් සැඟවෙන්නට සිදුවූ ලෝ ප්‍රකට ගත්කතුවරයා

Salman Rushdie, outside King's College chapel in Cambridge in 1993

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, සල්මාන් රුෂ්ඩි, 1993 දී කේම්බ්‍රිජ්හි කිංග්ස් කොලේජ්හි දේවස්ථානය පිටත

එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ වේදිකාවක දී දරුණු පිහි ඇනුමකට ලක් වූ ලෝ ප්‍රකට ගත්කතුවර සල්මාන් රුෂ්ඩිට මේ වන විට කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තොරව හුස්ම ගැනීමට හා කතා කිරීමේ හැකියාව ලැබී තිබේ.

ප්‍රහාරයෙන් පසු ඔහුගේ නියෝජිත ඇන්ඩෲ වයිලි පැවසුවේ, නිව් යෝර්ක් ප්‍රාන්තයේ පැවති උත්සවයක දී ප්‍රහාරයට ලක්වූ 75-හැවිරිදි කතුවරයාගේ එක් අතක ස්නායු බිඳී, අක්මාවට හානි වී ඇති අතර ඇසක් අහිමි විය හැකි බව ය.

"සල්මාන්ට බොහෝවිට එක් ඇසක් අහිමි වේවි; ඔහුගේ බාහුවේ ස්නායු ද කැපී වෙන්වී ගොස් තිබෙනවා; ඔහුගේ අක්මාවට පිහි ඇනුමෙන් හානි සිදුව තිබෙනවා," ඔහුගේ නියෝජිතයා පැවසීය.

නිව් ජර්සිහි ෆෙයාර්වීව් ප්‍රදේශවාසී 24-හැවිරිදි හදී මාතර් නම් සැකකරුවෙකු මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් රඳවාගනු ලැබීය. ප්‍රහාරය එල්ල කිරීමේ චේතනාව හෝ ඔහුට එරෙහි කිසිදු චෝදනාවක් පොලිසිය විසින් තවමත් තහවුරුව නැත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඉන්දීය සම්භවයක් ඇති නවකතාකරුවෙකු වන සල්මාන් රුෂ්ඩි ඔහුගේ දශක පහක සාහිත්‍ය දිවිය පුරාවට සිය රචනාවන් හේතුවෙන් මරණ තර්ජන ලබා ඇත්තෙකි.

ඔහුගේ ග්‍රන්ථයන්ගෙන් බොහොමයක් අතිසාර්ථකවූ අතර, ඔහු විසින් රචිත දෙවන නවකතාව වන Midnight's Children (රෑ මැදියමේ දරුවෝ) වෙත 1981 දී බුකර් සම්මානය හිමිවිය.

නමුත් පෙර නොවූවිරූ පරිමාණයේ මහා ජාත්‍යන්තර කැළඹීමක් ඇතිකළේ ඔහුගේ සිව්වන නවකතාව යි. 1988 දී ප්‍රකාශයට පත්කෙරුණු 'The Satanic Verses' ග්‍රන්ථය ඔහුගේ වඩාත්ම මතභේදාත්මක කෘතිය බවට පත්විය.

රුෂ්ඩිට එරෙහිව මරණ තර්ජන එල්ලවූ අතර, ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සැඟවී සිටීමට ඔහුට සිදුවිය. බ්‍රිතාන්‍ය රජය කතුවරයා පොලිස් ආරක්ෂාව යටතට පත්කළේ ය.

එක්සත් රාජධානිය සහ ඉරානය දෙරට අතරවූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳදැමූ නමුත්, බටහිර ලෝකය පුරා කතුවරු සහ ප්‍රබුද්ධයෝ ග්‍රන්ථය වෙත එල්ලවූ මුස්ලිම් ප්‍රතිචාරය හේතුවෙන් ප්‍රකාශනයේ නිදහසට එල්ල කෙරුණු තර්ජනය හෙළා දුටුවෝ ය.

1989 දී - ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමෙන් වසරකට පසු - ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතොල්ලා රුහොල්ලා කොමේනි රුෂ්ඩි ඝාතනය කරන්නැ යි අණදෙමින් ෆාත්වා - එනම් නියෝගයක් - ප්‍රකාශයට පත්කළේ ය.

Copies of Salman Rushdie's novel The Satanic Verses on sale in the UK, circa 1988.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1988 දී ප්‍රකාශයට පත්කෙරුණු The Satanic Verses ග්‍රන්ථය පෙර නොවූවිරූ පරිමාණයේ මහා ජාත්‍යන්තර කැළඹීමක් ඇතිකළේ ය

සල්මාන් රුෂ්ඩි උපත ලැබුවේ බොම්බේහි දී, ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමට දෙමසකට පෙර ය.

වයස අවුරුදු 14 දී ඔහු එංගලන්තයටත්, එහි රග්බි පාසලටත් යවනු ලැබූ අතර, පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයේ කිංග්ස් කොලේජ් මණ්ඩපයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත්තේ ය.

බ්‍රිතාන්‍ය පුරවැසිබව ලබාගත් රුෂ්ඩි සිය මුස්ලිම් ඇදහිල්ල අත්හැර දැමුවේ ය. නවකතා රචනා කරන අතරතුරේම කෙටි කලක් නළුවෙකු ලෙස කටයුතු කළ (කෙම්බ්‍රිජ්හි 'ෆූට්ලයිට්ස්' නම් නාට්‍ය සංගමය හා එක්ව සිටියේ ය) ඔහු, පසුව වෙළඳ ප්‍රචාරක ඒජන්සියක පිටපත් රචකයෙකු වශයෙන් ද සේවයකර තිබේ.

ඔහු විසින් පළකෙරුණු ප්‍රථම ග්‍රන්ථය වන Grimus විශාල සාර්ථකත්වයක් දිනාගත්තේ නැතිමුත්, ඇතැම් විචාරකයෝ ඔහු සැළකිය යුතු ශක්‍යතාවක් ඇති කතුවරයෙකු ලෙස දුටුවහ.

Rushdie's life in numbers

රුෂ්ඩි සිය දෙවන ග්‍රන්ථය වූ Midnight's Children රචනා කිරීමට වසර පහක් ගතකළ අතර, මිලියන භාගයක පිටපත් ප්‍රමාණයක් අලෙවි වූ ද, මහත් පිළිගැනීමකට ලක්වූ ද එම කෘතියට 1981 දී බුකර් සම්මානය හිමිවිය.

Midnight's Children වෙත පාදකවූයේ ඉන්දියාව වන නමුත්, 1983 දී නිකුත්වූ ඔහුගේ තෙවන ග්‍රන්ථය වන Shame රචනා වී තිබුණේ (සෘජුව නම් නොකෙරුන ද) පාකිස්ථානය අරභයා ය. ඉන් සිව්වසකට පසු, නිකරගුවාවේ සිදුකළ සංචාරයක තතු සම්බන්ධයෙන් ලියැවුණු The Jaguar Smile රචනා විය.

ඔහුගේ ජීවිතය අනතුරට ලක්කළ කෘතිය වූ The Satanic Verses 1988 සැප්තැම්බරයේ දී ප්‍රකාශයට පත්විණි. මෙම අධියථාර්ථවාදී, පශ්චාත්-නූතන නවකතාව, එහි අන්තර්ගතය ඔවුන්ගේ දෙවියන්ට අපහාසාත්මකයැ යි සැළකූ ඇතැම් මුස්ලිම්වරුන් අතර මහත් කෝපයක් ඇතිකළේ ය.

ග්‍රන්ථය තහනම් කළ පළමු රට ඉන්දියාව විය. පාකිස්ථානය ද, තවත් මුස්ලිම් රටවල් ගණනාවක් හා දකුණු අප්‍රිකාව ද එයම සිදුකරන්නට විය .

නවකතාව බොහෝ අංශවල පැසසුමට ලක්වූ අතර, එය නවකතා සඳහා වන විට්බ්‍රෙඩ් ත්‍යාගය දිනාගත්තේ ය. නමුත් ග්‍රන්ථය වෙත එල්ලවූ විවේචනයන් ද වර්ධනය වූ අතර, දෙමසකට පසු වීදි විරෝධතාවන් ඇතිවීම ඇරඹිණි.

Demonstration Against Salman Rushdie's book The Satanic Verses in Paris, February 26, 1989

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1989 පෙබරවාරි මාසයේ පැරිසියේ දී විරෝධතාරුවන් The Satanic Verses කෘතියට එරෙහිව විරෝධතා දක්වනු දක්නට ලැබිණි

මුස්ලිම්වරු එය ඉස්ලාමයට සිදුකළ අපහාසයක් ලෙස සැළකූහ. ඔවුන් විරෝධය පෑ කරුණු අතර, නවකතාවේ සඳහන් ගණිකාවන් දෙදෙනෙකුට මුහම්මද් නබිවරයාගේ භාර්යාවන්ගේ නම් ලබාදීම ද විය.

කෘතියේ නමට පාදක වී ඇත්තේ නබිවරයා විසින් කුරානයෙන් ඉවත්කළ වාක්‍ය ද්විත්වයකි. මෙම වාක්‍යයන් ලියැවුණේ යක්ෂයාගේ ආනුභාවයෙන්යැ යි ඔහු විශ්වාස කිරීම ඊට හේතුවිය.

1989 ජනවාරි මාසයේ දී, බ්‍රැඩ්ෆර්ඩ්හි මුස්ලිම්වරු චාරිත්‍රානුකූලව පොතේ පිටපතක් පුළුස්සාදැමූහ. පුවත්පත් නියෝජිතයන් වන WHSmith එම ග්‍රන්ථය සිය වෙළඳසල්හි ප්‍රදර්ශනය කිරීම නැවැතීය. එනමුත් රුෂ්ඩි මේ අපහාස කිරීමේ චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

පෙබරවාරි මාසයේ දී, රුෂ්ඩි-විරෝධී කෝලාහලවලින් උප මහාද්වීපයේ මිනිසුන් මියගියේ ය. ඉරානයේ ටෙහෙරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යයාලයට ගල් ප්‍රහාර එල්ලවූ අතර, කතුවරයාගේ හිසට මිලක් නියම කරනු ලැබුණි.

මේ අතර එක්සත් රාජධානියේ ඇතැම් මුස්ලිම් නායකයෝ මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථ වන්නැයි ඉල්ලා සිටිද්දී, අනෙක්හු අයතොල්ලා වෙත සහාය පළකළහ. එක්සත් ජනපදය, ප්‍රංශය සහ අනෙකුත් බටහිර රාජ්‍යයන් මරණ තර්ජනය හෙළා දුටුවේ ය.

මේ වන විට සිය බිරිඳ ද සමඟ පොලිස් ආරක්ෂාව යටතේ සැඟව සිටි රුෂ්ඩි, තමා මුස්ලිම්වරුන් වෙත ඇතිකළ පීඩාව සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළකළ මුත්, අයතොල්ලා කතුවරයාගේ මරණය කැඳවීම සඳහා කළ නියෝගය අලුත් කළේ ය.

වයිකින් පෙන්ග්වින් ප්‍රකාශක සමාගමේ ලන්ඩන් කර්යයාලයන් ඉදිරිපිට විරෝධතාවන් පැවැත්වුණු අතර නිව් යෝක්හි කාර්යයාලය වෙත මරණ තර්ජන එල්ලවිය.

නමුත් ග්‍රන්ථය අත්ලාන්තික් සාගරය දෙපසම රාජ්‍යයන්හි වැඩියෙන්ම අලෙවි වූ පොතක්බවට පත්විය. ආන්තික මුස්ලිම් ප්‍රතිචාරයට එරෙහි විරෝධතා යුරෝපීය ආර්ථික ප්‍රජාවට (EEC) අයත් රටවල පිටුබලය ලැබූ අතර, එම සියලු රටවල් ටෙහෙරානයේ සිටි ඔවුන්ගේ තානාපතිවරුන් තාවකාලිකව ආපසු කැඳවනු ලැබුණි.

An Indian Muslim wears a mask of Indian writer Salman Rushdie as he displays a placard condemning Rushdie during a protest in Bombay, 12 January 2004. During the protest against Rushdie's presence in the city, organised by several Muslim organisations, a reward of Rs.100,000 (2,199 USD) to anyone who blackens the face of Rushdie,who in his book The Satanic Verses allegedly made remarks against Islam's holy prophet Mohammed.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2004 ජනවාරි මාසයේ දී කතුවරයා බොම්බායට පැමිණීමට විරෝධය පළකළ බොහෝදෙනා අතර රුෂ්ඩිගේ පෙනුම ඇති වෙස්මුහුණක් පැළඳගත් ඉන්දියානු මුස්ලිම්වරයෙක්

එහෙත් කෘතියේ අන්තර්ගතය සම්බන්ධයෙන් තර්ජනයට ලක්වූ එකම පුද්ගලයා කතුවරයා පමණක් නොවේ.

The Satanic Verses ජපන් බසට පරිවර්තනය කළ පරිවර්තකයා 1991 වසරේ ජුලි මාසයේ තෝකියෝවට ඊසාන දෙසින් පිහිටි විශ්වවිද්‍යාලයයක දී ඝාතනයට ලක්ව සිටිද්දී සොයාගැනිණි.

සංසන්දනාත්මක සංස්කෘතිය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ පරිවර්තක හිතොෂි ඉගරාෂිට කීප වතාවක් පිහි පහර එල්ලකර, ඔහු ත්සුකුබා විශ්වවිද්‍යාලයයේ ඔහුගේ කාර්යයාලයෙන් පිටත ශාලාවේ දමාගොස් තිබූබව පොලිසිය ප්‍රකාශ කළේ ය.

එම මස මුල දී, එහි ඉතාලි පරිවර්තකයා වන එත්තොරෙ කප්‍රියෝලෝ ද මිලාන්හි ඔහුගේ මහල් නිවාසයේ දී පිහිඇනුමකට ලක්වූ නමුත් ඔහු දිවි ගලවාගැනීමට සමත්විය.

රුෂ්ඩිට එරෙහි මරණ දණ්ඩනය පනවමින් නිකුත්කළ ෆාත්වාවට ඉරානය විසින් විධිගතව සහාය දැක්වීම 1998 දී නවතා දමනු ලැබීය.

Salman Rushdie

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, The Satanic Verses වෙත එල්ලවූ විරෝධය හේතුවෙන් රුෂ්ඩිට සැඟවී සිටීමට සිදුවූ අතර පොලිස් ආරක්ෂාව ද ලැබිණි

රුෂ්ඩි පසුකලෙක රචනා කළ කෘතීන් අතර ළමා නවකතාවක් වන Haroun and the Sea of Stories (1990), රචනා එක්කොට ප්‍රකාශයට පත්කෙරුණු Imaginary Homelands (1991), සහ East, West (1994), The Moor's Last Sigh (1995), The Ground Beneath Her Feet (1999), Fury (2001) යන නවකතා වේ. ඔහු 2003 වසරේ ලන්ඩනයේ දී වේදිකාගත වූ Midnight's Childrenහි නාට්‍යමය අනුවර්තනයට ද සම්බන්ධවිය.

ගෙවීගිය දශක දෙක තුළ ඔහු Shalimar the Clown, The Enchantress of Florence, Two Years Eight Months and Twenty-Eight Nights, The Golden House සහ Quichotte යන ග්‍රන්ථ ප්‍රකාශයට පත්කර තිබේ.

රුෂ්ඩි සිව්වරක් විවාහවී ඇති අතර ඔහුට දරුවන් දෙදෙනෙකු සිටියි. ඔහු දැනට එක්සත් ජනපදයේ වෙසෙන අතර සාහිත්‍යය සඳහා ඔහු කළ සේවාව වෙනුවෙන් 2007 දී නයිට් පදවියෙන් පිදුම් ලැබීය.

2012 දී ඔහු, The Satanic Verses හා සබැඳි මතභේදයෙන් අනතුරුව සිය ජීවිතය ගලාගිය ආකාරය පිළිබඳ ග්‍රන්ථයක් Joseph Anton: A Memoir නමින් ප්‍රකාශයට පත්කළේ ය.