පාකිස්තානයේදී ඝාතනය කළ ලාංකික ඉංජිනේරුවරයාගේ ඝාතනයේ චුදිතයන්ට මරණ දණ්ඩනය

A man walks past funeral banners of Sri Lanka's factory manager Priyantha Diyawadanage in Ganemulla, about 33 km from Colombo on December 7, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සියගණනක් මිනිසුන් සම්බන්ධ වී සිදුකළ කුරිරු ඝාතනය ජාතියම කම්පනයට පත් කළ අතර ඒ වෙනුවෙන් ස්මරණයන් පැවැත්විණි.

ඉස්ලාම් ආගමට අපහාස කළා යැයි චෝදනා කරමින් පාකිස්තානයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ ලාංකික ඉංජිනේරුවරයාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

සියල්කොට් නගරයේ කර්මාන්තශාලා කළමනාකරුවෙකු වූ 48 හැවිරිදි ප්‍රියන්ත දියවඩනගේට පහරදී මරා දමා සිරුර ගිනිබත් කර තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

වරදකරුවන් වූ 88 දෙනාගෙන් නව දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර අනෙක් චුදිතයන්ට වසර දෙකේ සිට පහ දක්වා සිරදඬුවම් නියම විය.

මෙම සිදුවීම මුළු රටම කම්පනයට පත් කළ අතර එවකට අගමැති ඉම්රාන් ඛාන් විසින් එම දිනය පාකිස්ථානයට "ලැජ්ජාසහගත දිනයක්" ලෙස දක්වා තිබිණි.

කුපිත වූ පිරිස දියවඩනගේව ඔහුගේ සේවා ස්ථානයෙන් ඇදගෙන ගොස් පහර දී මරා දමන දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වූ මෙම ඝාතන වීඩියෝවල දැක්විණි.

පසුව ඔවුන් ඔහුගේ සිරුර පුළුස්සා දැමූ අතර එහි සිටි බොහෝ දෙනෙකු ඔහුගේ මළ සිරුර සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නා අයුරු දැකගත හැකි විය.

"ඉන්ටනෙට් එකෙන් එයාට පහර දෙන විදිය දැක්කා, ඒක ඉතාම අමානුෂිකයි" ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩනගේගේ බිරිඳ වන නිලූෂි දිසානායක තමන් ඔහුගේ ඝාතනය දුටු ආකාරය විස්තර කළාය.

මැර ප්‍රචණ්ඩත්වයට හේතු වූයේ කුමක්ද?

ප්‍රචණ්ඩත්වය ආරම්භ වී ඇත්තේ දියවඩනගේ මුහම්මද් නබිතුමාගේ නම සඳහන් පෝස්ටර් ඉරා දැමීමේදී අපහාසාත්මක ක්‍රියාවක් කළ බවට කටකතා පැතිර යාමත් සමඟය.

එහෙත් ඔහු බේරාගැනීමේ උත්සාහයෙන් එම ස්ථානයට ගිය ඔහුගේ සඟයෙකු, ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබුනේ දියවඩනගේ ගොඩනැගිල්ල පිරිසිදු කිරීමට ආසන්න බැවින් එම පෝස්ටර් ඉවත් කර ඇති බවයි.

සියගණනක් මිනිසුන් සම්බන්ධ වී සිදුකළ කුරිරු ඝාතනය ජාතියම කම්පනයට පත් කළ අතර ඒ වෙනුවෙන් ස්මරණයන් පැවැත්විණි.

'අපහාස කිරීම' යනු කිසියම් ආගමකට හෝ දෙවියෙකුට අපහාස වන අයුරින් කථා කිරීම ලෙස අර්ථ දැක්වේ. පකිස්ථානයේදී, ඉස්ලාම් ආගමට අපහාස කරන ඕනෑම කෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ හැකිය.

ආගමික රැස්වීමකට බාධා කිරීම, සුසාන භූමියට අනවසරයෙන් ඇතුළුවීම, ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම හෝ හිතාමතාම වන්දනාමාන කරන ස්ථානයක් හෝ වස්තුවක් විනාශ කිරීම හෝ අපවිත්‍ර කිරීම රටේ දේව අපහාස නීතිය අනුව තහනම් වේ.

ඉස්ලාමීය පුද්ගලයන්ට එරෙහිව අවමන් සහගත ප්‍රකාශ කිරීම වරදක් වන අතර 1982 දී, මුස්ලිම් ශුද්ධ ග්‍රන්ථය වන කුරානය "හිතාමතා" කෙලෙසීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන වගන්තියක් ද එකතු කොට තිබේ.

1986 දී, මුහම්මද් නබිතුමාට අපහාස කිරීමට එරෙහිව දඬුවම් කිරීම සඳහා වෙනම වගන්තියක් ඇතුළත් කරන ලද අතර ඒ සඳහා නිර්දේශිත දඬුවම වූයේ "මරණය හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම" ය.

පකිස්තානයේදී, පදනම් විරහිත චෝදනාවලට පවා, එම චෝදනා ලබන අපරාධකරුවන්ට එරෙහිව විරෝධතා සහ මැර ප්‍රචණ්ඩත්වයන් අවුළුවාලිය හැකිය. මානව හිමිකම් විචාරකයින් දිගු කලක් තිස්සේ තර්ක කරමින් කියා සිටින්නේ සුළු ජාතීන් බොහෝ විට මෙම චෝදනාවල ඉලක්කකරුවන් බවට පත්වෙන බවයි.

People in Pakistan hold a vigil for Priyantha Diyawadanage on Sunday in protest of his violent mob death

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රියන්ත දියවඩනගේගේ කෲර ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව පුරා විරෝධතා මතුව තිබුණි.