ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයාගේ ඝාතනයට සැකපිට පිරිසක් අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, RESCUE 1122
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 100ක් දෙනා අත්අඩංගුවට ගත්බව පන්ජාබ් පොලීසිය ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලාංකිකයා ඝාතනයකර ඇත්තේ "දෙවියන්ට අපහාස කළේයැ"යි හේතු දක්වමිනි.
සිකුරාදා සියල්කෝට්හි දී ඔහු වධහිංසාවට පමුණුවා මරා දැමීමෙන් පසු, ඔහුගේ සිරුරට ගිනි තබා ඇත.
පන්ජාබ් පොලිස් ප්‍රකාශකයෙකු කියා සිටියේ ප්‍රධාන චූදිතයා ශ්‍රී ලාංකිකයාට වධහිංසා පමුණුවන අයුරු, සහ අනෙකුන් ඊට උසිගන්වන අයුරු වීඩියෝවේ දැකිය හැකි බව යි.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවේ රඳවාගෙන ඇති අතර, CCTV දර්ශන මඟින් ඔවුන්ගේ භූමිකාව තීරණය කරන බව එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදුකරන බව ද පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ ප්‍රධාන විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
පන්ජාබ් රජයේ මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර්ගේ ට්විටර් සටහනකට අනුව, මේ වන විට හඳුනාගෙන ඇති ප්‍රධාන විත්තිකරුවන් වන්නේ ෆර්හාන් ඉඩ්රීස් සහ උස්මාන් රෂීඩ් යන අය යි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පුරවැසියා ප්‍රියන්ත කුමාර දියවඩනගේ ලෙස හඳුනාගෙන ඇතිබව සියල්කෝට් පොලිසියේ නිලධාරියෙකු මීට පෙර බීබීසීයට පවසා තිබුණි.
ප්‍රියන්ත කුමාර දියවඩනගේ සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නම් පෞද්ගලික ආයතනයක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටිබව වාර්තා වේ.
සියල්කෝට්හි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ඔහුගේ සිරුර රෝහලට රැගෙන එන විට ඉතා දරුණු ලෙස පිළිස්සී තිබූ බව යි. "ශරීරය බොහෝ දුරට අළු වී තිබුණේයැ"යි ඔවුන් සඳහන් කරයි.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "සියල්කෝට්හි කර්මාන්තශාලාවක දී නීතිය සියතට ගත් කණ්ඩායමක් එල්ල කළ ගොරතර ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්ථානයට ලැජ්ජාසහගත දිනයක්" බව යි. තමා මෙම විමර්ශනය අධීක්ෂණය කරනබවත්, වගකිව යුත්තන් සියලුදෙනාටම උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත්, අත්අඩංගුවටගැනීම් දිගටම ක්‍රියාත්මක බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩය හරහා කියා සිටියේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකියි. එය "ලැජ්ජාසහගත සිදුවීමක්" ලෙස හඳුන්වන ඔහු, අධිකරණ ක්‍රියාමාර්ගවලින් බැහැර එවැනි ක්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බව ද පැවසීය.
මීට පෙර, පන්ජාබ් බලධාරීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සියල්කෝට් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පනස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යි. පරීක්ෂණය පැය 48කින් අවසන් වනු ඇති බවත්, සියලු අපරාධකරුවන් CCTV දර්ශන සහ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ආධාරයෙන් අල්ලාගනු ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළෝ ය.
සියල්කෝට්හි සිදුවීමේයැ යි කියන වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter/OfficialDPRPP
සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන මුහම්මද් බෂීර් පවසන්නේ, ප්‍රියන්ත කුමාර දෙවියන්ට අපහාසයක් කර ඇති බවට කර්මාන්තශාලාව තුළ කටකතා පැතිර ගොස් ඇතිබව යි.
"මේ කටකතාව කම්හල ඇතුලේ ඉක්මණින්ම පැතිරිලා ගියා. ඊට පස්සේ කර්මාන්තශාලා සේවකයන් විශාල පිරිසක් එළියට ගිහින් මුලින්ම විරෝධය පළ කළා," ඔහු කියයි.
අනතුරුව කර්මාන්තශාලාවට ඇතුළු වූ විශාල පිරිසක් ප්‍රියන්ත කුමාරට වධහිංසා පමුණුවා මරා දමා ඇති අතර, විරෝධතාව අතරතුර ඔහුගේ සිරුරට ගිනි තබා තිබේ.
ප්‍රියන්ත බේරා ගැනීමට සහන සේවකයින් අසමත් වූයේ ඇයි?
ගලවාගැනීමේ කණ්ඩායමේ නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුවත් වූ වහාම එහි ගිය බව යි.
උදෑසන 11:35ට පමණ වසීර් පාරේ කැරලි කෝලාහලයක් ඇතිවන බවට ඇමතුමක් ලැබුණු බවත්, ඉන් මිනිත්තු 5කට පසුව කණ්ඩායම එම ස්ථානයට ළඟා වූ බවත් ඔහු පවසයි.
"අපි එතැනට යද්දී, මියගිය පුද්ගලයාට ෆැක්ටරිය තුළ දී වධහිංසා පමුණුවා තිබුණා. පොලිසිය හිටියේ අඩුවෙන්," ඔහු පවසයි.
"අපි හිටියේ නිල ඇඳුමෙන්," ඔහු බීබීසීය හා පැවසුවේ ය. "මිනිස්සු සිටියේ කෝපයෙන්. විපතට පත් වූ පුද්ගලයාට කිසිදු අයුරකින් සහයක් ලබාදීමට හෝ කිසිවෙකුට මැදිහත් වීමට අපට හැකියාවක් තිබුණේ නැහැ."
ගලවාගැනීමේ සේවකයා පවසන්නේ වින්දිතයා මාර්ගයට ගෙන එන විට ද මියගොස් සිටි බව යි. කෝපයට පත් ජනතාව ඔහුගේ සිරුර පාරට ගෙනැවිත් ගිනි තබා සටන් පාඨ කියමින් සිට ඇත.
මෙම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වීමට උත්සාහ කළ නමුත්, කලබලයට පත් ජනතාව සංඛ්‍යාත්මකව විශාල වූ අතර, පොලිස් බලකායේ සිටියේ කීපදෙනෙකු පමණක්යැ යි පැවසේ.
ගලවාගැනීමේ සේවකයාට අනුව, දහවල් 12.30ට පමණ පිළිස්සුණු සිරුර රෝහලට භාරදීමට හැකිව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
සිද්ධිය ඇසින් දුටු තවත් සාක්ෂ්‍යකරුවෙකුට අනුව, කර්මාන්තශාලා සේවකයින්ගේ විරෝධතාව බොහෝ වේලාවක් පැවතී ඇත. මෙයට අවට ප්‍රදේශවල ජනතාව ද විශාල වශයෙන් එක්වූ බව ඔහු පවසයි.
සියල්කොට්හි ප්‍රාදේශීය මාධ්‍යවේදී යසර් රාසා පවසන්නේ කර්මාන්තශාලාව තුළ දේව අපහාසයක් සිදුකර ඇති බවට උදෑසන සිට කටකතා පැතිර ගිය අතර, ඉන් පසුව ප්‍රදේශයේ ජනතාව ද කෝපයට පත්වූ බව යි.
උදෑසන සිට නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වූ නමුත් නිසි ආරක්ෂක පියවරයන් එම අවස්ථාවේ දීම නොගෙන ඇති බවත්, කාලයත් සමග විරෝධතාකරුවන් සංඛ්‍යාව වැඩිවූ බවත් යසර් රාසා සඳහන් කරයි.
ඉංජිනේරු ප්‍රියන්ත දියවඩන
ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ගනේමුල්ල, වැලිපිහිල්ල හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ '93 කණ්ඩායමේ උපාධිධරයෙකු වන ඔහු වයස අවුරුදු 14ක සහ 9ක පුතුන් දෙදෙනෙකුගේ පියෙකු ද විය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Priyantha Diyawadana
මේ අතර ඔහුගේ පවුලේ අය ඉල්ලාසිටින්නේ ඔවුන්ට යුක්තිය ඉෂ්ට කර දෙන ලෙසයි.
''මගේ මහත්තයා හරිම අහිංසක කෙනෙක්. පිටරට මෙච්චර සේවය කරලා මිලේච්ඡ විදියට ඝාතනය කරන බව මම නිවුස් වලින් දැක්කේ," ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ගේ බිරිඳ නිරෝෂි දසනායක බීබීසී සිංහල සමග පැවසිය. "ඊට පස්සේ මං අන්තර්ජාලයෙනුත් දැක්කා බොහොම අමානුෂික ලෙස ඝාතනය කරනවා.මම ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිතුමාගෙන් ද පකිස්ථාන රජයේ ජනාධිපති සහ අගමැතිතුමාගෙන් ද මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් කර මගේ මහත්තයාට සහ දරු දෙදෙනාටත් යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.''
ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ගේ සහෝදරයා වන කමලසිරි ශාන්ත කුමාර බීබීසී සිංහල සමග පැවසුවේ ''ඔතන ඔය සියල්කොට් ෆැක්ටරියට ගියේ 2012දී. එදා ඉඳන් ඒ ෆැක්ටරියේ තමයි ඉන්නේ. එයා තමයි එතන ෆැක්ටරිය සම්පුර්ණවම අන්තිමට බාරව හිටියේ, අයිතිකාරයට පස්සේ. දැනට දන්න විදියට වෙලා තියෙන්නේ මොකක්ද අන්තවාදී සංවිධානයක් ඇතුළේ පෝස්ටර් වගයක් ගහලා ස්ට්‍රයික් එකක් කරලා එහෙම ගිහින් තමයි මේ අනතුර සිද්ධ වුණේ කියලා දැනට දැන ගන්න තියෙන්නේ.''
ජනාධිපතිවරයාගේ විශේෂ නිවේදනය
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මහත් සංවේගයට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසිය. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවයි.මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.ජනාධිපතිවරයා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටියේ, පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසයි."කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන බවත්, එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියා කළ යුතු බවත් මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වන" බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ විශේෂ නිවේදනයෙන් අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අවධානය
මේ අතර අද (දෙසැ. 4) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ප්‍රියන්ත දියවඩනගේ ඝාතනය පිළිබඳ අවධානය යොමුවිය.
පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරිමේ මෙම සිද්ධිය හෙළා දකින බවත්, ඒ පිළිබඳව සංවේගය පළ කරන බවත්, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
ඔහු අවධාරණය කළේ, ඒ සදහා යුක්තිය ඉටු කිරීමට පාකිස්තාන අගමැතිවරයා මැදිහත් වීම අගය කරන බව යි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයෙකුට වධහිංසා පමුණුවා, සිරුරට ගිනි තැබීමේ සිද්ධියක් පිළිබඳව විදේශ අමාත්‍යාංශයට වාර්තා වී ඇත," යනුවෙනි.
ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යයාලය මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු පාකිස්තාන බලධාරීන්ගෙන් තහවුරුකර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද එම අමාත්‍යංශය පවසා සිටියි.
"මේ පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තාන බලධාරීන් අවශ්‍ය පියවර ගනු ඇතැ යි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව," ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
පොදුජන ඉංජිනේරු පෙරමුණත් ඝාතනය හෙළා දකියි
මේ අතරේ, මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ, පාකිස්තානයේ ඉස්ලාමික අන්තවාදීන් ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීම ඔවුන් දැඩි ලෙස හෙළා දකින බව යි.
"පසුගිය 10 වසර පුරාවටම ඉංජිනේරු දියවඩන අදාල පාකිස්තානු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස අවංකව සේවය කර ඇති අතර, සාමාන්‍ය සමාගමක් මහා පරිමාණ සමාගමක් දක්වා දියුණු කිරීමට දායක වූ ප්‍රධාන පුද්ගලයෙක් විය."
"අප සමග ඉතා මිත්‍රශීලී රටෙහි මෙය සිදුවීම ඉතාම ශෝචනීය" වග සඳහන් කරන සභාපතිවරයා, "එනමුත් මේ අන්දමේ ආගමික වනචාරීත්වය ඉදිරියේ අපට නිශ්ශබ්දව සිටිය නොහැකියැ"යි ද ප්‍රකාශ කරයි.
"වෘත්තිකයන් සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයාට සහ ඔහුගේ පවුලේ අයට සාධාරණයක් ඉල්ලා සිටින අතර, සෑම ආකාරයකම ආගමික අන්තවාදය අතුගා දැමීමට බලාපොරොත්තු වෙමු," පොදුජන ඉංජිනේරු පෙරමුණු සභාපති විජිත හේරත්ගේ ප්‍රකාශයේ සඳහන් විය.











