පකිස්ථානයේ මැර පිරිසක් දේව අපහාස කළැයි චෝදනා ලැබූ තවත් අයෙක් ඝාතනය කරයි

Relatives and locals carry a coffin containing the body of a man for his funeral at Khanewal district on Sunday 13 February 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරිදා ඛනේවාල් හි ඥාතීන් සහ ප්‍රදේශවාසීහු ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා දේහය රැගෙන යමින්

දේව අපහාසය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ නවතම සිදුවීම මධ්‍යම පකිස්තානයෙන් වාර්තා කරමින් කුරානයේ පිටු පුළුස්සා දැමා දේව අපහාස කළැයි චෝදනා කරමින් මැර පිරිසක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පන්ජාබ් පළාතේ ඛානේවාල් දිස්ත්‍රික්කයේ සෙනසුරාදා සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් අත්අඩංගුවේ පසුවූ මෙම පුද්ගලයාව, පසුව පිරිසක් විසින් පැහැර ගෙන ඇති බවට වාර්තා වේ.

ඔහුගේ දේහය පවුලේ අයට භාරදීමෙන් අනතුරුව අවසන් කටයුතු ඉරිදා පැවැත්විණි.

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ මෙම සිද්ධිය "නීතියේ පූර්ණ බලතල ඇතිව ක්‍රියාකරනු ඇති" බවත්, මෙම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අපොහොසත් වූ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටින බවත්ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඔහුගේ රජය "ඕනෑම අයෙකු නීතිය අතට ගැනීම නොඉවසන" බව ය.

පොලිස් නිලධාරි මුනාවර් හුසේන් පැවසුවේ, මෙම 40 හැවිරිදි පුද්ගලයා සොයා ගැනීමට නිලධාරීන් පැමිණෙන විටත් ඔහුව ගසක බැඳ සිහිසුන්ව සිටි බවයි.

ඛානේවාල් යනු ලාහෝර් සිට නිරිත දෙසින් සැතපුම් 170 (275km) දුරින් පිහිටා ඇති නගරයකි.

"[ලී] පොලුවලින්, පොරවවල් වලින් සහ යකඩ පොලුවලින් සන්නද්ධ ගම්වැසියන් ඔහුව මරා දාලා ඔහුගේ සිරුර ගසක එල්ලා තබලා," හුසේන් රොයිටර් පුවත් සේවයට පැවසීය.

වින්දිතයා "පසුගිය වසර 15 තුළ මානසිකව අස්ථායීව සිටි" බව සිද්ධිය වූ තුලම්බා පොලිස් ස්ථානයේ ප්‍රධානී මුනවර් ගුජ්ජාර් AP පුවත් සේවයට පැවසීය.

මෙම ඝාතනය සිදු වන්නේ පන්ජාබ් පළාතේ සියල්කොට් නගරයේ දී දේව අපහාස කිරීමක් නිසා කර්මාන්තශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකුට මැර පිරිසක් පහර දී මරා දමා ගිනි තබා මාස දෙකකට පසුව ය.

පකිස්තානයේ දේව අපහාස නීතිය අනුව, ඉස්ලාමයට අපහාස කරන ඕනෑම කෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ හැකි නමුත්, විචාරකයින් පවසන්නේ එම නීතිය සුළු ජාතික ඇදහිලිවලට හිංසා කිරීමට සහ සුළු ජාතීන්ට අසාධාරණ ලෙස ඉලක්ක කර සැලකීමට යොදා ගත් ඒවා බවයි.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ ආගමට සුළු හෝ සම්බන්ධයක් නොමැති අවස්ථාවල දී පවා පුද්ගලික වෛර පිරිමසා ගැනීමට එම නීතිය අවභාවිතා කර ඇති බවයි.