කොවිඩ් එන්නත නිපදවීමට මඟපෑදූ විද්‍යාඥයෝ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබති

Professors Drew Weissman (left) and Katalin Kariko

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෲ වයිස්මන් (වමේ) සහ කැට්ලින් කරිකෝ මහාචාර්යවරු

මෙවර කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය, mRNA කොවිඩ් එන්නත නිපදවීමට මඟ සැකසූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට පිරිනමා තිබේ.

මහාචාර්ය කැට්ලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වයිස්මන් අතර ත්‍යාගය බෙදී යනු ඇත.

කොවිඩ් වසංගතය මතුවීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, බරපතල කොවිඩ්-19න් ආරක්ෂාවීම සඳහා එම එන්නත මේ වන විට ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට ලබාදී තිබේ.

පිළිකාව ඇතුළු වෙනත් රෝගවලට එරෙහි ඖෂධ නිපදවීම සඳහා ද එම mRNA තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදුකෙරෙමින් පවතියි.

නොබෙල් ත්‍යාග කමිටුව මෙසේ ප්‍රකාශ කළේ ය: "නූතන යුගයේ මානව සෞඛ්‍යයට ඇතිවූ බරපතලම තර්ජනයක් අතරතුර පෙර නොවූ විරූ එන්නතක් ඉතා ඉක්මනින් නිපදවීම සඳහා සම්මානලාභීහු දායක වූහ."

රෝගකාරක වෛරස් සහ බැක්ටීරියා හඳුනාගෙන ඒවායේ තර්ජනයන්ට එරෙහිව ක්‍රියාත්මකවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැඩගැස්වීම එන්නත්වලින් සිදුකෙරෙයි.

සාම්ප්‍රදායික එන්නත් තාක්‍ෂණය පදනම් වී ඇත්තේ, මියගිය හෝ දුබල කළ රෝගකාරක වෛරසය හෝ බැක්ටීරියාව හෝ, බෝවන රෝගකාරකයේ කොටස් භාවිත කිරීම මත ය.

ඊට වෙනස්ව, දූත රයිබොනියුක්ලෙයික් අම්ලය භාවිතා කරන (mRNA) එන්නත් මුළුමනින්ම වෙනස් ප්‍රවේශයක් භාවිතා කරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොවිඩ් වසංගතය පැවති සමයේ, මොඩර්නා සහ ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් නිපදවනු ලැබුවේ mRNA තාක්ෂණය පදනම් කරගෙන ය.

1990 දශකයේ මුල් භාගයේ දී, දෙදෙනාම ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයයේ සේවය කරද්දී මහාචාර්ය කරිකෝ සහ මහාචාර්ය වෙයිස්මන් මුණගැසී තිබුණි. mRNA තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ පැවති උනන්දුව, විද්‍යාත්මකව එතරම් දියුණුවක් නැති අංශයක් ලෙස සැලකුණි.

"මම රැස්වීම්වලට ගිහින් මම කරන වැඩ ගැන කරුණු ඉදිරිපත් කරනවා. මිනිස්සු මගේ දිහා බලලා මට කියනවා: 'ඒක ගොඩක් හොඳයි, ඒත් ඔයාගේ කාලය වැඩක් ඇති දේකට වැය කරන්නෙ නැත්තේ ඇයි? mRNA කවදාවත් හරියන දෙයක් නෙවෙයි,' කියලා. ඒත් මමයි කැතියි දිගට ම ඒක කරගෙන ගියා," මහාචාර්ය වෙයිස්මන් බීබීසී Newshour වැඩසටහනට පැවසීය.

මෙම විද්‍යාඥයින් දෙපළ ඔවුන් ත්‍යාගය දිනූ පුවත ඇසීමෙන් පසු දැක්වූ ප්‍රතිචාරය කෙබඳුදැ යි ඇසූ විට මහාචාර්ය කරිකෝ පැවසුවේ, ඇය මුල දී එය "නිකම් විහිළුවක්" ලෙස සිතූ බව ය.

මහාචාර්ය වෙයිස්මන් ද මෙසේ පැවසීය: "ඔයාට තේරෙනවනේ, මම අතිශය සතුටකට පත්වුණා. ඊට පස්සේ අවිශ්වාසයක් ආවා, ඒ වගේ ම, එන්නත් විරෝධියෙක් අපට විහිළු කරනව ද කියන සැකයත් ඇති වුණා."

"ඒත්, නිවේදනය දැක්කා ම, අපි දැන ගත්තා ඒක ඇත්තක් කියලා. ඒ වගේ ම, අපූරු හැඟීමක් හිතට දැනුණා."

කොරෝනාවෛරසයෙන් එක් කොටසක් - ප්‍රෝටීනයක් - ගොඩ නැගීම සඳහා වන ජානමය විධානය mRNA කොවිඩ් එන්නතෙහි අඩංගු වේ.

මෙය ශරීරයට එන්නත් කළ පසු, අපගේ සෛල විසින් වෛරස් ප්‍රෝටීන් අධික ලෙස නිපදවීම අරඹයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේවා ආගන්තුක ද්‍රව්‍ය ලෙස හඳුනාගන්නා නිසා ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන අතර, වෛරසයට එරෙහිව සටන් කළ යුතු ආකාරය උගනියි. එහෙයින්, අනාගතයේ දී එම ආසාදනය ඇතිවන විට මුලදීම ඊට එරෙහිව ක්‍රියාත්මකවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකිවේ.

මෙම තාක්‍ෂණය පිටුපස ඇති පොදු අදහස වන්නේ, නිවැරදි ජානමය විධානය භාවිතා කිරීමට අවබෝධය තිබේ නම් ඕනෑ ම දෙයකට එරෙහිව එන්නතක් වේගයෙන් සංවර්ධනය කළ හැකි වීම ය.

එන්නත් නිපදවීමේ සාම්ප්‍රදායික ප්‍රවේශයන්ට වඩා මෙය අතිශයින් වේගවත් සහ නම්‍යශීලී වෙයි.

මෙම තාක්ෂණය භාවිතාවෙන්, පිළිකාවලට එරෙහිව සටන් කිරීමට රෝගියාගේ ශරීරයට ඉගැන්වීම සඳහා වන අත්හදාබැලීමේ ප්‍රවේශයන් පවා සිදුකෙරෙමින් පවතියි.

එහිදී, විද්‍යාඥයෝ රෝගියාගේ පිළිකාව විශ්ලේෂණය කර, පිළිකාව මඟින් පමණක් නිපදවන (නිරෝගී පටකවල නොමැති) අසාමාන්‍ය ප්‍රෝටීන සොයා, ඒවා ඉලක්ක කරන එන්නතක් රෝගියාට ලබාදෙති.

mRNA එන්නත් නිපදවීම සඳහා අවශ්‍ය වූ ප්‍රබල විද්‍යාත්මක සොයාගැනීම් රැසක්, කරිකෝ සහ වයිස්මන් මහාචාර්යවරු සිදුකළහ.

මෙම සිද්ධාන්තය සාමාන්‍ය මානව ජීවවිද්‍යාවට අදාළ ය. අපගේ ශරීරයේ ඇති RNAහි කාර්යයභාරය වන්නේ, අපගේ ජාන කේතය හෙවත් DNAහි රැඳී ඇති විධානයන් අපගේ ශරීරය ගොඩනගා ඇති ප්‍රෝටීන බවට පරිවර්තනය කිරීම ය.

කෙසේ වෙතත්, මෙහි අභියෝග ද පැවතිණි. එහෙත්, තාක්‍ෂණය දියුණු කිරීමෙන් පසු, සත්ත්ව අත්හදා බැලීම්වල දී දක්නට ලැබුණු භයානක ප්‍රදාහ තත්ත්වයන් ඇති නොකරමින් අපේක්ෂිත ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් නිපදවීමට පර්යේෂකයන්ට හැකි විය.

මෙමඟින්, මිනිසුන් සඳහා භාවිතා කළ හැකි එන්නත් තාක්ෂණයක් දියුණු කිරීමට මාර්ගය සැකසිණි.

කැටලින් කරිකෝ මේ වන විට හංගේරියාවේ සෙගඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන අතර, ඩෲ වයිස්මන් තවමත් පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයයේ සේවය කරයි.

පසුගිය නොබෙල් ත්‍යාගලාභීන්

  • 2022 - ස්වාන්ටේ පේබෝ, මානව පරිණාමය පිළිබඳ සොයාගැනීම් වෙනුවෙන්
  • 2021 - ඩේවිඩ් ජූලියස් සහ ආර්ඩම් පටපූටියන්, ස්පර්ශය සහ උෂ්ණත්වය ශරීරයට සංජානනය වන්නේ කෙසේ ද යන්න පිළිබඳව කළ පර්යේෂණ වෙනුවෙන්
  • 2020 - මයිකල් හූටන්, හාර්වි ඕල්ටර් සහ චාර්ල්ස් රයිස්, හෙපටයිටිස් සී වෛරසය සොයාගැනීම වෙනුවෙන්
  • 2019 - ශ්‍රීමත් පීටර් රැට්ක්ලිෆ්, විලියම් කේලින් සහ ග්‍රෙග් සෙමෙන්සා, සෛලවලට ඔක්සිජන් මට්ටම සංජානනය වන ආකාරය සහ සෛල ඊට අනුවර්තනය වන ආකාරය සොයාගැනීම වෙනුවෙන්
  • 2018 - ජේම්ස් පී. ඇලිසන් සහ තසුකු හොන්ජෝ, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය භාවිතාවෙන් පිළිකාවට එරෙහිව සටන් කිරීම සොයා ගැනීම වෙනුවෙන්
  • 2017 - ජෙෆ්රි හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් යොං, ශරීරය දෛනික රිද්මයක් (circadian rhythm) හෝ 'ඔරලෝසුවක්' පවත්වාගෙන යන ආකාරය අනාවරණය කිරීම වෙනුවෙන්
  • 2016 - යොෂිනොරි ඔසුමි, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හරහා සෛල ඒවායේ නිරෝගීබව පවත්වා ගන්නා ආකාරය අනාවරණය කිරීම වෙනුවෙන්