ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නිවේදිකාවන් මුහුණු ආවරණය කරගනියි

Tolo News presenter Sonia Niazi covers her face during a broadcast

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෝනියා නියාසි පැවසුවේ කාන්තා නිවේදිකාවන් එම තීරණයට විරුද්ධ වූ නමුත් ඔවුන්ගේ සේවා යෝජකයන් එමගින් පීඩනයට ලක් වූ බවයි

ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නිවේදිකාවන් සහ වාර්තාකාරිණියන් තාලිබාන් නියෝගයකට අනුව ඉරිදා සිට මුහුණු ආවරණය කරගෙන විකාශන කටයුතු වල නියුතු විය.

ඊට පෙර දින ඔවුන්ගෙන් ඇතැමෙක් අණ නොතකා මුහුණු විවෘත තබා ගත්හ.

එක් නිවේදිකාවක් පැවසුවේ මාධ්‍යවේදිනියන් එම තීරණයට විරුද්ධ වූ නමුත් ඔවුන්ගේ රූපවාහිනී ආයතන අයිතිකරුවන් එම තීරණයෙන් පීඩනයට ලක් වූ බවයි.

පසුගිය වසරේ බලය අල්ලා ගැනීමෙන් පසුව, තාලිබාන් සංවිධානය මෑතක පටන් කාන්තාවන්ගේ ජීවිතවලට වැඩි වැඩියෙන් සීමාවන් පනවා ඇත.

හිජාබ් සහ මුහුණු ආවරණ සහිත වේල් පැළඳ සිටින කාන්තාවන් TOLOnews, Ariana Television, Shamshad TV සහ 1TV වැනි ජනප්‍රිය නාලිකා හරහා ප්‍රවෘත්ති, දැන්වීම් සහ අනෙකුත් වැඩසටහන් ඉදිරිපත් කළේය.

TOLOnews නිවේදිකාවක් වන ෆරීඩා සියල් බීබීසීයට පැවසුවේ, "අපි මුස්ලිම් වුණාට කමක් නැහැ, අපි හිජාබ් දාගෙන ඉන්නවා. අපි කොණ්ඩය සඟවා ගන්නවා. නමුත් නිවේදිකාවකට පැය දෙක තුනක් එක දිගට මුහුණ වසාගෙන ඒ වගේ කතා කරන එක ‍ගොඩක් අමාරුයි."

මෙම ආඥාව ඉවත් කරවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තාලිබාන් සංවිධානයට බලපෑම් කළ යුතු බව ඇය පැවසුවාය.

"එයාලට ඕන කාන්තාවන් සමාජ හා දේශපාලන ජීවිතයෙන් අයින් කරන්නයි," ඇය පැවසුවාය.

මීට පෙර තාලිබාන් සංවිධානයේ දුරාචාරය වැළැක්වීම සහ ගුණධර්ම ප්‍රවර්ධනය සඳහා වූ අමාත්‍යාංශය විසින් සියලුම කාන්තාවන් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවට නියෝග කළ අතර එම සංවිධානය සෙනසුරාදා සිට රූපවාහිනී නිවේදිකාවන්ට ද එම නියෝගය ලබා දී ඇත.

මුලින් ඇතැම් කාන්තාවන් කීකරු නොවූ නිසා, තාලිබාන් නිලධාරියෙකු පැවසුවේ කළමනාකරුවන් සහ භාරකරුවන් සමඟ කතා කර ඔවුන්ට දඬුවම් ලබාදීමට ක්‍රියා කරන බවයි.

TOLOnews හි නිවේදිකාවක් වන සෝනියා නියාසි AFP ප්‍රවෘත්ති ඒජන්සියට මෙසේ පැවසුවාය: "අපි මුහුණ ආවරණ කරගන්න එකට විරුද්ධ වුණා."

නමුත් ඇය පවසන්නේ තාලිබාන්වරු රූපවාහිනී ආයතනයට බලපෑම් කරමින් නිවේදිකාවන් වෙනත් රැකියාවලට මාරු කරන ලෙස හෝ සේවයෙන් පහ කරන ලෙසත් උපදෙස් දුන් බවයි.

නාලිකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඛ්පොල්වාක් සපායි ෆේස්බුක් හි සටහනක් තබමින් මෙසේ පැවසීය: "අපි අද දවස ගැන ගොඩක් දුක් වෙනවා."

Female presenters on Afghanistan's 1TV channel
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා රූපවාහිනී නිවේදිකාවන් තමන්ව නිවේදන කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇතැයි බියෙන් සිටින බව ජ්‍යෙෂ්ඨ රූපවාහිනී විධායකයෙක් පැවසීය

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි තවත් ඇෆ්ගනිස්තාන මාධ්‍යවේදිනියක් බීබීසීයට පැවසුවේ "අද මගේ රටේ කාන්තාවන්ට තවත් අඳුරු දවසක්" යනුවෙනි.

ජ්‍යෙෂ්ඨ රූපවාහිනී විධායකයෙකු පැවසුවේ ඉදිරියේදී නිවේදිකාවන් රූපවාහිනී තිරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇතැයි තම ආයතන සේවිකාවන් බියෙන් සිටින බවයි.

ලොව පුරා සිටින බොහෝ මුස්ලිම්වරුන් කාන්තාවන් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කිරීම ආගමේ අනිවාර්ය අංගයක් ලෙස නොසලකන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රටේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු තාලිබාන් සංවිධානය ද මුලින් වඩාත් නම්‍යශීලී ප්‍රවේශයක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබුණි.

නමුත් මෑත සතිවලදී, ඔවුන් කාන්තාවන්ට නගර උද්‍යාන නැරඹීමට වෙනම දින නියම කිරීම, පිරිමි භාරකරුවෙකු නොමැතිව දිගු ගමනක් යාම තහනම් කිරීම ඇතුළු සීමාවන් මාලාවක් පනවා තිබේ.