තාලිබාන් නීති: ගණුදෙනුකරුවන්ගේ රැවුළ කැපීම එරට බාබර්වරුන්ට තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පළාතේ කරණවෑමියන්ට තම ගණුදෙනුකරුවන්ගේ රැවුළ මුඩු කිරීම හෝ කෙටි කිරීම තහනම්කර ඇත. ඊට හේතු ලෙස එම සංවිධානය පවසා ඇත්තේ, රැවුළ කැපීම මඟින් ඉස්ලාමීය නීතිය පිළිබඳ තාලිබාන් අර්ථ දැක්වීම උල්ලංඝනය කෙරෙන බවයි.
මෙම තහනම උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට දඬුවම් හිමිවන බව තාලිබාන් ආගමික පොලිසිය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ අගනුවර වූ කාබුල් හි ඇතැම් බාබර්වරුන් ද පැවසූයේ තමන්ට ද ඊට සමාන නියෝගයන් ලැබී ඇතිබව යි.
මෙවන් නියෝගයන් ලබාදීම තුළින් පෙනෙන්නට ඇත්තේ, මෙවර වඩාත් ලිහිල් පාලන ක්‍රමයක් පිළිබඳ පොරොන්දු දී තිබියදීත් තාලිබාන් සංවිධානය අතීතයේ එරට පාලනය කරද්දී දැක්වූ දරදඬු ක්‍රියාකලාපය වෙත නැවතත් පියමනිමින් සිටින ආකාරය යි.
පසුගිය මාසයේ දී බලය ලබාගැනීමෙන් අනතුරුව තාලිබාන් සංවිධානය සිය ප්‍රතිවාදීන්ට ඉතා කුරිරු දඬුවම් ලබා දෙයි. එම කණ්ඩායමේ සටන්කරුවන් 'පැහැරගෙන යන්නන්' ලෙස හැඳින්වූ සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනයකොට, ඔවුන්ගේ සිරුරු හෙරාට් පළාතේ වීදිවල එල්ලා ප්‍රදර්ශන කෙරුනේ ගෙවුණු සෙනසුරාදා ය.
හෙල්මන්ඩ් පළාතේ කොණ්ඩා කපන ස්ථානයන්හි ප්‍රදර්ශන කෙරුනු දැන්වීමක් මඟින්, කරණවෑමියන් කොණ්ඩා සහ රැවුළ කැපීම පිළිබඳ ශාරියා නීති පිළිපැදිය යුතු බවට තාලිබාන් නිලධාරීන් අනතුරු අඟවා තිබුණි.
"කිසිවෙකුටත් මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීමේ අයිතිය නොමැත," BBCය ද දකින ලද එම දැන්වීමෙහි සඳහන් විය.
"සටන්කාමියො ආයේ ආයේ ඇවිත් අපට අණ කරනවා රැවුළ කොට කිරිල්ල නවත්තන්න කියලා," කාබුල්හි එක් බාබර්වරයෙකු පැවසුවේ ය. "වෙස්වලාගත්ත සෝදිසිකාරයෝ එවලා අපිව අල්ලගන්නවා කියලා එක්කෙනෙක් මට කිව්වා."
නගරයේ විශාලතම බාබර් සාප්පුවක හිමිකරු වන කොණ්ඩා මෝස්‌තර ශිල්පියෙකු සඳහන් කළේ රජයේ නිලධාරියෙකු වශයෙන් හඳුන්වාගත් අයෙකුගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණුබව යි. එම තැනැත්තා "ඇමරිකානු මෝස්‌තර අනුගමනය කිරීම නවතා දමා", කිසිවෙකුගේ රැවුළ කෙටි කිරීම හෝ කපා දැමීම නොකරන්නැ යි උපදෙස් දී ඇති බවට ඔහු පැවසීය.
දැඩි මතධාරී ඉස්ලාමික තාලිබාන් සංවිධානය මින් පෙර බලයේ සිටි 1996 - 2001 අවධියේ දී විචිත්‍රවත් කොණ්ඩා මෝස්තරයන් තහනම් කළ අතර, පිරිමින් රැවුළ වැවිය යුතුබවට බල කළහ.
නමුත් එසමයෙන් පසු රැවුළ මුඩු කිරීමේ මෝස්තරය ජනප්‍රියත්වයට පත්වූවා සේම, නව විලාසිතාවන්ට අනුකූලව කොණ්ඩා කපාගැනීම සඳහා බාබර් සාප්පු වෙත යෑමට ඇෆ්ගන් පුරුෂයින් හුරුව සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් නව නීති නිසා ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ඉපැයීම දුෂ්කර වනබව බාබර්වරු (ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා නම්ගම් සඳහන් නොකරමු) පවසති.
"අවුරුදු ගණනක් තිස්සේ මගේ සැලොන් එක තරුණ ළමයින්ට ඕනෑ විදියට රැවුල බාගන්න පුළුවන්, කාලෙට ගැලපෙන මෝස්‌තර කරලා දෙන තැනක් වෙලා තිබුණා," එයින් එක් අයෙකු BBC වෙත පැවසුවේ ය. "මෙතැනින් එහාට මේ බිස්නස් එක කරගෙන යන එකේ තේරුමක් නෑ."
"රූපලාවන්‍යාගාරත්, බාබර් සාප්පුත් තහනම් ව්‍යාපාර බවට පත්වෙමින් තියෙන්නේ," තවෙකෙකු කීය. "අවුරුදු පහළොවක් තිස්සේ මගේ ජොබ් එක මේක. ඒත් මේක තව දුරටත් කරගෙන යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ."
බටහිරදිග හෙරාට් නගරයේ වෙසෙන තවත් කරණවෑමියෙකු ප්‍රකාශ කළේ, තමාට නිල නියෝගයක් නොලැබුණ ද තමා රැවුළ කෙටි කිරීම නවතා දමා ඇතිබව යි.
"පාරතොටේ දී තාලිබාන් සටන්කාරයින්ගෙන් කරදර සිද්ධ වෙනවාට බයේ අපේ ගනුදෙනුකාරයෝ දැන් රැවුළ බාන්නේ නෑ. ඒගොල්ලන්ට ඕනේ පුළුවන් තරම් තාලිබාන්කාරයෝ වගේ පෙනුම හදාගෙන, කැපී නොපෙනී ඉන්න යි."
සේවාවන්හි මිල ගණන් පහත දැමූව ද, ඔහුගේ ව්‍යාපාරය වියැකීගොස් තිබේ. "දැන් කවුරුවත් තමන්ගේ විලාසිතාව ගැන, කොණ්ඩ මොස්තරේ ගැන තකන්නේ නැහැ," ඔහු කියා සිටියේ ය.































