තමන් කන්‍යාවන් බව ඔප්පු කිරීමට සහතික අවශ්‍ය වන ඉරාන කාන්තාවන්

A woman and a man in bed together. The woman looks distressed, the man is angrily yelling at her.

ඡායාරූප මූලාශ්‍රය, Manuella Bonomi

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ විට අඹුසැමියන් ගේ සම්බන්ධතාවය බිඳවැටීම නිසා අමනාපකම් සහ කරදර ඇති වේ, නමුත් මෙයින් වැඩිපුරම දුක් විඳින්නේ කාන්තාවන් ය

ඉරානයේ බොහෝ ගැහැණු ළමයින් සහ ඔවුන්ගේ පවුල් විවාහයට පෙර කන්‍යාභාවය වැදගත් කොට සළකති.

ඇතැම් විට ඔවුන් හා විවාහ වන පිරිමින්, ඔවුන් විවාහයට පෙර කන්‍යාවන් ව සිටි බවට සහතිකයක් ද ඉල්ලා සිටිති. මේ පුරුද්ද ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සලකන්නේ මානව හිමිකම්වලට පටහැනි ක්‍රියාවක් ලෙසට ය. නමුත් පසුගිය වසර තුළ මෙම පුරුද්දට එරෙහිව හඬ නගන පිරිස බොහෝ සෙයින් වැඩි වී තිබේ.

"ඔබ කන්‍යාවක් නොවන බැවින් මා රවටා විවාහයකට පොළඹවා ගත්තා. ඇත්ත දැනගතහොත් කිසිවෙකුත් ඔබ හා විවාහ වන්නේ නැහැ."

මරියම් සමඟ පළමු වරට ලිංගිකව එක්වීමෙන් පසු ඇගේ සැමියා ඇයට පවසා තිබුණි.

තම පළමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු නොවූ මුත්, තමන් මින් පෙර කිසි දිනක ලිංගික සංසර්ගයේ යෙදී නැති බව ඇය ඔහුට කියා සිටියා ය. නමුත් ඇයව විශ්වාස නොකළ ඔහු, ඇය විවාහයට පෙර කන්‍යාවකව සිටි බවට 'කන්‍යාභාවය පිළිබඳ සහතිකයක්' ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙය ඉරානයට අසාමාන්‍ය දෙයක් නොවේ. විවාහ ගිවිස ගැනීමෙන් පසුව බොහෝ ඉරාන කාන්තාවන්, වෛද්‍යවරයකු වෙත ගොස් තමන් කිසි දිනක ලිංගිකව හැසිරී නොමැති බව සනාථ කරන පරීක්ෂණයක් සිදු කරගනිති.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයට කිසිදු ආකාරයක විද්‍යාත්මක වටිනාකමක් ඇත්තේ නැත.

මරියම්ගේ සහතිකයේ සඳහන් වූයේ ඇගේ කන්‍යා පටලය 'ඇදෙන සුළු' බවයි. අභ්‍යන්තර ලිංගික සංසර්ගයකින් පසුව ඇයට ලේ වහනය නොවීමේ ඉඩක් ඇති බව එයින් අදහස් වේ.

"එය මගේ අභිමානයට එල්ල කළ පහරක් වුණා. මම වරදක් කළේ නැති නමුත් මගේ සැමියා මට දිගින් දිගටම අපහාස කළා" යි ඇය පැවසුවා ය. "මට තව දුරටත් එය දරාගෙන සිටීමට හැකි වූයේ නැහැ. ඒ නිසා මම බෙහෙත් පෙති අධිකව පානය කර සියදිවි නසාගැනීමට උත්සහ කළා."

එහෙත් ඉක්මනින් ම රෝහල් ගත කෙරුණු හෙයින් ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.

"ඒ අඳුරු දවස් මට කිසි දිනෙක අමතක වෙන්නේ නැත. ඒ කාලය තුළ මගේ බර කිලෝග්‍රෑම් 20 කින් අඩු වී තිබුණි"

මෙම පුරුද්ද නතර කිරීම සඳහා හඬ අවදි කිරීම් වැඩි වෙමින් පවතී

මරියම්ගේ කතාව ඉරානයේ බොහෝ කාන්තාවන්ගේ ජීවිත යථාර්ථය වී තිබේ. විවාහයට පෙර කන්‍යාවක් වී සිටීම බොහෝ ගැහැණු ළමයින්ට මෙන් ම ඔවුන්ගේ පවුල්වලට ද තවමත් තීරණාත්මක ය. එය එරට ගතානුගතික සංස්කෘතිය තුළ ගැඹුරින් ම මුල් බැස ඇති වටිනාකමකි.

නමුත් ඉතාම මෑතක සිට, මෙය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගෙන තිබේ. කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමේ පුරුද්ද නතර කරන ලෙස රට පුරා කාන්තාවන් සහ පිරිමින් මේ වන විට හඬ නගමින් සිටිති.

කන්‍යාභාවය ඔප්පු කිරීම සඳහා වන පරීක්ෂණවලට විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බරයේදී ඉදිරිපත් කෙරුණු අන්තර්ජාල පෙත්සමකට මාසයක් ඇතුළත අත්සන් 25,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි. කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පුරුද්දට මෙතරම් ඉරාන වැසියන් පිරිසක් විවෘතව අභියෝග කළ පළමු අවස්ථාව වූයේත් මෙය යි.

"එය පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් මෙන් ම නින්දාවට පත් කිරීමකි." යි නෙඩා පවසන්නී ය.

ඇය ටෙහෙරානයේ 17 හැවිරිදි ශිෂ්‍යාවක්ව සිටියදී සිය පෙම්වතා අතින් කන්‍යාභාවය අහිමි විය.

"මම කලබල වුණා. මේ ගැන මගේ පවුලේ අය දැනගත්තොත් කුමක් වේද කියා මම බය වුණා."

A woman selling some of her possessions (laptop, jewellery and shows) to a man who hands her some cash.

ඡායාරූප මූලාශ්‍රය, Manuella Bonomi

ඡායාරූප ශීර්ෂ වැකිය, ගතානුගතික සමාජය කාන්තාවන්ට තම ගරුත්වය වෙනුවෙන් විශාල මිලක් ගෙවීමට බල කෙරෙමින් පවතී

අවසානයේ නේඩා සිය කන්‍යා පටලය නැවත සකස් කර ගැනීමට තීරණය කළා ය.

ඇත්ත වශයෙන් ම මෙය නීති විරෝධී ක්‍රියාවක් නොවේ. එහෙත් එය සමාජමය වශයෙන් භයානක ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන්නකි. එබැවින් එය සිදු කිරීමට කිසිදු රෝහලක් එකඟ වූයේ නැත.

එබැවින් නේඩා එය රහසිගතව සිදු කරන පුද්ගලික සායනයක් සොයා ගත්තා ය. ඒ සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ද අධික ය.

"මම මගේ ඉතුරුම් සියල්ලම ඒ වෙනුවෙන් යෙදවූවා. මට මගේ ලැප්ටොප් පරිඝනකය, මගේ ජංගම දුරකථනය සහ මගේ රන් ආභරණ විකුණන්න සිදු වුණා"යි ඇය පවසන්නීය.

යම් අතපසුවීමක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම තමන් විසින් භාර ගන්නා බවට ලියවිල්ලකට අත්සන් කිරීමට ද ඇයට සිදු විය.

වින්නඹු ස්ත්‍රියක් විසින් කළ මේ සැත්කමට ගත වූ කාලය විනාඩි හතළිහකි.

එහෙත් නෙඩාට සුවය ලැබීමට තවත් සති ගණනක් ගත විය.

"මම දැඩි වේදනාවෙන් සිටියේ. මට මගේ කකුල් සොලවන්නවත් බැරි වුණා" යි ඇය සිහිපත් කරන්නී ය.

ඇය මේ සියල්ල සිය දෙමාපියන්ගෙන් වසන් කළා ය.

"මට හරිම තනිකමක් දැනුණා. ඒත් මෙය ඔවුන් දැන ගනීවි යන බිය, මට මේ වේදනාව දරාගැනීමට උපකාරී වුණා යි මම සිතනවා."

එහෙත් අවසානයේදී නේඩා විඳදරාගත් දුෂ්කරතා සියල්ල ඵල රහිත විය.

ඉන් වසරකට පසුව ඇය හා විවාහ කර ගැනීමට කැමති අයෙකු ඇයට හමු විය. එහෙත් ඔවුන්ගේ ලිංගික එක්වීමෙන් පසුව රුධිරය වහනය නොවුණි. සැත්කම සාර්ථක වී තිබුණේ නැත.

"මා ඔහුව රැවටීමට උත්සහ කළ බව කියමින් මගේ පෙම්වතා මට චෝදනා කළා. මම බොරුකාරයෙක් බව කියමින් ඔහු මාව හැර ගියා."

පවුලෙන් එල්ලවන පීඩනය

කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ, සදාචාරාත්මක නොවන සහ විද්‍යාත්මක වශයෙන් කිසිදු යහපතක් අත් නොවන ක්‍රියාවක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙළා දැක තිබුණත්, ඉන්දුනීසියාව, ඉරාකය සහ තුර්කිය ඇතුළු රටවල් කිහිපයක් මෙය තවමත් ක්‍රියාවෙහි යොදවති.

ඉරාන වෛද්‍ය සංවිධානය පවසන ආකාරයට, ඔවුන් කන්‍යාභාවය පරීක්‍ෂා කිරීම සිදු කරන්නේ අධිකරණ නඩු සහ ස්ත්‍රී දූෂණ චෝදනා වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණකි.

කෙසේ නමුත් කන්‍යාභාවය සහතික කිරීමේ පරීක්ෂණ සඳහා ඉල්ලීම් බොහෝ විට සිදු කරන්නේ විවාහ වීමට සැලසුම් කරන යුවල ය. එබැවින් ඔවුන් ඒ සඳහා පෞද්ගලික සායන වෙත යොමු වේ. බොහෝමය අවස්ථාවල මේ සඳහා ඔවුන් පැමිණෙන්නේ ඔවුන්ගේ මව්වරු සමඟ ය.

නාරිවේද වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින් මෙම පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සහතිකයක් නිකුත් කරනු ලැබේ. කාන්තාවගේ සම්පූර්ණ නම, ඇගේ පියාගේ නම, ඇගේ ජාතික හැඳුනුම්පත සහ ඇතැම් විටෙක ඇගේ ඡායාරූපයක් පවා මේ සහතිකයට ඇතුළත් වේ. එම සහතිකයෙන් ඇගේ කන්‍යා පටලයේ තත්ත්වය විස්තර කෙරෙන අතර, "මෙම තරුණිය කන්‍යාවක් බව පෙනේ" යන ප්‍රකාශය ද එහි සටහන් කර තිබේ.

A gynaecologist examining a woman so that she can determine whether she's still a virgin. Two older women (mothers) observe in the background.

ඡායාරූප මූලාශ්‍රය, Manuella Bonomi

ඡායාරූප ශීර්ෂ වැකිය, කන්‍යාභාවය පිළිබඳ සහතික සඳහා බොහෝ ඉල්ලීම් තවමත් පැමිණෙන්නේ විවාහ වීමට සැලසුම් කරන යුවලවල්ගෙනි

වඩාත් ගතානුගතික පවුල්වල මේ ලේඛනයට සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කරනු ද දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මේ අත්සන් කරන සාක්ෂිකරුවන් වන්නේ පවුල් දෙකේ මව්වරුන් ය.

වෛද්‍ය ෆරීබා වසර ගණනාවක් තිස්සේ සහතික නිකුත් කරන්නියකි. මෙය නින්දා සහගත ක්‍රියාවක් බව ඇය පිළිගන්නා මුත් ඇය සිතන්නේ බොහෝ කාන්තාවන්ට මෙම ක්‍රියාවලිය හරහා ඇය උපකාර කරන බවයි.

"ඔවුන්ට ඔවුන්ගේ පවුල්වලින් එල්ල වන්නේ අතිමහත් පීඩනයකි. ඇතැම් විටක මම ඔවුන්ට අසත්‍ය පවසමි. ඔවුන් ලිංගික එකතු වීමෙන් පසුව විවාහ වීම අපේක්ෂාවෙන් සිටින යුවලක් නම්, මම ඔවුන්ගේ පවුල්වලට පවසන්නේ එම කාන්තාව කන්‍යාවක් බවයි."

එහෙත් තවමත් බොහෝ පිරිමින්ට කන්‍යාවක් විවාහ කර ගැනීම මූලික අවශ්‍යතාවයකි.

"ගැහැණු ළමයෙකු සිය විවාහයට පෙර කන්‍යාභාවය අහිමි කරගතහොත් ඇය විශ්වාස කළ නොහැකි අයෙකි. ඇය තම ස්වාමිපුරුෂයා හැර වෙනත් පිරිමියෙකු වෙත යාමට ඉඩ තිබේ" යි ශිරාස් හි විදුලි කාර්මිකයෙකු වන 34 හැවිරිදි අලි පවසයි.

ගැහැණු ළමයින් දසදෙනෙකු සමඟ ලිංගිකව හැසිරී ඇති බවත් පවසන ඔහු "මට හැඟීම් පාලනය කරගැනීමට නොහැකි විය" යි කියා සිටින්නේ ය.

ඉරාන සමාජය තුළ මේ පිළිබඳව ඇත්තේ දෙබිඩි පිළිවෙතක් බව අලි පිළිගන්නා මුත් ඔහු කියා සිටින්නේ එම සම්ප්‍රදායෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් තමා නොදකින බවයි.

"කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩි නිදහසක් ඇති බව සමාජ සම්මතයකි"

අලිගේ මතයට සමාන මත දරන්නන් ඉරානයේ බහුල ය. විශේෂයෙන් ඉරානයේ වඩාත් ග්‍රාමීය සහ ගතානුගතික ප්‍රදේශවල මෙවන් මත මුල් බැසගෙන තිබේ.

කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමට එරෙහිව විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මක වන නමුත්, මෙම ක්‍රියාව ඉරාන සංස්කෘතිය තුළ ඉතා ගැඹුරින් මුල් බැස ඇති හෙයින්, එය තහනම් කිරීම ඉරාන රජයට සහ නීති සම්පාදකයන්ට එතරම් පහසු නොවනු ඇති බවත් බොහෝ දෙනා විශ්වාස කරති.

අනාගත බලාපොරොත්තුව

සියදිවි නසා ගැනීමට උත්සාහ කරමින් හිංසාකාරී ස්වාමිපුරුෂයෙකු සමඟ ජීවත් වූ වසර හතරක් අවසානයේ, උසාවිය හරහා දික්කසාද වීමේ අවස්ථාව මරියම්ට ලැබිණි.

ඇය සති කිහිපයකට පෙර යළිත් තනිකඩ වූවා ය.

"මිනිසෙකු කෙරේ නැවත විශ්වාසය තැබීම මට ඉතා අපහසු වනු ඇත" යි ඇය පවසයි. " නුදුරු අනාගතයේදී නම් යළි විවාහ වීමේ බලාපොරොත්තුවක් මා තුළ නැත."

තවත් කාන්තාවන් දස දහස් ගණනක් සමඟින් ඇය කන්‍යාභාවය පිළිබඳ සහතික නිකුත් කිරීම නතර කිරීම ඉල්ලමින් ඉදිරිපත්වන අන්තර්ජාල පෙත්සම්වලින් එකකට අත්සන් කළා ය.

ඉක්මනින්ම එය වෙනස්වනු ඇතැයි ඇයත් අපේක්ෂා නොකරන්නී ය. ඇතැම් විට එය ඇගේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇත. එහෙත් යම් දිනක තම රටේ කාන්තාවන්ට මෙයට වැඩි සමානාත්මතාවයක් ලැබෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වේ.

"යම් දවසක ඒ වෙනස සිදු වෙතැයි මම විශ්වාස කරනවා. කිසිම ගැහැණු ළමයෙකුට මට කරන්නට සිදු වූ දෙයට මුහුණ දීමට සිදු නො වන අනාගතයක් මම බලාපොරොත්තු වනවා."

*මෙම සාකච්ඡාවට සහභාගී වූවන්ගේ නම්, අනන්‍යතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් වෙනස් කර තිබේ.

මෙම ලිපියේ මතු කර ඇති කිසියම් කරුණක් නිසා ඔබට යම් පීඩාවක් සිදු වුවහොත් කරුණාකර BBC සහය සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න.