ඉරානයේ මරණ දඬුවම: ඉස්ලාමීය ජනරජය වෙනත් රටවලට වඩා වැඩි කාන්තාවන් මරණ දඬුවමට යටත් කරන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Abdorrahman Boroumand Center
අවවාදය යි: මෙම ලිපියේ අඩංගු ඡායාරූප ඇතැම් පාඨකයින්ට අපහසුතාවක් ගෙනදීමට ඉඩ තිබේ.
ඉරානය දිගින් දිගටම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෙදී සිටින බව මානව හිමිකම් පිළිබඳ කණ්ඩායම් පවසති. ජූලි මාසයේ අවසන් සතියේ පමණක් පුද්ගලයින් 32දෙනෙකු එල්ලා මරනු ලැබූ අතර ඊට කාන්තාවන් තිදෙනෙක් අයත්වූහ. සිය ස්වාමිපුරුෂයින් මරණයට පත්කිරීම මත එම කාන්තාවන්ට මරණ දඬුවම පැනවිණි.
"(ඉරානය තුළ) මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් පැනවෙන්නේ නැහැ. එක්කෝ ඔබට සමාව ලැබේවි, නැත්නම් ඔබ මරාදමාවි," එක්සත් ජනපදයේ පිහිටි ඉරාන මානව හිමිකම් සංවිධානයක් වන අබ්දුරහ්මාන් බොරුමන් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා රෝයා බොරුමන් පවසන්නී ය.
ඉරානයට වඩා වැඩි පුද්ගලයින් පිරිසක් මරණ දඬුවමට ලක් කෙරෙන වෙනත් රටවල් තිබුණ ද, ඒ කිසිවක් ඉරානය තරම් කාන්තාවන් සංඛ්‍යාවක් මරා නොදමන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්ෂික සංඛ්‍යා දත්තවලින් පෙන්වා දෙයි.
ඉතින්, ඉරානය කාන්තාවන්ට මරණීය දණ්ඩනය පනවන්නේ ඇයි?
මරණ දඬුවම
අබ්දුරහ්මාන් බොරුමන් මධ්‍යස්ථානය පෙන්වා දෙන පරිදි ජූලි මස අවසන් සතියේ දී මරණයට පත්කෙරුණු කාන්තාවන් තිදෙනාට අමතරව තවත් සයදෙනෙකු වසරේ පළමු මාස සය තුළ දී මරා දමනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රට තුළ මරණයට පත් කෙරුණු වැඩි සංඛ්‍යාව පිරිමින් වුව ද මෙම කාන්තාවන්ගේ මරණ ඒ පිළිබඳ ඉහළ යන සමස්ත අගයට එකතු වේ.
"2000 සහ 2022 අතර කාලය තුළ දී අවම වශයෙන් කාන්තාවන් 233ක් මරණයට පත්කර ඇති බවට අප වාර්තා කර තිබෙනවා," බොරුමන් BBC සමඟ පැවසීය.
"මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කාන්තාවන් 106ක් මරා දැමුණු අතර 96 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ මත්ද්‍රව්‍ය අපරාධයැ යි නැගුණු චෝදනා සම්බන්ධයෙන්," ඇය පැවසීය.
වෛවාහක ජීවිතයෙන් පිටත ලිංගික හැසිරීමක යෙදීමට අදාළව සුළු සංඛ්‍යාවක් මරණයට පත්කරනු ලැබ ඇති බව විශ්වාස කෙරේ.
නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ මෙම සිදුවීම්වලින් 15%ක් පමණ වූ ප්‍රමාණයක් පමණක්බව ඇය පවසයි. අනෙක් සිදුවීම් දැනගන්නට ලැබුණේ දේශපාලන සිරකරුවන් හෝ බලධාරීන්ගේ අනුමැතියකින් තොරව එම තොරතුරු රහසිගතව මුදාහළ නිලධාරීන්ගෙනි.
"මරණ දඬුවම් ඉහළ සංඛ්‍යාවකට එක් අතකින් බලපා ඇත්තේ නම්‍යශීලීබවක් නොවීම යි", බොරුමන් පවසන්නී ය. රටේ පවතින නීති ක්‍රමයට අනුව ඝාතනයකට අදාළ සමාවදීමේ තීරණය ගනු ලැබිය යුත්තේ වින්දිතයාගේ පවුල විසිනි.
උදව්වක් නැහැ
ජූලි මස අග දී මරණයට පත්කෙරුනු කාන්තාවන් අතර සිටි එක් අයෙකු අවසන් මොහොතේ ගලවා ගැනීමේ උත්සාහයක ඉරාන ක්‍රියාකාරිනි අතේනා ඩේමි යෙදී සිටියා ය. තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාලත් සනුබාර් ජලාලි 40 හැවිරිදි ඇෆ්ගන් කාන්තාවකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජලාලි හට සමාව ලබාගැනීම වෙනුවෙන් ඇගේ ස්වාමිපුරුෂයාගේ පවුල සමඟ සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් ඩේමි පසුවිණි.
"මේ ගැන අයැදීමට, මරණයට පත්වූ තැනැත්තාගේ පවුලේ අය සොයා ගැනීමට උත්සාහ කළත් බන්ධනාගාර බලධාරීන් උදව් කළේ නැහැ. ආණ්ඩුව විසින් ඇය සඳහා යෙදවූ නීතිඥයාගේ දුරකතන අංකය ලැබුණත් ඔහු අපේ ඉල්ලීම තැකුවේ නැහැ,"යි ඩේමි BBC සමඟ පැවසුවා ය.
"ලේ වන්දිය පිළිගැනීම හා සමාවදීම සඳහා වින්දිතයාගේ පවුල පෙළඹවීමට සමහර අවස්ථාවල දී බන්ධනාගාර බලධාරීන් උදව් කළත් හැමවිටම එහෙම වෙන්නේ නැහැ."
එහෙත් සාර්ථක වූ ඇතැම් අවස්ථාවන් ද ඇති බව බොරුමන් පවසයි. අනෙකුත් ක්‍රියාකාරීන් සමඟ එක්ව පුද්ගලයින් දෙදෙනෙක් මරණයෙන් ගලවා ගැනීමටත්, තවත් අට දෙනෙකු ශරීර අවයව කපා ඉවත් කිරීමෙන් ගලවාගැනීමටත් සමත් වූ බව ඇය කියා සිටියා ය.
ජලාලි සමඟ එදිනම එල්ලා මරා දමන ලද එක් තැනැත්තියක වයස අවුරුදු 15 දී ළමා මනාලියක ලෙස විවාහ කරදුන් තැනැත්තියකි. අනෙක් තැනැත්තිය තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර පහකට වැඩි කාලයකට පෙර අත්අඩංගුවට පත්වී තිබිණි.
විත්තියට ලැබෙන දුර්වල නීති සහාය
ඩේමි, සිය සමාජ ක්‍රියාකාරී කටයුතු හේතුවෙන් වසර හතක කාලයක් සිරගතව සිටීමට සිදුවූ තැනැත්තියකි. බන්ධානාගාර තුළ කාන්තාවන්ට මූලික පහසුම් නැති බවත්, ඇතැම් අවස්ථාවල රැඳවියන් පහරදීමට ලක්වන බවත් ඇය පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Atena Daemi
අධිකරණ කටයුතු ද නිතර කාන්තාවන්ට අවාසිදායක අයුරින් ක්‍රියාත්මක වන්නේ විනිසුරුවන් විය හැකි වන්නේ පුරුෂයින්ට පමණක් බැවින් හා නීතිඥයන්ගෙන් බොහෝමයක් ද පිරිමින් වන බැවින්යැ යි ඇය පවසයි.
විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය නීතිඥයෙකු සැපයිය යුතු වුවත් ඩේමි පවසන්නේ "මේ නීතිඥයන්ගෙන් බොහෝ දෙනා හිටපු විනිසුරුවරුන් හෝ පැමිණිල්ලේ නීතිඥයන්" වන බැවින් තමන්ට සැලකිය යුතු නීති ආධාරයක් නොලැබෙන බව ය.
"ඝාතන සිද්ධිවල දී සිය නිර්දෝෂීභාවය සනාථ කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. එවැනි සිද්ධිවල දී චූදිතයාට වඩා වින්දිතයාගේ පවුලේ සාමාජිකයින්ගේ වචනයට වැඩි වටිනාකමක් ලැබෙනවා," යි ඩේමි පවසයි.
කාන්තාවන්ට එරෙහි ක්‍රමය
නොර්වේහි වෙසෙන ඉරාන ජනමාධ්‍යවේදිනියක වන අසීයේ අමිනි කාන්තාවන් මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සිදුවීම් සමීපව නිරීක්ෂණය කර ඇත. ඇය පවසන ආකාරයට මෙම ගැටලුවේ මූලය නීති පද්ධතිය තුළම පවතින්නකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"නීතිය අනුව පියා සහ පිය පාර්ශ්වයේ මුත්තණුවන් පවුලේ ප්‍රධානීන් වන අතර ඔවුන් විවාහය ද ඇතුලුව දියණියන්ගේ ඉරණම සම්බන්ධ කරුණු පිළිබද තීරණ ගන්නවා," අමිනි BBC සමඟ පැවසුවා ය.
එහි අදහස වන්නේ බලහත්කාර විවාහයට පත්කෙරෙන එම තරුණියන් ගෘහස්ථ හිංසනය ඇතුලු බරපතල ගැටලුවලට මුහුණදිය හැකි අතර ඉරාන අධිකරණයෙන් දික්කසාදය ලබාගැනීම අපහසු කටයුත්තක් බව යි, ඇය සඳහන් කරයි.
මරණ දණ්ඩනයට යටත් කෙරෙන කාන්තාවන්ට සිය දෙමාපියන්ගේ පවා සහාය නොලැබෙන්නේ ඔවුන් 'පවුලේ අභිමානය' පවත්වා ගැනීමට උනන්දු වන බැවිනි.
"මේ තත්ත්වය යටතේ ඇතැම් කාන්තාවන් සදාකාලිකව ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වෙනවා," අමිනි පැවසුවා ය. අනෙකුත් කාන්තාවෝ තම ස්වාමිපුරුෂයින් ඝාතනය කිරීමට අවධානය යොමු කරති.
"මෙයින් ඇතැම් කාන්තාවන්ගේ තමන් විසින්ම හෝ තව කෙනෙකුගේ සහාය ඇතිව මිනිමැරුම කළ බවට පාපොච්චාරණය කළා. නමුත් ඒ හැම දෙනාම පාහේ කීවේ තමන් වෙලී සිටින ප්‍රචණ්ඩත්වයට එරෙහි උදව්වක් ලැබුණා නම් අපරාධය හෝ ඝාතනය කිරීමට තමන් පෙළඹෙන්නේ නැති බව යි," ඇය කීවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Javad Montazeri
බාලවයස්කරුවන් මරාදැමීම
බාලවයස්කරුවන්ට අධිකරණය සලකන ආකාරය සම්බන්ධයෙන් කතකළ අමිනි, පුද්ගලයින් කිහිපදෙනෙකු අතින් ලිංගික අපයෝජනයට ලක්වූ 16 හැවිරිදි වූ අටෙෆෙ සහාලෙහ් පිළිබද සිදුවීම උදාහරණ ලෙස ගෙනහැර දක්වයි. එම තරුණිය වෙනුවෙන් යුක්තිය ඉටුකරනු වෙනුවට 2004 වසරේ දී අදාළ විනිසුරුවරුන්ගේ තීරණය වූයේ ඇය විවාහයකින් පරබාහිරව ලිංගික සම්භෝගයේ යෙදී ඇති බව ය.
"ඇතැම් පිරිමින් සමඟ ලිංගිව එක්වූ බව පිළිගත්ත නිසා ඇය මරණ දණ්ඩනයට ලක්කෙරුණා. නමුත් ඇය ඇත්තටම දූෂණය කෙරී තිබුණා," අමිනි පවසයි.
ඉස්ලාමීය දණ්ඩ නීති සංග්‍රහයට අනුව, විවාහයෙන් පරිබාහිරව ලිංගික සංවාසයේ යෙදුනු බවට යමෙකු පාපොච්චාරණය කළහොත් ඔහු හෝ ඇය කස පහර 100කට ලක් කෙරේ. එම ක්‍රියාව තුන්වරක් සිදුවුවහොත් හතරවෙනි අවස්ථාවේ දී එම තැනැත්තා මරණ දඩුවමට යටත් කිරීමට ඉඩ ඇත.
"ඒත් අටෙෆෙ සම්බන්ධ සිද්ධියේ දී මේ අමානුෂික නීතියවත් අදාළ වී නැහැ. මොකද කීවොත් මට දැනගන්න ලැබුණු අවස්ථා දෙකකදී පමණක් ඇයට කස පහර 100ක් දී ඇති බව යි. ඉන්පසු ඇයට මරණ දණ්ඩනය දිය යුතු බව විනිසුරු තීරණය කළා," අමීනි පවසයි.
"හතරවෙනි අවස්ථාවේදී හාජි රෙසායී කියන ඒ විනිසුරුවරයාම අටෙෆෙගේ ගෙලට තොණ්ඩුව දැමුවා."
පළිගැනීමට ඇති ලේ පිපාසය එතැනින් අවසන් නොවේ. මරණ දණ්ඩනයට එරෙහි ක්‍රියාකාරිනියක වන නර්ගීස් මොහම්මදි අන්තර්ජාලයට මුදාහළ වීඩියෝවකින් දැක්වුණේ තම ස්වාමිපුරුෂයා මැරූ කාන්තාවකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී එල්ලුම්ගහ ඇති තැන අදාළ කාන්තාව දෙපා රදවා සිටි පුටුවට ඇගේ පුතුම පා පහර එල්ල කරන අයුරු යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"පවුලේ අභිමානය" ස්ථාපනයට පියවර ගන්නා ලෙස ඝාතනයට ලක්වූ අදාළ ස්වාමිපුරුෂයාගේ පවුල එම පුත්‍රයා සහ ඥාතීන්ට පීඩනය එල්ල කරන්නට ඇතැ යි මොහම්මදි විශ්වාස කරයි.
තර්ජනාත්මක මෙවලම
නීතිය, අධිකරණය සහ සම්ප්‍රදාය තුළ ඇති වෙනස්කොට සැලකීම, "මේ කාන්තාවන් මරණය කරා ගෙනයාමට, ඔවුන් අපරාධකරුවන් හෝ වින්දිතයන් බවට පත් කිරීම සඳහා භූමිකාවක් ඉටුකරනවා,"යි අමිනි පැවසුව ද, මෙවැනි හදිසි මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්නේ ඇයි ද යන්න ගැන ඇයට හරිහැටි කිව නොහැකි ය.
"පසුගිය වසරවල බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට වූ සිදුවීම් නිරීක්ෂණය කරමින් සිටි මට මෙවැනි කෲර දඬුවමකින් ඉරාන ආණ්ඩුවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ කොහොම ද කියන එක තේරෙන්නේ නැහැ," යි ඇය පැවසුවත්, බොරුමන් හට මේ ගැන කල්පිතයක් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලන සිරකරුවන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් ඉරානයේ බන්ධනාගාර පිරී ඇති අතර සිරගතකිරීම් සම්බන්ධයෙන් එල්ලවන පීඩනය නිදහස් කිරීම සඳහා සමාව දීම හෝ මරණය යන තීරණය ගැනීම කඩිනම් කරන ලෙස ඝාතනයට ලක්වූ තැනැත්තන්ගේ ඥාතීන් හට නිලධාරීන්ගෙන් පීඩනයක් එල්ලවන බව ඇය සිතයි.
මෙම තත්ත්වය තවත් බොහෝ පිරිසක් පෝරකය කරා යොමුකිරීමට හේතුවනු ඇති බවට බොරුමන් බිය පළකරන්නී ය.
අන්තගාමී දඩුවමක් පැනවීම සම්බන්ධයෙන් බලධාරීන් තුළ යටි අරමුණක් ඇති බවට ද ඇය සැක කරයි.
"මෑතක ටෙහෙරානයේ දී පුරුෂයකුගේ අතක් කපා දැමුවා. මෙවැනි අවයව කපාදැමීම සදහා ඔවුන් වෙනත් නගරවලින් සිරකරුවන් ගෙනෙනවා,"යි ඇය පවසයි.
"මේ ගැන කළින් නිවේදනය නොකළත් මේ ආකාරයේ පියවරක් හරහා දඩුවම් කිරීම ගැන තොරතුරු පුළුල් සමාජයට යාම සිදුවන අතර ක්‍රියාකාරීන් අතර බිය නිර්මාණය කරනවා."
BBCය සිදුකළ විමසීම්වලට ඉරාන ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වුව ද, ඉරාන අධිකරණ සේවය මීට පෙර කියා තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකූල වන අතර ඉරානයේ ජාත්‍යන්තර වගකීම් (අත්සන්කර ඇති ගිවිසුම්) උල්ලංඝණය වීමක් සිදුනොවන බව ය.
වධහිංසා පැමිණවීම හා බලහත්කාර පාපොච්චාරණය සම්බන්ධයෙන් පළවන වාර්තා ඉරාන ආණ්ඩුව විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.










