වාහනයක් මිලට ගැනීමට පෙර ඔබ අනිවාර්යයෙන් ම දැනගත යුතු කරුණු 7ක්

මෝටර් රථයක යතුරු අතැතිව, එය තුළ සිටින තරුණියක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

වාහනයක් හිමි කර ගැනීම බොහෝ දෙනෙකු දකින සිහිනයකි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක එම සිහිනය සැබෑ කර ගැනීම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවේ.

එවැනි පසුබිමක අලුත් ම තත්ත්වයේ වාහනයක් මිලට ගන්නවා ද, නොඑසේ නම් භාවිත කරන ලද වාහනයක් සඳහා යොමු වන්නේ ද යන්න බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි.

විටෙක වෙළෙඳපොළ තුළ තමන්ට ගැලපෙන, තත්ත්වයෙන් උසස් වාහනයක් සොයා ගැනීම විටෙක අභියෝගාත්මක විය හැක.

මේ, නිවැරදිව වාහනයක් තෝරා ගන්නේ කෙසේ ද යන්න පාඨක ඔබට සරලව පැහැදිලි කරන මාර්ගෝපදේශයකි.

ඒ සඳහා බීබීසී සිංහල, මෝටර් රථ සම්බන්ධයෙන් වසර 35කට අධික පළපුරුද්දක් ඇති ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ බාහිර උපදේශක මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ සමග සංවාදයක නිරත විය.

1. අවශ්‍යතාවට ගැලපෙන වාහනයක් තෝරා ගැනීම

වාහනයක් මිලට ගැනීමට පෙර ඔබ, ඔබේ අවශ්‍යතාව ගැන වඩා ත් සැලකිලිමත් විය යුතු ය. එය ඔබට පහසුවක් පමණක් නොව නිකරුණේ මුදල් නාස්තිය ද අවම කරනු ඇත.

ඔබට ඇත්තේ කුඩා පවුලක් ද? විශාල පවුලක් ද? ඔබ වාහනය මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික පරිහරණයට ද? ව්‍යාපාරික අවශ්‍යතාවකට ද? එසේ නම් ඔබට සුදුසු වාහනය කුමක් ද? කෙටි කලක් භාවිත කර නැවතත් වෙනත් වාහනයක් මිලට ගැනීමේ බලාපොරොත්තුවක් ඔබට තිබේ ද? නැතහොත් දීර්ඝ කලක් එය භාවිත කිරීමට සැලසුම් කරන්නේ ද? එසේ ම ඔබට සත්‍ය වශයෙන් ම වාහනයක අවශ්‍යතාවක් තිබේ ද යන මේ සියලු දේ ගැන ඔබ ඒ අනුව නැවත වරක් සිතා බැලිය යුතුය.

මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ බීබීසී සිංහල සමග සංවාදයට එක්වෙමින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන බහුතරයක් ජනතාවට තම එක් එක් අවශ්‍යතාවට ගැලපෙන ලෙස වාහන කිහිපයක් ළඟ තබා ගැනීම ප්‍රයෝගිකව කළ නොහැක්කක් බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එබැවින් තම අවශ්‍යතාවලින් කිහිපයක් හෝ සපුරා ගත හැකි වාහනයක් තෝරා ගැනීම වඩා ත් උචිත බව ඔහු පැවසීය.

"උදාහරණයක් විදිහට සමහරු ලොකු එන්ජින් ධාරිතාවක් තියෙන වාහනයක් ගන්නවා කොළඹ දුවන්න. ඒ කියන්නේ, නගරාසන්නව ඔෆිස් යන වැඩේට. ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට එන්ජින් එක දුවනවා, තෙල් ගගහා තියන් ඉන්නවා.

"ඊළඟට කවදාවත් off-road යන්නේ නැති කෙනෙක්, off-road - 4 wheel drive වාහනයක් ගන්නවා නගරයේ දුවන්න. ඒකත් නිරපරාදේ මුදල් නාස්ති කිරීමක්. හැබැයි එයා නිතර off-road යන කෙනෙක්, ඒ කියන්නේ නගරයෙන් පිටට යන කෙනෙක් නම්, එයාට ඒ වගේ වාහනයක් ගැලපෙනවා.

"දුර ගමන් නිතර යන කෙනෙක් නම්, අතේ සල්ලිත් තියෙනවා නම්, එයා hatchback වගේ පුංචි කාර් එකක යනවා නම්, ඒක ගැලපෙන්නෙත් නැහැ.

"එතකොට තමන්ගේ අවශ්‍යතාව එක්ක, එන්ජින් ධාරිතාව, තත්ත්වය, විදිහ තෝරා ගන්න එක වැදගත්. හැබැයි අතේ තියෙන්නේ මෙච්චරයි නම්, ඔය ඔක්කොට ම ගැලපෙන වාහනයක් අපිට තනි එකකින් තෝරාගන්න වෙනවා. ෆැමිලි වාහනයක් කියලා අපි කියන්නේ.

"එතකොට එතනදී සිටි එකේ ද යන්නේ හයිවේ ද යන්නේ දුර ද යන්නේ කියන එක තෝරන්න වෙන්නේ නැහැ. තමන්ගේ බජට් එක හුඟක් අඩුයි නම් අපිට බජට් එකේ හැටියට වාහනයකට යන්න වෙනවා.

"නමුත් හැකියාව තියෙන කෙනෙකුට හැකියාවක් තියෙනවා නම්, අවශ්‍යතාව ගැන හිතලා හරියට තෝරා ගත්තොත් හොඳයි," ඔහු පැහැදිලි කළේ ය.

2. මුදල්

වාහනයක් මිලට ගැනීමට පෙර ඔබට ඒ සඳහා උපරිම වශයෙන් කොපමණ මුදලක් වැය කළ හැකි ද යන්න හොඳින් සිතා බැලිය යුතු ය.

ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව ඒ සඳහා මූල්‍ය පහසුකම් සපයන බැංකු මෙන් ම විවිධ ආයතන තිබේ.

අදායමට සරිලන ණය මුදලක් පමණක් ඒ වෙනුවෙන් ලබා ගැනීමට වග බලා ගත යුතු ය. ඔබට ඇති ආදායම් මාර්ග මොනවා ද? ස්ථිර අදායම් මාර්ගයක් තිබේ ද? වාහනය මිලට ගන්නේ අත්පිට මුදලට ද යන්න හොඳින් සිතා බැලිය යුතු ය.

නමුත් ඔබ අවධානය කළ යුතු තවත් ප්‍රධාන කාරණාවක් ඇත.

"කෙනෙක් වාහනයක් ගන්නවා නම් - අන්රෙජිස්ටර්ඩ්, බ්‍රෑන්ඩ්නිව් හෝ ඕනෑ ම අවස්ථාවක් කියලා හිතමුකෝ. අන්රෙජිස්ටර්ඩ්, බ්‍රෑන්ඩ්නිව් වගේ නම් අපිට තව කාලයක් යනකම් අලුත්වැඩියා කිරීම් එන්නේ නැහැ. එතකොට අපිට අන්තිම බජට් එකට ගියාට ප්‍රශ්නයක් නැහැ. වාහනේ අරගෙන තෙල් ටික ගහන්න විතරයි නේ ඊට පස්සේ තියෙන්නේ," මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ පෙන්වා දුන්නේ ය.

"හැබැයි අපි අතර ම සංසරණය වෙන වාහනයක් අපි ගන්නවා කියන්නකෝ (භාවිත කළ). අන්න එහෙම වාහනයකට යනවා නම්, උදාහරණයක් විදිහට... ලක්ෂ 25කට ගන්නවා නම්, තව ලක්ෂ දෙකක්වත් අතේ තියෙන්න ඕනේ.

"ලක්ෂ 25කට ගන්න මුදල් වෙන් කළාට පස්සේ රු. 5000ක්වත් අතේ නැති වුණොත් එයාට ඒ වාහනේ ගත්ත විදිහට ම දුවන්න වෙනවා අතරමග කඩාගෙන වැටුණත් අලුත්වැඩියා කර ගන්න බැරි වෙනවා. ඒක විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ.

"පාවිච්චි කරපු වාහනයක් ගනිද්දී අතේ තියෙන ගාණ ඔක්කෝ ම දාලා වාහනයක් ගන්න එපා කියන එකයි මම කියන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

"ඒ වාහන ඊට පස්සේ දේවාලෙකට - පන්සලකට යන්න කලින් වර්ක්ෂොප් එකකට අරගෙන ගිහිල්ලා ෆුල් චෙක්අප් එකක් කරලා බලන්න ඕන, මොනවා ද වාහනයේ තියෙන අඩුපාඩු, මට මේක මාස හයක්වත් එක දිගට දුවන්න පුළුවන් තත්ත්වෙක තියෙනවා ද කියලා," ඔහු තවදුරටත් පැවසීය.

3. පෙර පරීක්ෂාව

අලුත් ම තත්ත්වයේ වාහනයක් මිලට ගැනීමේදී අතවශ්‍ය කාරණයක් නොවුණ ද භාවිත කරන ලද වාහනයක් මිලට ගැනීමට පෙර එහි තත්ත්වය අංශ දෙකක් ඔස්සේ පරීක්ෂා කර බැලිය යුතු බව මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරුවරයා පෙන්වා දුන්නේ ය.

ඉන් පළමුවැන්න නීතිමය තත්ත්වය බව ඔහු පැවසීය.

"එතැනදී වැදගත් ම කාරණය තමයි නීතිමය පැත්ත. අපි හිතමු මොනවා හරි නීතිමය ප්‍රශ්න තියෙන, එහෙම නැත්නම් කෑලි බට් කරපු, විකෘති කරපු, නීත්‍යනුකූල නොවන මොනවා ම හෝ දෙයක් කරපු වහනයක් ද කියන එක වාහනයේ පොතේ කොපියක් අරගෙන ගිහිල්ලා RMV එකෙන් පරීක්ෂා කර ගන්න පුළුවන් පොඩි වෙලාවකින්. වාහනයේ ගෙනියන්න ඕනේ නැහැ. අයිතිකරුවන් කී දෙනෙක් ලියාපදිංචි වෙලා තියෙනවා ද? මේ දේවල් බලන්න පුළුවන්."

දෙවනුව වාහනයේ කාර්මික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බැලිය යුතු බව ඔහු සඳහන් කළේ ය.

"මිකැනිකල් ඉන්ස්පෙක්ෂන් එකේදී පළපුරුදු ඉන්ජිනේරුවරයෙකු, කාර්මික ශිල්පියෙකු හෝ වාහන තක්සේරු කරන කෙනෙකුට පුළුවන් වාහනයේ භෞතික තත්ත්වය පරීක්ෂා කරලා බලන්න."

එමගින් වාහනය මීට පෙර අනතුරට ලක්වී ඇතැයි ද සහ එය නිසි ලෙස අලුත්වැඩියා කර ඇතැයි ද මෙන් ම වාහනයේ එන්ජිමේ තත්ත්වය, එහි වෙනත් දෝෂ තිබේ ද යන්න ආදිය නිසි ලෙස පරීක්ෂා කර ගත හැකි වේ.

"ඒ වගේ ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න පුළුවන් තැන් ඕනේ තරම් දැන් ලංකාවේ තියෙනවා. ඒ තැනකට දාලා වාහනය චෙක් කර ගන්න පුළුවන්. විකුණන කෙනත් ඒකට කැමති වෙනවා. වාහනය තියෙන තැනට ඇවිල්ලා චෙක් කරලා දෙන අයත් ඉන්නවා," මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරුවරයා පැහැදිලි කළේ ය.

වෙනත් රටක භාවිත කර, ලියාපදිංචි නොකළ තත්ත්වයේ වාහනයක් මිලට ගැනීමේදී ද වාහනයේ තත්ත්වය, ඒ සඳහා ලබා දී ඇති වෙන්දේසි පන්තිය (Auction Grades), ලිපිගොනු ආදිය නිසි ලෙස පරීක්ෂා කර බලා ඊට මුදල් ගෙවීම සිදු කළ යුතු වේ.

4. පෙට්‍රල්? ඩීසල්? EV?

ඉලෙක්ට්‍රික් වාහන දැන් ලෝකය පුරා රැල්ලක් වී හමාර ය. නමුත් වාහනයක ඉන්ධන වර්ගය තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාව වැනි රටකට වඩා ත් සුදුසු වන්නේ කුමක් ද? අපි ඒ ගැන ද විමසා බැලුවෙමු.

"ගොඩක් අය හිතාගෙන ඉන්නවා IC වාහන [internal combustion engine], අපි පාවිච්චි කරන පෙට්‍රල් / ඩීසල් වාහන ගැන මේ කියන්නේ, මේ වාහන කාලයක් යද්දී හදන එක නවතීවි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ, IC එන්ජින් තවත් කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්," මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ බීබීසී සිංහල වෙත පැවසීය.

"නමුත් අපිට එමිෂන් ස්ටෑන්ඩර්ඩ්ස්වලට මුහුණ දෙන්න බැරි තැන තමයි ඉලෙක්ට්‍රික් වාහන හදන්න වෙලා තියෙන්නේ. ලෝකයේ වාහන හදනකොට එමිෂන් ස්ටෑන්ඩර්ඩ්ස්වලට අනුකූලව තමයි වාහනය නිෂ්පාදනය කරලා එළියට දාන්නේ. එතකොට ඒ නීති දැඩි වෙන්න වෙන්න, IC එන්ජිම අයින් කරන මට්ටමට එනවා.

"නමුත් අපේ වගේ රටක වාහනයක් ගනිද්දී ෆැමිලි වාහනනේ ගන්නේ. සියලු ම දේවල් කර ගන්න එක වාහනයයි. වෙනත් රටවල ෆැමිලි වාහන වෙන ම තියෙනවා, කමර්ෂල් වාහන වෙන ම තියෙනවා, ඔෆිස් වාහන වෙන ම තියෙනවා. අපිට එහෙම බැහැ.

"ඉලෙක්ට්‍රික් වාහනයක් අපි ළඟ තියෙනවා නම්, හිතන්න හොඳ ම දේ අපිට පෙට්‍රල් හෝ හයිබ්‍රිඩ් වාහනයක් එක්ක අර වාහනය තියෙන්න ඕනේ - ෆුල් එලෙක්ට්‍රික් වාහනක් තියෙනවා නම්," ඔහු පැහැදිලි කළේ ය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, "එක චාජ් එකකින් කිලෝමීටර් 350ක් යන්න පුළුවන් කියන එක පෙන්නන්නේ, ස්ටාට් කරලා එක දිගට ම යන ගාණ. එහෙම නැතුව අතරමග බාධක එක්ක තියෙන ගාණ නෙවෙයි.

"එතකොට දුර දුවන කෙනෙකුට මේ රට ඇතුළේ ෆුල් එලෙක්ට්‍රික් වාහනයක් ගැලපෙන්නේ නැහැ. ඩීසල් ද පෙට්‍රල් ද කියන එක ගැටලුවක් නැහැ. ඒක තමන්ගේ දරා ගැනීමේ හැකියාව සහ තමන්ගේ රුචිකත්වය.

"හැබැයි EV වාහනයකට යනවා නම්, කෙටි දුර ධාවනයට තමයි අපිට මේ වාහනය භාවිත කරන්න වෙන්නේ. මොක ද රට ඇතුළේ තාමත් චාජින් පොයින්ට් ඇති ප්‍රමාණයට නැහැ. තිබුණත් චාජ් කර ගන්න යන කාලය වැඩියි," යනුවෙනි.

මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරුවරයා පැහැදිලි කළේ, දෙවැනි වාහනයක් ලෙස "ළඟ දුවන්න, දෛනික වැඩ ටික කර ගන්න" එලෙට්‍රික් වාහනයක් වඩාත් ගැලපෙන බව ය.

"හයිබ්‍රිඩ් වාහන මෙන් ම ඉලෙක්ට්‍රික් සහ සම්ප්‍රදායක දහන එන්ජිමක් [traditional combustion engin] ඇති" මෝටර් රථ සම්බන්ධයෙන් එවැනි ගැටලු මතු නොවන බව ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, සැලසුම්කරණය සහ කළමනාකරණයට ඔබ දක්ෂ නම්, ඉලෙක්ට්‍රික් වාහනයක මිල දී ගැනීම ඔබට වඩාත් ප්‍රායෝගික තෝරා ගැනීමක් විය හැක.

අනෙක් අතට, වායු දූෂණය ඉහළ කොළඹ, මහනුවර වැනි ජනාකීර්ණ නගරවලට ද එම වාහන හිතකර විය හැක්කේ අභන්තර දහන එන්ජිමක් ඇති වාහන මෙන් නොව ඒවා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නොකරන නිසා Net Zero විමෝචන ඉලක්ක කරා ළඟා වීමට උපකාරී විය හැකි බැවිනි.

5. මැනුවල් ද? ඔටෝ ද?

වාහන මිල දී ගැනීමේ එහි ගියර් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දෙනෙක් අවධානය යොමු කරති. ඇතැමෙකු ඉන්ධන කාර්යක්ෂමතාව ගැන තර්ක කරන අතර තවත් පිරිසක් පහසුව ගැන තර්ක කරති.

මේ පිළිබඳව ද බීබීසී සිංහල මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහගෙන් විමසුවෙමු.

ඔහු පෙන්වා දුන්නේ, මැනුවල් හෝ ඔටෝමැටික් වාහනයක් තෝරා ගැනීම එය මිල දී ගන්නාගේ රුචිකත්වය අනුව සිදු කළ හැකි බව ය.

මැනුවල් සහ ඔටෝමැටික් ගියර් පද්ධති අතර ඉන්ධන කාර්යක්ෂමතාවයේ වෙනසක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් ද බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.

"ඉස්සර එහෙම තිබුණා. නමුත් අද වෙනකොට ඉලෙක්ට්‍රොනික් මෙවලම් ගොඩක් වාහනවලට එකතු වෙලා තියෙනවා," මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරුවරයා පැහැදිලි කළේ ය.

ඔහු සඳහන් කළේ, මැනුවල් වාහනයක එය පදවන කෙනා මත ඉන්ධන කාර්යක්ෂමතාව වෙනස් වන බව ය.

"නිරෝගී ඔටෝමැටික් ගියර් බොක්ස් එකක අපිට ඕන විදිහට ගියර් මාරු කරන්න බැහැ. එයා තමයි ස්පීඩ් එක, ලෝඩ් එක, ඇක්සලේටරය පෑගිලා තියෙන ප්‍රමාණය ගණනය කරලා ගියර් එක මාරු කරන්නේ.

"අන්න ඒ දියුණුව නිසා වර්තමානය වෙනකොට මැනුවල් එකකට වැඩිය ඔටෝ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව හොඳයි," ඔහු පෙන්වා දුන්නේ ය.

නමුත් "ගියර් බොක්ස් එක ලෙඩ වෙලා තිබුණොත් ඔටෝ වාහනයක පෙට්‍රල් පිච්චෙන්න පුළුවන්," ඔහු තවදුරටත් පැවසීය.

6. ආරක්ෂාව

බීබීසී සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඉකුත් 2020 සිට 2024 දක්වා වසර 5 තුළ සිදුව ඇති රිය අනතුරු පිළිබඳ නිරීක්ෂණය කළ විට සෑම පැය 4කට වරක් ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වන බව ය.

එබැවින් වාහනයක් මිලට ගැනීමේදී එහි ආරක්‍ෂිත බව ගැන ද අවධානය යොමු කළ යුතු බව මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ආරක්‍ෂිත බවින් උසස් වාහනයක් මිලට ගැනීම කෙනෙකුට අපහසු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

"අනතුරක් වුණ වෙලාවක සේෆ්ටි නැති වුණොත්, අපේ ජීවිතයට අනතුරක් වෙන්න තියෙන අවදානම වැඩියි. නමුත් අපේ වගේ රටක ආර්ථිකය එක්ක ගත්තා ම මේක සම්මතය කියලා කතා කරන්න බැහැ. ඒක රට ඇතුළේ සහ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නයක්.

"නමුත් මම පෞද්ගලිකව දරන මතය තමයි අඩු ම තරමේ ABS (Anti-lock braking system) සහ Air Bags තියෙන වාහනයක්වත් තෝරා ගන්නවා නම් අනතුරකදී මරණය කියන සාධකය වළක්වා ගන්න පුළුවන්. නමුත් අඩු මිලට එන වාහනවල ඒ දේවල් නැහැ," ඔහු පැහැදිලි කළේ ය.

7. නඩත්තුව සහ නැවත විකිණීම

අවසන් වශයෙන් ඔබ මිලට ගන්නා වාහනය නඩත්තුව සඳහා වැය වන මුදල පිළිබඳව යම් අදහසක් තබා ගත යුතු ය.

ඉලෙක්ට්‍රික් වාහනවල නඩත්තුව සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් තත්ත්වයකි.

"ඉලෙක්ට්‍රික් කියන්නේ අපිට නඩත්තු කරන්න යන මුදල ගැන කතා කරන්න බැරි වාහනයක්. මොකද ඒකෙදී සර්විස් කරන්න කියලා ලොකු දෙයක් අපිට නැහැ. ඒක වෙන ම කතාවක්," මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ පැවසීය.

එසේ වුව ද පෙට්‍රල් හෝ ඩීසල් වාහන සම්බන්ධයෙන් ගත් කල, නඩත්තුව සාමාන්‍ය දෙයක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ලංකාවේ තමයි කිලෝමීටර් 5,000 - 5,000ට තෙල් මාරු කරන්නේ. නමුත් ලෝකයේ කොහෙවත් එහෙම තෙල් මාරු කරන්නේ නැහැ. අවම කිලෝමීටර් 7,000ක් ලංකාවේ තියෙන ඕන ම තෙල් එකකින් දුවන්න පුළුවන්."

ඔහු සඳහන් කළේ, වාහනයක් මාස 6ක හෝ 8ක වරක් "සර්විස්" කිරීම සිදු කළ යුතු බව ය.

වාහනයක් නිසි පරිදි නඩත්තු කිරීමෙන් ඇතිවිය හැකි අන්තරායකර තත්ත්වයන් වළක්වා ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"නඩත්තු කියන ඒවා අපි වාහනයේ Periodic Maintenance Service (PMS) කියලා හඳුන්වනවා. ඒවා හැම කාල සීමාවට ම කළොත් අතර මැද ඇතිවන ආපදා අපිට අවම කර ගන්න පුළුවන්.

"ගොඩ දෙනෙක් ලංකාවේ වාහන හදන්නේ කඩා වැටුණා ම. උදාහරණයක් විදිහට වාහනය කිලෝමීටර් 40,000 පසු කරන විට ගියර් ඔයිල් මාරු කරන්න ඕනේ. ඩිෆරන්සල් ඔයිල් මාරු කරන්න ඕනේ. බ්‍රේක් ඔයිල් මාරු කරන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කරන්න යනකොට අපිට තියෙන අතුරු ආබාධ අහු වෙනවා," ඔහු පැවසීය.

"හෝදලා, පිරිසිදු කරලා, වැකුම් කරලා ලස්සන කරන එක තමයි ලංකාවේ අංක එක වෙලා තියෙන්නේ. PM service එකට තැනක් ලංකාවේ ලැබිලා නැහැ මේ තියෙන ආර්ථික ප්‍රශ්න හින්දා.

මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරු ජගත් ජයසිංහ පෙන්වා දුන්නේ, පෙට්‍රල් වාහනයකට වඩා ඩීසල් වාහනයක් නඩත්තු කිරීමට වැය වන මුදල ඉහළ බව ය.

නිතර භාවිත නොකරන්නේ නම්, පෙට්‍රල් වාහනයක් භාවිතයට ගැනීමෙන් නඩත්තු වියදම අඩු කර ගත හැකි බව ඔහු පැවසීය.

නැවත විකිණීමේදී පෙට්‍රල් හෝ ඩීසල් බව බලපාන්නේ කුඩා වාහනවලට මිස විශාල ප්‍රමාණයේ වාහනවලට නොවන බව මෝටර් රථ තාක්ෂණ ඉන්ජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

"එතකොට විකුණන්න ගියා ම කාර් එකක් ඩීසල් කියපු ගමන් මිනිස්සු පොඩ්ඩක් අඩිය පස්සට ගන්නවා."

ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන හෝ විදුලිය ලබා ගැනීමට ද ඔබට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. ඉන්ධන සඳහා වන පිරිවැය ගෝලීය වෙළෙඳපොළ මිල ගණන් මත වෙනස් වන අතර, විදුලි සඳහා වන පිරිවැය ඔබේ විදුලි බිලට එකතු වනු ඇත. ආසන්න වශයෙන් කිලෝවොට් 30ක බැටරියක් නිවසේදී ආරෝපණය කර ගැනීමට ඔබට විදුලි ඒකක 30 පමණ වැයවනු ඇත.