ඔබ මිලට ගන්නා වාහනය නීති විරෝධීව එකලස් කරන ලද, චැසි අංකය වෙනස් කරන ලද වාහනයක් දැයි හඳුනා ගන්නේ කොහොම ද?

එකලස් කරන ලද හෝ නීති විරෝධි ලෙස චැසි අංක වෙනස් කරන ලද යැයි පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාහන අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාම වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

එකලස් කරන ලද හෝ නීති විරෝධි ලෙස චැසි අංක වෙනස් කරන ලද යැයි පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාහන පොලිස් භාරයට ගැනීම් කිහිපයක් ගණනක් පසුගිය කාලය පුරා වාර්තා විය.

එලෙස භාරයට ගන්නා ලද ඇතැම් වාහනවල හිමිකාරිත්වය හෝ සන්තකය දේශපාලඥයන් හෝ ඔවුන්ගේ පවුල්වල උදවියට හෝ ඔවුන්ගේ සමීපතමයන්ට ඇතැයි එමගින් හෙළි විය.

'බැංකුවෙන් දුන්න පහසුකම නිසා මට හිතුණා මේක අතිපිරිසිදු වාහනයක් කියලා'

මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන චාමර විතාන අත්අඩංගුවට ගනු ලැබුවේ ද නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත ය.

ජගත් විතාන මන්ත්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ පෞද්ගලික බැංකුවකින් ණය පහසුකම් ලබා දී තිබූ බැවින් එම වාහනය පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයි තමන් සිතූ බවයි.

"ඉඩමක් ගන්න ගියත් බැංකුවේ ණය මුදලක් තියෙනවා නම් දැඩි විශ්වාසයක් ඇති වෙනවා ගනුදෙනුකරුට මෙන්න බැංකුවේ ණය මුදලක් දීලා තියෙනවා ඉතාමත් ම පිරිසිදු ඉඩමක් කියලා හිතනවා. ඒ වගේ ම තමයි මට හිතුණේ බැංකුවෙන් දුන්න පහසුකම නිසා මට හිතුණේ මේක අතිපිරිසිදු වාහනයක් කියලා. මම ගිහිල්ලා RMV එකට පේපර්ස් බාර දුන්නා ම දවස් 4ක් ඇතුළත මට ආපහු පොත ලබා දුන්නා මගේ සමාගමට ලියාපදිංචි සහතිකය," යැයි ඔහු පැවසීය.

'බට් කරලා ද, චැසිය කොටලා ද?' සොයා ගන්නේ කෙසේ ද?

මෙවැනි සිදුවීම් සමග පාවච්චි කරන ලද වාහනයක් මිල දී ගැනීම සම්බන්ධව ජනතාව අතර සැක සංකා මතුව ඇති අතර යම් වාහනයක් එසේ එකලස් කරන ලද හෝ වෙන යම් නීතිවිරෝධී ආකාරයකට සකස් කරන ලද වාහනයක් දැයි හඳුනා ගන්නා ආකාරය ගැන ගැටලු මතුව තිබේ.

එම ගැටලුවලට පිළිතුරක් ලබා ගැනීමට අප වාහන පිළිබඳ විශේෂඥ දැනුමැති ඔටෝ මොබයිල් ඉංජිනේරු ලාල් අලවත්ත සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ එවැනි වාහනයක් හඳුනා ගැනීම ඉතා අපහසු බව ය.

"දැන් තාක්ෂණය හරි දියුණුයි. ඕනෑ ම චැසි නොම්බරයක් වෙනස් කරන්න පුළුවන්, ඒ වගේ ම එන්ජින් නොම්බර වෙනස් කරන්න පුළුවන්, කාර්වල කෑලි එකිනෙකට වෙල්ඩ් කරලා හදන්න පුළුවන් හොයාගන්න බැරි වෙන්න. මේ වගේ තාක්ෂණය දියුණු වෙනකොට ඒක හොර වැඩවලට ත් බලපානවා. සමහර වාහන තියෙනවා එකලස් කරලා මොන විදිහටවත් හොයන්න බැහැ. එහෙම නම් ඒවායේ කෑලි ගලවලා වෙන වෙන ම පරීක්ෂා කරලා බලලා තමයි හොයන්න වෙන්නේ. මේක ටිකක් දිර්ඝ කාලීනව හොයන්න ඕන දෙයක්, ඒ වගේ ම සංකීර්ණ දෙයක්.

"සාමාන්‍යයෙන් වාහන මිල දී ගන්න යන්න කාර්මික දැනීම විශාල වශයෙන් තියෙන අය නෙමෙයි නේ. ඉතින් ඒ වගේ ඒවා හොයන්න අමාරුයි. දැන් ලංකාවේ කොච්චර ප්‍රශ්න තියෙනව ද එකලස් කරපු වාහන, කෑලි ගෙනල්ලා වෙන වෙන ම හදපු වාහන ඒ පිළිබඳව නීතිමය කටයුතු පවා තියෙනවා නේ. ඉතින් ඒවා හොයන්න ලේසි නෑ. තමන්ගේ දැනීම මත තමයි මේවා රඳා පවතින්නේ. ඉතා ම හොඳ දැනීමක් තියෙන පරීක්ෂා කරන්න පුළුවන් තැන්වල, පරීක්ෂා කරන්න පුළුවන් අයට එක්තරා මට්ටමකට මේක හොයා ගන්න පුළුවන්; නමුත් හොයා ගන්න බැරි ඒවත් තියෙනවා," යැයි ඉංජිනේරු ලාල් අලවත්ත බීබීසී සිංහල වෙත පැවසීය.

'ඒ බව දැන දැන ම පාවිච්චි නොකළ යුතු ය': පනතේ තියෙන්නේ කොහොම ද?

2009 අංක 9 දරණ මෝටර් වාහන පනත අනුව එකලස් කරන ලද, අනවසරයෙන් චැසි අංකය වෙනස් කරන ලද වාහන භාවිතය නීති විරෝධී වේ. ඒ පිළිබඳව වැඩිදුරටත් පනතේ දැක්වෙන්නේ මෙසේ ය.

  • "නීති විරෝධී ලෙස හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූ මූලාකෘතියකට අනනුකූල ලෙස, නිෂ්පාදන කරන ලද, එකලස් කරන ලද, සකස් කරන ලද, අලුතින් නිර්මාණය කරන ලද, අනුවර්තනය කරන ලද, විකරණය කරන ලද හෝ වාහනයේ නිර්මාණය වෙනස් කර ඇති මෝටර් වාහනයක්;
  • අදාළ සමාගමේ නව කොටස් යොදා එකලස් කිරීම හැර අන්‍යාකාරයකින් එකලස් කර ඇති හෝ එම කොටස්වල නිෂ්පාදකයාගේ අවසරය නොමැතිව එකලස් කර ඇති මෝටර් වාහනයක්;
  • කාර්මික දෝෂ සහිත මෝටර් වාහනයක්;
  • ආරක්ෂාව පිළිබඳ නියමිත ප්‍රමිතිවලට අනුකූල නොවන මෝටර් වාහනයක්;
  • වාහනයේ චැසි අංකය අනවසරයෙන් වෙනස් කර ඇති මෝටර් වාහනයක්; හෝ
  • කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අවසරය නොමැතිව නිෂ්පාදනය කර ඇති, එකලස් කර ඇති, සකස් කර ඇති, අනුවර්තනය කර ඇති, විකිරණය කර ඇති හෝ වාහනයේ නිර්මාණය යම් ආකාරයකට වෙනස් කර ඇති යම් මෝටර් වාහනයක්, ඒ බව දැන දැන ම පාවිච්චි නොකළ යුතු ය." යනුවෙන් දැක්වේ.

වරදට දඬුවම් මොනවා ද?

එවැනි වරදකට වරදකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් පනස් දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ මාසයක කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු බව පනතේ දක්වා තිබේ.

දෙවන වර වරද කිරීමේදී රුපියල් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ මාස දෙකක කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කිරීමට විධිවිධාන සලසා ඇත.

එමෙන් ම තුන් වර හෝ පසු වාරයකදී වරද කිරීමේ දී තුන් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ මාස හයකට වැඩි නොවන කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම සහ වාහනය රාජසන්තක කිරීමටකට යටත් විය යුතු බව එම පනතේ සඳහන් කර තිබේ.