අධිවේගී මාර්ගවල 'වාහන පැදවීම අසීරුයි': අලුත්වැඩියා කරන්නේ කවදා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දක්වා කොටස විවෘත කරන ලද්දේ, 2011 වසරේ නොවැම්බර් මස 27 වන දා ය.
එතැන් සිට මේ දක්වා වසර 14ක් ගෙවී ගොස් තිබේ.
කෙසේ වෙතත්, අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු එම මාර්ග පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීමක් සිදු නොවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග කළමනාකරණ සහ ව්‍යාපෘති අංශය පවසයි.
'ධාවනය අසීරු යි'
මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය 'ඉතා අසීරු' බවට බීබීසී සිංහල සේවය කළ අධ්‍යයනයකදී රියැදුරන් බොහෝ දෙනෙක් මැසිවිලි නැගූහ.
"ගොඩක් තැන්වල වාහනය පැදගෙන යනකොට ගැස්සෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේ ම පාලම් සම්බන්ධ වෙන තැන්වල පාර සමතල ගතියක් නැහැ. ඒ නිසා වාහනවල පැවැත්මටත් ඒක හානියක්. ඒ විතරක් නෙවෙයි, ගැස්සීම වැඩි නිසා වාහනයේ ගමන් කරන අයටත් සුවපහසුවක් නැහැ," මේ අදහස් පළ කළේ, නිරන්තරයෙන් අධිවේගී මාර්ග භාවිත කරන පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නෙකි.
ඔහු ප්‍රකාශ කළේ, විශේෂයෙන් කොට්ටාව සහ කඩුවෙල අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බව ය.
මේ අතර, කොට්ටාව සිට ගාල්ල දක්වා නිරන්තරයෙන් අධිවේගී මාර්ගය භාවිත කරන තවත් අයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන් ගාල්ල දක්වා මෝටර් රථය පදවාගෙන යන අතරතුර "වළකට වැටුණු ආකාරයක්" අත්විඳි බව ය.
"එක්ස්ප්‍රස් වේ එකේ ප්‍රමිතිය දැන් ගොඩක් අඩු වෙලා. සුවපහසුවෙන් ගමනක් යන්න බැහැ දැන්. අධිවේගී මාර්ගයේ අපි වාහනයකින් යන්නේ ඉක්මනින් පහසුවෙන් ගමනක් යන්නයි. ඒත් ඒක දැන් ඉතා ම වෙහෙසකාරී ගමනක් වෙලා."
මේ අතර, තවත් රියැදුරෙකු පැවසුවේ, ගාස්තුවක් ද ගෙවන හෙයින් අධිවේගී මාර්ගයක ගමන් කිරීමේදී සුවපහසු අත්දැකීමක් ලබා දීම මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'පළමු වරට' අධිවේගී මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමකට සැරසෙයි
මේ පිළිබඳව, බීබීසී සිංහල සේවය මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග කළමනාකරණ සහ ව්‍යාපෘති අංශයෙන් විමසීමක් කළේ ය.
එහිදී, එම කාර්යාලයේ නිලධාරිනියක ප්‍රකාශ කළේ, අධිවේගී මාර්ගවල පූර්ණ අලුත්වැඩියා කිරීමක් සඳහා සැලසුම් කර ඇති බව ය.
ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව ද ඇය පැවසීය.
එම අලුත්වැඩියා කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිත ය.
"අලුත්වැඩියා කිරීමේ පළවෙනි අදියර ලබන මාසේ පටන් ගන්න සැලසුම් කරල තියෙනවා. ඒ අදියරේදී කොට්ටාව ඉඳන් දොඩංගොඩ දක්වා අලුත්වැඩියා කරන්න නියමිත යි. ඊට පස්සේ තවත් අදියර කිහිපයක් යටතේ අලුත්වැඩියා කටයුතු කරනවා," නිලධාරිනිය පැවසුවා ය.
අලුත්වැඩියාව සඳහා අධිවේගී මාර්ග වසා දමයි ද?
අලුත්වැඩියා කටයුතු සිදු කරන අතරතුර අධිවේගී මාර්ගය වසා තැබීමට සිදුවන්නේ ද? යන්න පිළිබඳව ද එම නිලධාරිනියගෙන් විමසුවෙමු.
"අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් වහන්න අපි සැලසුම් කරල නෑ. අලුත්වැඩියා කරන කොටස විතරක් වහන්න තමයි හිතන්නෙ. වැඩේ කරගෙන යද්දි වාහන ගමනාගමනය ගැන බලල තමයි ඒක තීරණය කරන්න වෙන්නෙ."
"පළවෙනි අදියර කරද්දි ලබන අත්දැකීම් අනුව ඊළඟ අදියරවලදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා."
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ආරම්භ කර මේ වන විට වසර 14ක් ගත වී තිබේ.
කොට්ටාව සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයෙන් ආරම්භ වූ මෙම පද්ධතිය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට විහිදී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් කිහිපයක් තවමත් ඉදිවෙමින් පවතින අතර, රුවන්පුර අධිවේගී මාර්ගය ද යෝජනා කර ඇත.
මේ වන විට ඉදි කර ඇති අධිවේගී මාර්ග පද්ධතියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 300 ඉක්මවයි.














