අලුත් බදු සමග වාහන මිල තීරණය වෙන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
වසර 5ක පමණ කාලයක් පුරා තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට පෙබරවාරි මස 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි අවසර දීමට රජය පියවර ගත්තේ ය.
ඒ අනුව, පෞද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබිණි.
2020 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කෙරුණු මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර පැවසුවේ, "ඉතාමත් සැලකිලිමත්ව සහ ප්‍රවේසම්සහගතව" එම නිදහස් කිරීම කළ බව ය.
මෝටර් වාහන සඳහා එකවර ඉල්ලුමක් ඇති වීම වැළැක්වීම සඳහා "අමතරව තව බදු කිහිපයක්" පැනවූ බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
කෙසේ වෙතත්, ඇතැම් පිරිස් පැවසුවේ, වාහන ආනයන සීමා ලිහිල් කළ ද "අලුත්" වාහනයක් ගැනීම "සිහිනයක්" බවට පත්ව ඇති බව ය.
වාහන ආනයනකරුවන් පවසන පරිදි "කුඩා ප්‍රමාණයේ" මෝටර් වාහනයක් වන වැගන් ආර් රථයක මිල රු. ලක්ෂ 70 රු. ලක්ෂ 100ත් අතර වීම ඊට හේතුව ය.
මේ, වාහන ආනයනය සහ එහි නවතම තත්ත්වය පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.
'වාහන නැව්ගත කරන්න බොහෝ බාධා එල්ල වෙලා තියෙනවා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් විමසා බැලීය.
එහි ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ, වාහන ආනයනය පිළිබඳව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ ඇති ගැටලුසහගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා භාවිත කරන ලද වාහන මෙරටට ආනයනය කිරීමට බාධා එල්ල වී ඇති බව ය.
"මෝටර් වාහනේ වයස නිර්ණය කිරීමේදී, එකී මෝටර් වාහනේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු යි," යන කොන්දේසිය එහි ඇතුළත් වීම මෙම ගැටලුවට මුල් වී ඇති බව ඔහු පැවසීය.
"නිෂ්පාදිත දිනය ලබා ගැනීමේ ප්‍රයෝගික ගැටලු තියෙනවා. කිසියම් වාහනයක නිෂ්පාදිත දිනය කියන්නේ කුමන කොටසේ නිෂ්පාදිත දිනය ද? චැසිය නිෂ්පාදනය කරලා ගොඩගහලා තියෙන්න පුළුවන්. ඒකට බොඩි එක, ඇක්සසරීස් හයි කරන්න කොච්චර කාලයක් යනවා ද කියලා අපි දන්නෙත් නැහැ. එතකොට වාහනය සම්පූර්ණ වෙච්ච දිනය ද නිෂ්පාදිත දිනය? එහෙම නැත්නම් මේකේ චැසිය නිර්මාණය කරපු දිනය ද? කියන එක අපි කොහොම ද කියන්නේ?," ලේකම්වරයා ප්‍රශ්න කළේ ය.
ඒ අනුව, ජපානයෙන් භාවිත කරන ලද වාහනයක් ආනයනය කිරීමේදී ලබා ගත යුතු පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමේදී රජය නියම කර ඇති පරිදි එහි "නිෂ්පාදිත දිනය හෝ නිෂ්පාදිත මාසය" දැක්වීමට එම සමාගම් ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පැවසීය.
"මේ තියෙන තත්ත්වයත් එක්ක වාහන නැව්ගත කරන්න බොහෝ බාධා එල්ල වෙලා තියෙනවා. බ්‍රෑන්ඩ්නිව් වාහනවලට අවශ්‍ය නැහැ ඒ සහතිකය. යම් වාහන ප්‍රමාණයක් ඒවි," ඔහු වැඩිදුරටත් පැවසීය.
'ඕක දැම්මේ සමහර ආනයනකරුවන් කරන හොර වැඩ නවත්තන්න'
වාහන ආනයනකරුවන් පෙන්වා දෙන මෙම ගැටලුව පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා රේගුවෙන් විමසීමක් කළේ ය.
එහිදී එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ අවධාරණයේ කළේ, මෙම ගැසට් පත්‍රයේ "කිසි ම ගැටලුවක් නැති," බව ය.
"ඕක දැම්මේ සමහර ආනයනකරුවෝ කරන හොර වැඩ නවත්තන්න. හොර කරපු කට්ටියට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකල් ඒජන්ට්ස්ලාට කිසි ම ප්‍රශ්නයක් නැහැ ඔය වගේ. ඉස්සර ඒජ් එකට ගේම් ගහපු අය තමයි දැන් ඔය දඟලන්නේ ඔය Year of Manufacture ගන්න එක ප්‍රශ්නයක් වෙලා," ඔහු අවධාරණය කළේ ය.
පැවති නෛතික තත්ත්වය හමුවේ තෙවන රටක් හරහා වාහන ආනයනය කිරීමේදී අදාළ කාල සීමාව ඉක්මවූ වාහන ආනයනය කිරීමට හැකියාව තිබුණු බව ද ඔහු පැවසීය.
"ඒ හිල් දැන් වහලා තියෙනවා. මහ ජනතාවට තමයි ප්‍රතිලාභය තියෙන්නේ ඕකේ. ඔය ගේන කට්ටිය හොර කරන්න බැරි නිසා තමයි ඔය කෑගහන්නේ. ඒ නිසා එතන කිසි ප්‍රශ්නයක් නැහැ. කස්ටම් එකට ඒක ක්‍රියාත්මක කිරීමේ කිසි ම ගැටලුවක් නැහැ," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.
මේ දක්වා මෙරටට නව මෝටර් රථ පැමිණ නොමැති බව ත් සති දෙකක පමණ කාලයක් තුළ තායිලන්තයේ සිට ආනයනය කරන මෝටර් රථ පැමිණෙනු ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.
"තාම වාහන ඇවිල්ලා නැහැ. සුමාන දෙකකින් විතර ඒවි තායිලන්ඩ් ඉඳන් එන වාහන. ජපානයෙන් එන ඒවාට නම් කොහොමත් මාසයක් එකහමාරක් යනවනේ."
මෝටර් වාහන සඳහා අවසර දී ඇති වයස් සීමාව වසර තුනක් වන අතර වාහන ආනයනකරුවන් ඉල්ලීම කරන පරිදි එම කාල සීමාව ඉහළ දැමීමේදී තීරු බදු අය වන ආකාරය සහ ඉන් සිදුවන බලපෑම පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය.
"අවුරුදු ගාණ වැඩි කළාට තීරු බදු අය කරන එකේ වෙනසක් වෙන්නේ නැහැනේ. අපි කොහොමත් ගන්නේ බ්‍රෑන්ඩ්නිව් වාහනයක ඩියුටි එක. එතකොට අනිත් පැත්තෙන් පොඩි ගාණයි අඩු වෙන්නේ. දීර්ඝ කාලීනව ගත්තා ම අවරුදු 5ක් පරණ වාහන ගත්තා ම පාවිච්චි කරන්න පුළුවන් කාලය අඩුයි. වායු විමෝචනය වැඩියි. ඒ නිසා පුළුවන් තරම් අලුත් ම වාහන ගේන එක තමයි හොඳ."
වාහන මිල තීරණය වෙන්නේ කොහොම ද?
මේ වන විට විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ වාහන මිල පිළිබඳව විවිධ අදහස් පළවෙමින් තිබේ. බොහෝ ආනයනයකරුවන්, සමාගම් ඇතැම් වාහන වර්ගවල මිල ගණන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට ද පියවර ගෙන ඇත.
නමුත්, එලෙස වාහනයක මිල තීරණය වන්නේ කෙසේ ද? බීබීසී සිංහල ඒ පිළිබඳව ද සොයා බැලීමක් කළේ ය.
මිල ගණනය කිරීමට පෙර, ශ්‍රී ලංකා රේගුව විසින් නියම කරනු ලැබ ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත යුතු ය. වාහනයේ HS කේතය අනුව අදාළ බදු සහ තීරු බදු වෙනස් වීම සිදු වේ.
මේ, ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති බදු අනුව වාහනයක මිල තීරණය වන ආකාරය යි.

සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට මොක ද වෙන්නේ?
නව වාහන ආනයනයට වෙළෙඳපොළ විවෘත කිරීමත් සමග භාවිත කළ වාහනවල වෙළෙඳපොළට සිදුවන බලපෑම පිළිබඳව බීබීසී සිංහල ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් වාහනවල මිල ගණන්වල යම් අඩුවීමක් සිදුවනු ඇති බව ය. කෙසේ වෙතත්, භාවිත කළ වාහනවල මිලෙහි විශාල වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි බව ද ඔහු පැවසීය.
"සමහර වාහනවල මාර්කට් එක පොඩ්ඩක් අඩු වේවි. සමහර වාහන ඒ විදිහට ම තියේවි. මම හිතන්නේ නැහැ, සෙකන්ඩ් හෑන්ඩ් වාහනවල විශාල වශයෙන් මිල වැඩි වෙන්න හේතුවක් වේවි කියලා."
රජය විසින් වාහන ආනනනයේදී හඳුන්වා දී ඇති මෙම බදු ක්‍රමය හරහා ආර්ථිකය හැකිලීමක් සිදුවන බව ධනනාත් ප්‍රනාන්නදු සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, "ඕකෙන් යමක් කමක් කර ගන්න බලාපොරොත්තු වෙන අය අධෛර්යයට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ සිහිනයට බාධාවක්," යනුවෙනි.
බදු ඉහළ යාමත් සමග මිනිසුන් වැරදි ක්‍රමවලට පෙළඹීමේ අවදානමක් ඇති විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"වාහනවලට ඔච්චර තීරු බද්දක් ගහන එකත් එක්ක, මාෆියා ගතියත් වැඩි වෙනවා. මිනිස්සු වැරදි ක්‍රමවලට පෙළඹෙන්න බලනවා. වාහන බට් කරන ඒවා වගේ. ඔය බදු ක්‍රමය එතරම් සාධාරණ නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.










