අහස උසට ඉහළ යන වාහන මිල පාලනය කරන්න රජයට බැරි ද?

"මම සෑහෙන වැටුපක් උපයන මනුස්සයෙක්. නමුත්, මට හරියන වාහනයක් ගන්න මේ වෙලාවේ ලංකාවේ ඇතුළේ නැහැ. හැම වාහනයක් ම අවුරුදු 10කට වඩා පරණයි. ඒවා ලංකාවට ආනනයනය කරලා, ඊට පස්සෙත් අවුරුදු 10ක් විතර දුවලා, දැන් ආනයනය කරපු මිලටත් වඩා තුන් ගුණයකට ළං වෙන මිලකට විකුණනවා..."

"මම සෑහෙන වැටුපක් උපයන මනුස්සයෙක්. නමුත්, මට හරියන වාහනයක් ගන්න මේ වෙලාවේ ලංකාවේ ඇතුළේ නැහැ. හැම වාහනයක් ම අවුරුදු 10කට වඩා පරණයි. ඒවා ලංකාවට ආනනයනය කරලා, ඊට පස්සෙත් අවුරුදු 10ක් විතර දුවලා, දැන් ආනයනය කරපු මිලටත් වඩා තුන් ගුණයකට ළං වෙන මිලකට විකුණනවා..."

එලෙස බීබීසී සිංහල සමග අදහස් දැක්වූයේ, මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක, ඉහළ ශ්‍රේණියක තනතුරක් දරන නිලධාරියෙකි.

ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අපි ඔහු 'කෙවින්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු.

කෙවින් අපේක්ෂාවෙන් සිටින්නේ, ඔහු දැනට භාවිත කරන වාහනය අලෙවි කර, ඔහුගේ අවශ්‍යතාවට ගැළපෙන ආකාරයේ, ඔහු මෙතෙක් කල් පැදවූ වාහනයට වඩා තරමක් හෝ නවීන, භාවිත කරන ලද වෙනත් වාහනයක් මිල දී ගැනීමට ය.

නමුත් එය, මෙරට බොහෝ දෙනෙකුට මෙන් ඔහුට ද එය සපුරා ගත නොහැකි ඉලක්කයක් බවට පත්ව ඇත්තේ, මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල "කෘත්‍රිම" ලෙස ඉහළ ගොස් ඇති නිසා ය.

මීට වසර කිහිපකකට පෙර, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදය හමුවේ, මෙරට ඩොලර් සංචිත පහළ යාම වැළැක්වීමේ අරමුණින් වාහන ආනයන තහනම් කිරීමට රජය පියවර ගත්තේ ය.

ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළට ඉතා අලුත් තත්ත්වයේ (brand new) වාහන පැමිණීම නතර වුණු අතර, මෙරටට ගෙන්වන ලද භාවිත කරන ලද වාහන පාරිභෝගිකයින් අතර හුවමාරු වීම පෙරට වඩා ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

නමුත් ඒත් සමග ම වෙළෙඳපොළ තුළ භාවිත කරන ලද වාහනවල මිල ගණන් ද අහස උසට නැගිණි.

කෙවින් අප හා සඳහන් කළ පරිදි ආනයනය සීමා පැනවීමට පෙර රුපියල් ලක්ෂ 30කට පමණ අලෙවි වූ මෝටර් රථයක් දැන් රුපියල් ලක්ෂ 60කටත් අධික මුදලකට අලෙවි වේ.

ඒ බව වාහන අලෙවි කිරීම් සම්බන්ධයෙන් ඇති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සමූහ පිරික්සා බැලීමේදී ද තහවුරු වේ.

ඇතැම් පුද්ගලයින්, භාවිත කරන ලද වාහනයක් සඳහා ඒ වෙනුවෙන් තක්සේරු කළ හැකි මිලට වඩා වැඩි ගණනක් සඳහන් කර, එම වැඩි මිලට තමන්ට අදාළ වර්ගයේ වාහනයක් අවශ්‍ය බව දක්වා, කෘත්‍රිම ලෙස මිල ඉහළ දැමීමට උත්සහ ගන්නා සමාජ මාධ්‍ය සටහන් ද දක්නට ලැබේ.

කෙවින් පැවසුවේ, ඒ හරහා එම පුද්ගලයින් "අයුතු ලෙස ලාභ උපයා ගැනීමට" උත්සහ කරන බව ය.

ඔහු වැනි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ, වෙළෙඳපොළ තුළ භාවිත කරන ලද වාහන අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම රජයේ මැදිහත් වීමකින් නියාමනය කළ නොහැකි ද යන්න පිළිබඳව ය.

"මේකට මොනවා හරි නියාමනයක් කරන්න පුළුවන් නේ? රජයට? රජය මැදිහත් වෙන්න පුළුවන් නේ. ඇයි මේක මෙහෙම කරන්නේ?" කෙවින් ප්‍රශ්න කරයි.

"වාහන ආනයනකරුවෝ නෙවෙයි මිල තීරණය කරන්නේ, සාමාන්‍ය පාරිභෝගික ජනතාව" - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, සාමාන්‍ය පරිදි රට තුළට වාහන ආනයනය වුණු කාලය තුළ මෙවැනි කෘත්‍රිම වෙළෙඳපොළක් නිර්මාණය නොවූ බව ය.

ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට වාහනවල මිල තීරණය කරනු ලබන්නේ, සාමාන්‍ය පාරිභෝගික ජනතාව විසින් මිස වාහන වෙළෙඳසල් හිමියන් හෝ ආනනයකරුවන් විසින් නොවන බව ය.

"මේ වෙලාවේ වාහන ආනයනකරුවෝ නෙවෙයි මිල තීරණය කරන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව. ඇත්තට ම මිනිස්සුන්ගේ මතයක් තියෙනවා, මේ සේල්කාරයෝ වාහනවල මිල උස්සනවා, එහෙම නැත්නම් ආනයනයකරුවෝ උස්සනවා කියලා. නමුත් ඇත්තට ම වෙන්නේ, වාහන පාවිච්චි කරන අය තමයි ඒ අය ගාව තියෙන වාහනවලට ඉහළ මිලක් කියන්නේ."

වෙළෙඳපොළ තුළ මිල සංසන්දය කිරීම සඳහා අලුත් තත්ත්වයේ වාහන ආනයනය නොකිරීම හේතුවෙන් ජනතාවට මිල සංසදනය කිරීම සඳහා ඇති අවස්ථාව අහිමි වී යන බව ඔහු පැවසීය.

"වෙළෙඳපොළේ මිල සංසන්දය කරන්න වාහන අලුතෙන් එන්නේ නෑ නේ. නැවත වාහන ලංකාවට ආනයනය කළොත්, මේ මිල ඔය තියෙන ප්‍රමාණයට වඩා භාගෙකින් අඩු වේවි. වාහන වෙළෙඳපොළට එන්නේ නැති නිසා තමයි මේ මිල."

ඔහු පෙන්වා දුන් කරුණු සනාථ කරමින් කෙවින් පැවසුවේ, "මම ගෙදරින් දුර ඉන්නේ. ඉතින් මට මම කරන රස්සාවත් එකක් යන්න එන්න වාහනයක් ඕනේ. මට ඒක සපුරා ගන්න වැටුපක් තියෙනවා. හැබැයි ඒ දේට අවශ්‍ය, ගැළපෙන වාහනයක් ගන්න මට මේ වෙලාවේ මාකට් එකේ නැහැ. තියෙන්නේ බොරු ගණන්වලට තියෙන වාහන," යනුවෙනි.

මිල නියාමනය කළ හැකි එක ම ක්‍රමය...

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ, වාහන මිල ගණන් නියාමනය කිරීම සඳහා ඇති එක ම ක්‍රමය, යම් ප්‍රමාණයකට හෝ නැවත වාහන ආනයනය කිරීම බව ය.

"උදාහරණයක් විදිහට අපි අන්තිමට වාහන ආව 2020 අවුරුද්ද ගමු. එතකොට ඒ 2020 වාහනයට සාමාන්‍ය තරගකාරී වෙළෙඳපොළ තුළ මිලක් නියම වෙනවා. එතකොට ඒ මිලේ ඉඳලා පිටිපස්සට තමයි අනිත් වර්ෂවල වාහන පෙළ ගැහෙන්නේ. නමුත් වෙළෙඳපොළේ මිල තීරණය කරන්න වාහන ආනයනය වෙන්නේ නැති හින්දා, වාහන පාවිච්චි කරන අය ඒ අයට කැමති කැමති මිල කියනවා. ඒ තුළ වාහනයේ මිල කෘත්‍රිම ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා."

මෙම අවස්ථාවේදී සිදුවන්නේ, පාරිභෝගිකයින්, පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කර ගැනීමක් බව ඔහු පැවසීය.

එබැවින් මෙම තත්ත්වය සඳහා ඇති එක ම විසඳු ම යළිත් ආනයන ප්‍රකෘතිමත් කිරීම බව ඔහු අවධාරණය කළේ ය.

"අපි හිතමු වාහන 2,000ක්වත් රජය ආනයනය කරන්න දුන්නොත්, මේ මිල ටක් ගාලා පහළට වැටෙනවා."

ආනයනය සීමා පැනවීමට පෙර මසක වාහන 6000 - 7000ත් අතර ගණනක් මෙරටට ආනයනය කළ බව කුලතුංග පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ 80%ක් පමණ වාහන අලෙවිසල් වැසී ගොස් ඇති බව ය.

රජයට යෝජනාවක් සහ චෝදනාවක්...

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් යෝජනා කළේ, මෙම අවස්ථාවේදී රජය වැඩි බද්දක් ලැබෙන, අඩු විදේශ විනිමය ප්‍රමාණයක් වැයවෙන ක්‍රමවේදයකට අනුගත විය යුතු බව ය.

ඒ සඳහා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව ද ඔහු පැවසීය.

"අපි රජයට යෝජනා දීලා තියෙනවා. අපි කියන්නේ මේ අවුරුදු 3ක් දක්වා වාහන ගෙන්වන්න දෙන එක 7ක් දක්වා කරන්න කියලා. ප්‍රමිති සහතිකයක් ඇතිව ඒ වාහන ගෙන්නන්න දෙන්න කියලා. එතකොට අවුරුද්දත් 3ත් අතර වාහනයක මිලට අර වගේ වාහන 3ක් ගන්න පුළුවන්. අපි කියන්නේ බද්ද වෙනස් කරන්න එපා. බද්ද තියන්න ඔය මට්ටමේ ම. අවුරුදු ගාණ වැඩි කරන්න. එතකොට අඩු විනිමය ප්‍රමාණයකින් වැඩි බද්දක් රජයට අය වෙනවා.

කෙසේ වෙතත්, නැවත රටට වාහන ආනයනය කළ හැකි ද යන්න සොයා බැලීම රජය විසින් පත් කරන ලද විශේෂ කමිටුවට වාහනය ආනයනකරුවන් සම්බන්ධ කර නොගැනීම පිළිබඳව ඔහු රජයට චෝදනා කළේ ය.

මීටර් ආපස්සට කරකැවීම...

මේ වන විට වෙළෙඳපොළේ පවතින වාහනවල තත්ත්වය ගැන සහතිකයක් නොමැති බව කෙවින් බීබීසී සිංහල සමග කනස්සලෙන් පැවසුවේ ය.

"දැන් ගන්න තියෙන්නේ පාවිච්චි කරපු වාහනයක් නේ. ඒ ගන්න තියෙන වාහනේ තත්ත්වය ගැන සහතිකයක් නැහැ. මීටරේ කරකවනවා. අවුරුදු 17ක් 20ක් ලංකාවේ දුවපු වාහනයක මයිලේජ් එක 85,000යි. ඒක වෙන්න පුළුවන් ද? ගණන් වැඩියෙන් දෙන්න මීටරේ කරකවනවා. ඒකට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ," කෙවින් පැවසීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, කෙවින් පවසන පරිදි "මීටර් ආපස්සට කරකැවීම" පිළිබඳව මෝටර් රථ පනතේ නිශ්චිතව දක්වා නොතිබුණ ද වාහනයක් අනුමැතියකින් තොරව වෙනස් කිරීම වරදක් බව සඳහන් කර ඇති බව ය.

"වාහනයක බාහිර හෝ අභ්‍යන්තර වෙනසක්, ඒ කියන්නේ මූලාකෘතියේ වෙනසක් කොමසාරිස් ජනරාල්ගේ අවසරයකින් තොරව සිද්ධ කරන්න බැහැ. මීටරේ කරකවනවා කියන එකත් වෙනස් කිරීමක් නේ. ඒක කළොත් පොලිසියට දඬුවමක් දෙන්න පුළුවන් වරදක් එතන තියෙනවා."

වාහනයක් මිල දී ගැනීමේදී ඊට නිකුත් කර ඇති දුම් සහතික පිරික්සා බැලීමෙන් එය ධාවනය කරන ලද සැතැප්ම ගණනේ වෙනසක් සිදුව ඇති බව හඳුනා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

"දුම් සහතිකයක් ගන්නකොට, ඒකෙ හැම වෙලාවේ ම මීටරේ සටහන් වෙනවා නේ."

කෙසේ වෙතත්, එය හයිබ්‍රිඩ් වාහන සඳහා අදාළ නොවන බව ඔහු පැවසීය.

"එන්ජිම ගෙවෙනවා, රෝද ගෙවෙනවා, මේන්ටනන්ස් එනවා..."

කෙවින් මූල්‍ය ආයතනයක සේවය කරන බැවින්, ඔහුට වාහන තක්සේරු කිරීම සම්බන්ධයෙන් යම් අවබෝධයක් පවතී. ඔහු පෙන්වා දුන්නේ, "වාහන තක්සේරු කරන අය, දැන් වෙළෙඳපොළේ තියෙන මිලට තමයි වාහන තක්සේරු කරන්නේ," යනුවෙනි.

"මීටර් ආපස්සට කරකැවීම" පිළිබඳව මෝටර් රථ පනතේ නිශ්චිතව දක්වා නොතිබුණ ද වාහනයක් අනුමැතියකින් තොරව වෙනස් කිරීම වරදක් බව සඳහන් කර ඇති බව ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, "මීටර් ආපස්සට කරකැවීම" පිළිබඳව මෝටර් රථ පනතේ නිශ්චිතව දක්වා නොතිබුණ ද වාහනයක් අනුමැතියකින් තොරව වෙනස් කිරීම වරදක් බව සඳහන් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය

"වාහනයක වටිනාකම ක්ෂය වෙනවනේ පාවිච්චි කරන කාලයත් එක්ක. එන්ජිම ගෙවෙනවා, රෝද ගෙවෙනවා, මේන්ටනන්ස් එනවා, එතකොට ඒවත් එක්ක මිල අඩුවීමක් නේ වෙන්නේ. එතකොට ලංකාවේ තියෙන හැම මූල්‍ය ආයතනයක්මත් දැන් තියෙන, මිල ගණන්වලට ඒ පහසුකම හදලා දෙනවා.

මහ ජනතාව නියාමනය කරන්න බැරි නම්, අඩු ම මූල්‍ය ආයතනවලට දාන්න බැරි ද නියාමනයක්? එතකොට වාහනවල මිල තක්සේරු කරන්නන්ට?" ඔහු ප්‍රශ්න කළේ ය.

ඒ අනුව බීබීසී සිංහල, පළපුරුදු වාහන තක්සේරු කරන්නෙකු වන භාග්‍ය උරේෂ් අරවින්දගෙන් විමසීමක් කළේ ය. ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ තක්සේරු ආයතනයක තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කරයි.

ඔහු පෙන්වා දුන්නේ, යම් වාහනයක් සඳහා තක්සේරුවක් ලබා දීමේදී වෙළෙඳපොළේ අදාළ වහනයට ඇති වටිනාකම පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වන බව ය.

"නැත්නම් බැංකුවට වැඩකුත් නැහැ. කස්ටමර්ට වැඩකුත් නැහැ, අපි අර එළියේ තියෙන මිල ගණන් එක්ක සසඳලා තක්සේරුව දුන්නේ නැත්නම්. මොක ද අපිත් එක්ක තර්ක කරන්න පුළුවන් නේ. 'මම මේක ගන්නේ 45කට නම්, ඇයි ඕගොල්ලෝ 35ක් 36ක් දෙන්නේ 'කියලා. අපි 36ක් දීලා එයාට ලීස් එක ගන්නත් බැහැ. බැංකුවට වටිනාකමකුත් නැහැ. ඒ නිසා තක්සේරුව සාධාරණ විදිහට දෙන්න වෙනවා."

රජයේ ප්‍රතිචාරය...

කෙවින් ඇතුළු පාරිභෝගික ප්‍රජාවට උද්ගතව ඇති මෙම ප්‍රශ්නය බීබීසී සිංහල අපි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත යොමු කළෙමු.

එහිදී ඔහු පැවසුවේ, ඒ පිළිබඳව නැවත රටට වාහන ආනයනය කළ හැකි ද යන්න සොයා බැලීම සඳහා පත් කර ඇති විශේෂ කමිටුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ය.

ඒ අනුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් එම කමිටුවේ අදහස් විමසීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ය.

එහිදී සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබිණි.

එවැනි පසුබිමක රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් සතියේ ජාතික පුවත් පතක් වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, වාහන ආනයනය කිරීම සඳහා පත්කර ඇති කමිටු නිර්දේශය මත රටට අත්‍යවශ්‍ය වාහන අනුපිළිවෙළක් සකසා ගෙන්වීම කෙරෙහි ඉදිරියේදී බලාපොරොත්තු තබා ගත හැකි බව ය.