වාහනයක් මොඩිෆයි කරනවා කියන්නේ මොකක් ද? ලංකාවේ කරන්න පුළුවන් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තාරක සම්මාන්
- Role, BBC සිංහල
මෝටර් රථ හෝ යතුරුපැදි 'මොඩිෆයි' කිරීම යන්න වාහනවලට ඇලුම් කරන, නොකරන දෙපාර්ශවයට ම එතරම් නුපුරුදු මාතෘකාවක් නොවේ.
නමුත් ඒ පිළිබඳව මෑතකදී වඩා ත් කතාබහට ලක් වූයේ, නව රජය ක්‍රියාත්මක කළ 'Clean Sri Lanka' ව්‍යාපෘතියත් සමග ය.
එම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, මහා මාර්ගවල ධාවනය කිරීමට "නුසුදුසු ලෙස නවීකරණය කර තිබුණු" මෝටර් වාහනවල, විශේෂයෙන් ම බස් රථ සහ ත්‍රිරෝද රථවල සවිකර තිබුණු අමතර කොටස් ආදිය ගලවා ඉවත් කර අයුරු මාධ්‍ය තුළ මෙන් ම සමාජ මාධ්‍ය තුළ ද පසුගිය දා නිරන්තරයෙන් දක්නට ලැබිණි.
ඇතැමෙකු ඊට පක්ෂව ප්‍රතිචාර දක්වා තිබුණු අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කරන ආකාරය සමාජ මාධ්‍යවල පළ වුණු පෝස්ට් සහ කමෙන්ට් මගින් නිරීක්ෂණය විය.
"තොරොම්බල් එල්ලන එක ද මොඩිෆයි කරනවා කියන්නේ?" මේ පසුගිය දා සමාජ මාධ්‍යවල පළවූ කමෙන්ටුවකි.
"බස් සංස්කෘතිය" සහ "ත්‍රීවීල් සංස්කෘතිය" ලෙස තවත් පිරිසක් විසින් හුවා දක්වනු ලබන 'වාහනයක් මොඩිෆයි' කිරීම බස් සහ ත්‍රිරෝද රථ සඳහා පමණක් සීමා වූවක් නොවෙයි.
සෙසු මෝටර් වාහන ද එවැනි නවීකරණයන්ට භාජනය කර ඇති අයුරු අපි මෙරට පමණක් නොව, ලොව අනෙක් රටවල ද දැක ඇත්තෙමු.
මෙම ලිපියේ අරමුණ, මෝටර් වාහන 'මොඩිෆයි' කිරීම පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දීම සහ ශ්‍රී ලංකාව තුළ ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව විමසා බැලීම යි.
සරලව වාහනයක් මොඩිෆයි කිරීම, නැතිනම් වෙනස් කිරීම යනු, මෝටර් රථයක හෝ යතුරු පැදියක මුල් පෙනුම හෝ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම සඳහා කරන ලද වෙනස්කම් ය.
නමුත් ඒ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි, මෝටර් වාහන නවීකරණය කිරීම සම්බන්ධයෙන් දැනුම ඇති අයෙකු සොයා ගියෙමු.
මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව සහ මෝටර් රථ අංශය යන දෙකෙහි ම පසුබිමක් ඇති ව්‍යවසායකයෙකු වන 28 හැවිරිදි ජීවන් සචින්ත රත්නායක අපට හමුවන්නේ ඒ අනුව ය.
ඔහු මේ සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ඔහු සතුව එලෙස මොඩිෆයි කරන ලද කිහිපයක් ම තිබේ. ඒ අතර, Toyota GT86, Subaru GC8, Nissan March, BMW E36 Coupe, BMW E30 2JZ සහ Ford Cortina GT 2.0 වාහන කැපී පෙනේ.
වාහනයක් මොඩිෆයි කරනවා කියලා කියන්නේ මොකක් ද? කරන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Jeewan Sachintha Rathnayake | Facebook
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පෙර සඳහන් කළ සරල නිර්වචනයට එකඟ වෙමින් ජීවන් පැවසුවේ, වාහනක් 'මොඩිෆයි' කිරීම යනු, එහි මුල් ආකෘතියේ බාහිරින් (exterior), අභ්‍යන්තරව (interior) හෝ එහි ක්‍රියාකාරිත්වයේ (performance) සිදු කරන වෙනස්කමක් බව ය.
ඉන් පළමු වැන්න, වාහනයක බාහිරින් "ෆ්‍රන්ට් බම්පර්ස්, රියර් බම්පර්ස්, බොඩි කිට්, ටින්ට් එකක් එකතු කරලා, එළියේ යන මිනිස්සුන්ගේ ඉම්ප්‍රෙෂන් එක වෙනස් කරන්න," මොඩිෆිකේෂන් කළ හැකි බව ඔහු පැහැදිලි කළේ ය.
ඊට අමතරව වාහනයක ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම සඳහා එන්ජිම ද මොඩිෆයි කළ හැකි බව ඔහු පැවසීය.
"ඔයාට කෝල්ඩ් එයාර් ඉන්ටේක් එකක් හයි කරන්න පුළුවන්. ECU එකක් වෙන ම ප්ලග් කරලා එයා ෆුවල් රේෂියෝ ටියුන් කරන්න පුළුවන්. ලංකාවේ ලොකුවට ප්‍රසිද්ධයි, Evo, Subaru, Starlet, GT ඔය turbo කාර් ටියුන් කරන එක සෑහෙන ලංකාවේ තියෙනවා," යනුවෙන් ඔහු උදාහරණ සහිතව වාහනයක එන්ජින් මොඩිෆිකේෂන් එකක් සිදුවන ආකාරය පැහැදිලි කළේ ය.
ඒ සඳහා, මහා මාර්ගයේ ධාවනය කිරීමකින් තොරව වාහනයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය ඩයිනමෝමීටර / ඩයිනෝ (dynamometer) තාක්ෂණික පහසුකම් සපයන ආයතන ද මෙරට පවතින බව ඔහු පැවසීය.
තව ද වාහනයක අභ්‍යන්තරයේ එනම්, ඉන්ටීරිය (interior) මොඩිෆිකේෂන් සිදු කළ හැකි බව ජීවන් පෙන්වා දුන්නේ ය.
"ඒ කියන්නේ කොක්පිට් එක තියෙනවානේ. අපි ඇතුළට නැග්ගා ම පේන ටික. ඒකෙ මොඩිෆිකේෂන් කරන්නත් පුළුවන්. ලංකාවෙත් කරනවා. තමන්ගේ ටේස්ට් එකට හරි යන විදිහට ඉන්ටීරියර් වෙනස් කර ගන්න එක."
ඔහු සඳහන් කළේ, හිතුමනාපයේ වාහනයක් තුළ වෙනස්කම් සිදු කිරීම, "තොරොම්බල් එල්ලන එක" නිවැරදි මොඩිෆිකේෂන් එකක් ලෙස සැලකිය නොහැකි බව ය.
"අපි හිතමු ඔයාට තියෙනවා කියලා හමර් එකක්. ෆැක්ටරි එකකින් ගත්ත බේසික් එකක් තියෙනවා. ඔයා එකකට වියදම් කළාට තව හමර් 8ක් 10ක් ලංකාවේ තියෙනවා නේ. ඔයා යුනික් නැහැ එතනදී. එතකොට මොඩිෆිකේෂන් එකක් අපි කරන්නේ, අපේ තියෙන ටේස්ට් එක එළියට පෙන්නන්න සහ අපි ඇයි අනිත් වාහනවලට වඩා වෙනස් වෙන්නේ කොහොම ද කියන එක පෙන්නන්න. මම හිතන්නේ මොඩිෆිකේෂන් එකක් කරන කෙනෙකුගේ මූලික අවශ්‍යතාව ඒක," ඔහු සඳහන් කළේ ය.
ඇතැම් වාහන වර්ග (මර්සිඩීස්, BMW වැනි වාහන) නවීකරණය කිරීම සඳහා ම වෙන් වුණු, අදාළ සමාගම් විසින් නිර්දේශ කරනු ලබන වෙනත් සමාගම් ද ඇති බව ඔහු අප හා පැවසීය.
වාහනයක් මොඩිෆයි කරද්දී මුහුණ දෙන අභියෝග මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Jeewan Sachintha Rathnayake | Facebook
ජීවන් බීබීසී සිංහල සමග සිදු කළ සංවාදයේදී පෙන්වා දුන්නේ, වාහනයක් මොඩිෆයි කිරීම යනු, මිල අධික විනෝදාංශයක් බව ය.
"BHP 200ක කාර් එකක් BHP 400ක් කරනවා කියන්නේ, අඩු ම මිලියන 5ක් 6ක් යන වැඩක්. ඔරිජිනල් ලෙදර්වලින් හරියට ඉන්ටීරියර් මොඩිෆයි කරන්නත් ලක්ෂ 10කට වඩා යනවා. එහෙම වියදම් කරලා ආයෙත් පාරට ගෙනාවට පස්සේ, ගලවන්න කියද්දී, ඒ මනුස්සයා මාර ම විදිහට හිර වෙනවා," ඔහු පැවසීය.
ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩා මාදිලියකට අයත් වාහනයක් එහි මුල් ආකෘතියෙන් ම මාර්ගවල ධාවනය කිරීමේදී පවා පොලිස් නිලධාරීන්ගෙන් ගැටලු එල්ල වන බව ද ඔහු සඳහන් කළේ ය.
ඉහළ මට්ටමේ නිලධාරීන්ට මේ පිළිබඳව යම් අවබෝධයක් තිබුණ ද පහළ මට්ටමට පැමිණේමේදී එම නිලධාරීන් නිසි දැනුවත්භාවයකින් තොර වීම මෙම ගැටලුවට හේතුව බව ජීවන් පැහැදිලි කළේ ය.
ජීවන් මෝටර් වාහනවලට ආසක්ත වීම ඇරඹෙන්නේ වයස 16දී පමණ ය.
ඒ හේතුවෙන් ඔහු එක් කාලයකදී පූර්ණ කාලීනව තමා යෙදුණු රැකියාවෙන් ඉවත් වී, මෝටර් වාහන සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කළ බව ඔහු අප සමග පැවසීය.
"මටත් අවුරුදු 16 විතර ඉඳන් මේ කාර් උණ තියෙන්නේ. එතකොට අපිට ඩ්‍රග්ස්වලට, ඇල්කොහොල්වලට, පාටිවලට යන්න සල්ලි නැහැ. මොකද සල්ලි කාර්වලට දාලා ඉවරයි."
ඔහු පවසන්නේ, මෝටර් වාහන නවීකරණය කිරීමේ සංස්කෘතිය මෙරට තුළ ඉහළ තත්ත්වයක පවතින නමුත් ඒ සඳහා බලධාරීන්ගෙන් සහය හිමි විය යුතු බව යි.
"ඒ කමියුනිටි එකට හැදෙන්න සපෝට් එක දෙන්න ඕනේ. සපෝට් එක නැතත් ක්ලියරන්ස් එක දෙන්න ඕනේ. මම කියන්න නැහැ, ඕනෑවට වඩා බුරුල දෙන්න ඕනේ කියලා. එහෙම වුණා ම මිනිස්සුන්ට එපා වෙන ලෙවල් එකකට එනවනේ. එහෙම නැතුව, එක ග්‍රවුන්ඩ් එකක් හදන්න ඕනේ, මේක තමයි හරි විදිහ වාහනයක් හදන්න," ජීවන් පැහැදිලි කළේ ය.
ඇතැම් මාධ්‍ය ඔස්සේ ද වාහන නවීකරණය කිරීම පිළිබඳ වැරදි මත සමාජගත වන බව ඔහු පැවසීය.
"ගොඩක් මාධ්‍ය වාහන ගෙනල්ල පෙන්නනවා. ඒ උණාට හරියට අදහසක් ගන්න බැහැ, මේක ද හරි විදිහ මේක කරන්න කියලා. එහෙම වුණා ම මිනිස්සු ඒක ඔළුවට දාගන්නවා මේක තමයි ස්ටෑන්ඩර්ඩ් එක කියලා. කොහෙවත් නැති කෑලි බෑලි එල්ලපු වාහන ටිකක් පෙන්නුවා ම, ඕක බලන පොඩි ම ළමයා තේරුම් ගන්නවා, මේක තමයි විදිහ කියලා. මමත් කවදා හරි මෙතනට තමයි එන්න ඕනේ කියලා. එතකොට තමයි ඔය පාරේ පිස්සු නටන්නේ. එතකොට වෙන්නේ, හරියට හදන මනුස්සයටත් එපා වෙලා පැත්තකට වෙනවා."
'අපිට තියෙන්නේ බස් නෙවෙයි, ලොරි චැසි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෝටර් වාහන නවීකරණය කිරීමට ප්‍රමිතීන් හඳුන්වා දෙන අතර ම පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන [බස් රථ] සම්බන්ධයෙන් මේ සඳහා යම් නීතියමය රාමුවක් පැවතිය යුතු බව ජීවන් පැවසීය.
මහ ජනතාවට කරදරයක් නොවන ලෙස ඒවා පවත්වාගෙන යා යුතු බව ඔහු සඳහන් කළේ ය.
නමුත් විනෝද චාරිකා සඳහා යොදා ගන්නා වාහන සඳහා ඇතුළත ගමන් ගන්නා මගීන්ට සහ මහා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට කරදරයක්, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස නවීකරණය කිරීමේ කටයුතු සඳහා ඉඩ ලබා දිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
"ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල්වලත් ඔය වගේ තියෙනවා. ත්‍රීවීල් පවා එහෙම හදලා තියෙනවා. ඒක වෙන ම කල්ට් එකක්. ඒක වැරදියි කියන්නත් බැහැ. එතකොට පොදු ප්‍රවාහනය නෙවෙයි නම්, යම් දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෙනෙක් සල්ලි දීලා ඒක හයර් කරන්නේ, ඒ අයට ඒ වින්දනය ගන්න ඕනේ නිසා නේ. ඩ්‍රයිවර්ට ඒකෙන් බාධාවක් නැත්නම්, මට හිතෙනවා ඒ මොඩිෆිකේෂන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීති නොතකලා ධාවනය කරන එක, හෝන් ගහන එක, ඒවා වැරදියි, ඒවා ගැන තිතට බලන් ඕනේ," ජීවන් තවදුරටත් පැවසීය.
"ඇත්තට ම බස් නෙවෙයි නේ අපිට තියෙන්නේ. ලංකාවට එන්නේ ලොරි චැසි නේ. ඒක වටේට තහඩු ටිකක් ගහලනේ අපි බස් එකක් හදා ගන්නේ," යැයි සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ, එවැනි ආකාරයකින් නොව පොදු ප්‍රවාහනය සඳහා ජපානයේ, එක්සත් රාජධානියේ මෙන් මගී ප්‍රවාහනය සඳහා සුදුසු බස් රථ යොදා එම කටයුතු සිදු කළ යුතු බව ය.
ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය මොකක් ද?
2009 අංක 8 දරන මෝටර් වාහන (සංශෝධන) පනත අනුව;
කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ඇතිව මිස, කිසි ම තැනැත්තකු ශ්‍රී ලංකාවේ මෝටර් වාහනයක් සකස් කිරීම, නිෂ්පාදනය කිරීම, එකලස් කිරීම, අලුතින් නිර්මාණය කිරීම, අනුවර්තනය කිරීම, විකරණය කිරීම හෝ එහි නිර්මාණය වෙනස් කිරීම නොකළ යුතු ය.
එමෙන් ම, නියමිත ආකෘති පත්‍රයෙහි වූ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේදී සහ නියමිත ගාස්තුව ගෙවීමේදී අනුමැතිය ලබා දීමට හෝ ලිඛිත දැන්වීමක් මගින් කොමසාරිස්
ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන නියම සහ කොන්දේසිවලට අනුකූලව ඉල්ලුම්කරු ක්‍රියා කිරීමට යටත්ව, අවස්ථාවෝචිත පරිදි මෝටර් වාහනයක් නිෂ්පාදනය කිරීමට, එකලස් කිරීමට, සකස් කිරීමට, අලුතින් නිර්මාණය කිරීමට, අනුවර්තනය කිරීමට, විකිරණය කිරීමට හෝ එහි නිර්මාණය වෙනස් කිරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් එම ඉල්ලුම්කරුට අනුමැතිය ලබා දිය හැකි ය.
එමෙන් ම (2) වන උපවගන්තිය යටතේ නිශ්චිතව දැක්වෙන යම් නියමයකට හෝ කොන්දේසියකට අනුකූලව ඉල්ලුම්කරු ක්‍රියාකර නොමැති බවට කොමසාරිස්
ජනරාල්වරයා සෑහීමකට පත් වන අවස්ථාවක, ඔහු විසින් (1) වන උපවගන්තියේ සඳහන් ලිඛිත අනුමැතිය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි ය. එම ප්‍රතික්ෂේප කිරීම ලිඛිත දැන්වීමක් මගින් ඉල්ලුම්කරුට දෙනු ලැබිය යුතු ය.
කෙසේ වෙතත් ඒ සඳහා අභියාචනය කිරීමේ අවස්ථාව මෙම මෙම පනත මගින් ඉල්ලුම්කරුට ලබා දී තිබේ.
එවැනි ව්‍යාපාර කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද එහි කරුණු සඳහන් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Department of Motor Traffic
'කොමසාරිස් ජනරාල්වරයාට බලයක් තියෙනවා අවශ්‍ය නම් මුදලක් අය කරලා වෙනස් කරන්න අවසර දෙන්න'
මෝටර් වාහනයක් මොඩිෆයි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති නීතිමය තත්ත්වය පිළිබඳව තවදුරටත් පැහැදලි කර ගැනීම සඳහා බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන් සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, යම් වාහනයක මුල් ආකෘතිය වෙනස් කර, මෙරට මහා මාර්ග තුළ ධාවනය කිරීම මෝටර් වාහන පනත අනුව කළ නොහැකි බව ය.
නමුත්, අවශ්‍ය නම් යම් මුදලක් අය කර මෝටර් වාහනයක වෙනස් කිරීම කිරීම සඳහා අවසර දීමට කොමසාරිස් ජනරාල්වරයා බලය ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
"ඔයාට ඔයාගේ වාහනේ පාට වෙනස් කරන්න ඕනේ. ඒකට අපි පරීක්ෂණයක් කරනවා. දැන් ලොරියක් කියන්නකෝ. පිට රටින් එනකොට ඒකේ හාෆ් බොඩි එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට ඒකේ බඩු තෙමෙන්නේ නැතුව අරගෙන යන්න ෆුල් බොඩි එකක් කර ගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක ඒවට අවසර දෙන්න පුළුවන්," සහකාර කොමසාරිස්වරයා පැහැදිලි කළේ ය.
මේ අතර, පොදු ප්‍රවාහන බස් රථ සහ විනෝද චාරිකා සඳහා යොදා ගනු ලබන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඉකුත් වසරේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
ඒ අනුව, එහි අදාළ බස් රථ ක්‍රියාත්මක කළ යුතු නිර්ණායක වෙන් වෙන් වශයෙන් සඳහන් කර ඇත.
අය කරන මුදල තීරණය වෙන්නේ කොහොම ද? අවසර ගන්නේ කොහොම ද?
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන පරීක්ෂණයකින් අනතුරුව යම් වාහනයක් වෙනස් කිරීම සඳහා ඔවුන් අවසර දෙන්නේ නම්, ඒ සඳහා අය කරන මුදල පිළිබඳව අපි ඔහුගෙන් විමසීමක් කළෙමු.
"අය කරන මුදල කොමසාරිස් ජනරාල්ට තීරණය කරන්න පුළුවන්. කොච්චර මුදලක් ගන්නවා ද කියලා. ඒක ට්‍රෙෂරි එකෙන් අනුමත කර ගන්න ඕනේ. මේකට 10,000ක් ගන්න, 5,000ක් ගන්න කියලා අපිට කියන්න බැහැ. මේකට මෙච්චර ගාණක් කියලා ට්‍රෙෂරි එකෙන් අනුමත කර ගන්න ඕනේ," ඔහු පැහැදිලි කළේ ය.
සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන් අවධාරණය කළේ, යම් වාහනයක් වෙනස් කිරීමට පෙර එය අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳව වාහන හිමිකරුවාට අවබෝධයක් තිබිය යුතු බව ය.
"කරන්න ඕනේ දේවල්වලට අපි අවසර දෙනවා, කරන්නේ ඕනේ නැති දේවල්වලට අපි අවසර දෙන්නේ නැහැ," ඔහු පැවසීය.
නමුත් ක්‍රීඩාවක් ලෙස ගත් කල, වාහනවල ක්‍රියාකාරිත්වයේ (performance) වෙනස්කම් සිදු කර, මහා මාර්ගයේ ධාවනය කරන, ලියාපදිංචි කර ඇති මෝටර් වාහන ඇති බව ත් එය අවශ්‍යතාවක් බව ත් ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.
"ඒවා පාරෙත් පදිනවා, රේස්වලත් පදිනවා."
යම් අයෙකු එලෙස තම මෝටර් වාහනය මොඩිෆයි කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය සම්පූර්ණ කර ඉල්ලුම් කළ හැකි බව සුජීව තෙන්නකෝන් පෙන්වා දුන්නේ ය.
'අනවශ්‍ය' මොඩිෆිකේෂන් හරහා සිද්ධ වෙන්න පුළුවන් හානි මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
වාහන මොඩිෆයි කිරීමේදී ඇතිවන ඍණාත්මක ගැටලු පිළිබඳව ද බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන්ගෙන් විමසීමක් කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය.
"දැන් වාහනවලට හයි කරනවා, තියුණු කෑලි මොනවා හරි. ඒවා පදිකයෙකුගේ හැප්පුණොත්, ඒ පදිකයාට අනතුරක් වෙන්න පුළුවන්. එතකොට වාහනවලට හයි කරලා තියෙනවා, සුදු යකඩ ෆ්‍රේම් එක්ක ටෙලිවිෂන්. ඕවා ඔළුවල වැදිලා මිනිස්සුන්ට තුවාල වෙලා තියෙනවා. ත්‍රීවීල්වල පිටිපස්සේ හයි කරනවා, ඩ්‍රයිවර්ගේ සීට් එක පස්සේ සුදු යකඩ වැටවල්. ඒවා ගොඩක් හයියයි. ඒවල වැදිලා මිනිස්සු මැරිලත් තියෙනවා."
නමුත් මෙවැනි වෙනස් කිරීම් වෙනත් රටවල ද සිදු කරන බව ත් ශ්‍රී ලංකාවේ පමණක් ඒ සඳහා මෙවැනි සීමා කිරීම් සිදු කරන්නේ මන්දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.
"අනිත් රටවල කරනවා. නමුත් ඒ රටවල මේ වගේ අනතුරු වෙන්නේ නැහැනේ. අපි මේ හැමදේම කරන්නේ මේ රටේ වෙන අනතුරු හින්දා නේ. දවසකට හත් අට දෙනෙක් මැරෙනවා නේ හැමදා ම. අවුරුද්දකට දෙදාස් ගාණක් මැරෙනවා. ඒක අඩු කරන්න එපැයි," ඔහු පැහැදිලි කළේ ය.
ඇයි එක පාරට දැන් මේක කරන්නේ?
වත්මන් රජය බලයට පැමිණීමත් සමග ක්‍රියාවට නැංවුණු 'Clean Sri Lanka' ව්‍යාපෘතියත් සමග එකවර මෙලෙස මොඩිෆයි කර ඇති මෝටර් වාහන සම්බන්ධයෙන් පියවර ගන්නේ ද යන්න බොහෝ දෙනෙකු මතු කළ ප්‍රශ්නයකි.
නමුත් එය එකවර සිදුවුණු දෙයක් නොවන බව සුජීව තෙන්නකෝන් පැවසීය.
"මේක එක පාරට ආව දෙයක් නෙමෙයි. මේක හැමදාම තිබ්බ දෙයක්. අපි මෝටර් රථ පරීක්ෂකවරු විදිහට මේක හැමදා ම කරලා තියෙනවා. හැබැයි මහා පරිමාණයෙන් වෙන්න ගත්තා නේ එක පාරට ම. මේක අලුත් නීතියක් නෙවෙයි. තිබ්බ නීතියක්. මේක ක්‍රියාත්මක කරන්න ගියා ම තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ," ඔහු සඳහන් කළේ ය.
"අපි සමහර මොඩිෆිකේෂන්ස් කරන්න දීලා තියෙනවා නේ. දැන් මේකේ කර්මාන්තයක් හැදිලා තියෙනවානේ. කවුරුත් සද්ද නැතුව හිටියා මේවට. අපි මෝටර් රථ පරීක්ෂකවරුන් විදිහට ඕවට ඇක්ෂන් අරගෙන තියෙනවා. අපි පාරේ ගිහින් පරීක්ෂා කරනවා. පොලිසියත් එක්ක. මොඩිෆිකේෂන් එකක් තිබ්බොත් අපි තහනම් නියෝගයක් දෙනවා ගලවලා පෙන්නන්න කියලා. හැබැයි එතනින් එහාට මේක ව්‍යාප්ත වෙලා නැහැනේ. එතකොට මෙහෙම කරද්දී මිනිස්සු දකිනවා, මේක තමයි ක්‍රමය, මේක තමයි කරන්න ඕනේ. එක ත්‍රීවීල් එකක් පිම්බුවාම එක බලන් ඉඳලා අනිත් එක්කෙනත් පුම්බනවා. මේක අඩු කරන්නත් ඕනේ ඒ වගේ තමයි. එක පාර නවත්තන්න බැහැනේ ගලන ගඟ නවත්තනවා වගේ. ඒ නිසා ක්‍රමවේදයක් හැදුනාම මේක හරි යාවි", ඔහු වැඩිදුරටත් පැවසීය.
'නීතිරීති අප්ඩේට් වෙන්න ඕනේ'

ඡායාරූප මූලාශ්‍රය, Jeewan Sachintha Rathnayake | Facebook
ජීවන් පෙන්වා දුන්නේ, ඇතැම් ත්‍රිරෝද රථ, මගීන්ට හෝ පදිකයින්ට හානි නොවන ලෙස ආකර්ෂණීය අයුරින් වෙනස් කර ඇති ආකාරය තමා නිරීක්ෂණය කර ඇති බව ය. එවැනි වෙනස් කිරීම් සඳහා ඉඩ ලබා දිය යුතු බව ඔහු පැවසීය.
"මොඩිෆිකේෂන් ඉගෙන ගන්න අපිට ඇකඩමි එකක් දාන්න බැහැනේ. ඕක අපිට ට්‍රෙන්ඩ් එකක් තමයි හදන්න පුළුවන්. දැන් මිනිස්සුන්ට ඉන්ස්පිරේෂන් එකක් නැති ප්‍රශ්නේ නේ තියෙන්නේ. මේක තමයි ලස්සන. ඒක ඔළුවට දැම්මා නම් අනිත් ත්‍රීවීල් ටිකත් ඒක පස්සේ එනවා," ජීවන් පෙන්වා දුන්නේ ය.
ඔහු පැවසුවේ, මෝටර් වාහන මොඩිෆයි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීතිරීති කාලයට අනුරූපීව "අප්ඩේට්" විය යුතු බව ය.














