කොවිඩ් අභියෝග මැද ඉදිවූ මධ්‍යම අධිවේගී මාර්ගය

Kurunegala expressway

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/Facebook

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගය (ඇතුගල්පුර පිවිසුම) ජනවාරි 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

මෙම මාර්ග කොටස මෙරට අධිවේගී මාර්ග ඉතිහාසයේ අභියෝග රැසක් මත ඉදිවූ අධිවේගී මාර්ගය ලෙස සැලකෙයි. දේශීය කොන්ත්‍රාත්කරුවන්, දේශීය ඉංජිනේරුවන්, දේශීය උපදේශකවරුන්, හා දේශීය බැංකුවලින් ලබාගත් ණය භාවිතයෙන් මෙම මාර්ගය ඉදිකිරීම ද විශේෂත්වයකි.

අභියෝග මැද ඉදිවූ මාර්ගය

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මෙහි ඉදිකිරීම් ඇරඹුණේ 2017 වසරේ පෙබරවාරි මාසයේ දී ය. මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.29ක කොටසේ ඉදිකිරීම් දේශීය සමාගම් 15ක් විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම දෙවන අදියර වන "ඇතුගල්පුර පිවිසුම" මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු පහකින් සමන්විත ය.

මාර්ග සංවර්ධන අධිකරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් පවසා සිටියේ මාර්ගය ඉදිකිරීමේ දී කොවිඩ් වසංගතය ප්‍රධාන අභියෝගයක් වූ බව යි.

"අපිට ලේබරර්ස්ලා ගෙන්වන්න බැරි ප්‍රශ්න ආවා. ලේබරර්ස්ලාට කොවිඩ් හැදුනා. අමුද්‍රව්‍ය ප්‍රශ්න ආවා, ඒවායේ ගණන් වැඩි වුණා. ලොකු වැස්ස ආවා, ගංවතුර ආවා," ඔහු මතකය අවධි කරමින් සඳහන් කළේ ය.

"ප්‍රධාන වශයෙන්ම ආවේ කොවිඩ්. හැම ලේබරර්කෙනෙක්ම හුදෙකලා කරලා තියන්න වුණා. කෑම්ප් ගහගන්න දුන්නා කොන්ත්‍රාත්කරුවන්ට. ඒගොල්ලෝ වෙනම කෑම්ප් ගහගත්තා. එළියෙන් කවුරුත් ගෙන්නුවේ නැහැ ලේබර් කෑම්ප්ස්වලට. ප්‍රශ්න ගොඩකට මුහුණ පෑව."

"කොව්ඩ් නිසා ප්‍රමාද වුණොත් අපි ගෙවන්න ඕනේ කොන්ත්‍රාත්කරුවන්ට. දිනක් වැඩි කරන්න බැරිවුණොත් අපි මිලියන ගානක් ගෙවන්න ඕනේ ඒ අයට වෙන පාඩුවට," ඔහු සඳහන් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගයේ ඉදිකිරීම් සඳහා වියදම රුපියල් බිලියන 137කි. ඉඩම් අත්පත්කර ගැනීම, උපදේශන සමාගම් සඳහා ගෙවීම්, පාරිසරික හේතු මත ගෙවීම් ද ඇතුළුව සමස්ත වියදම රුපියල් බිලියන 149කි.

මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, "බාධක මැද්දේ තමයි මේ මාර්ගය අවසන් කළේ. මේක හදලා ඉවරවුණාම කුරුණෑගල සිට මත්තල දක්වා යන්න පුළුවන්," යනුවෙනි.

"මම අවුරුදු පහක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු තුන තුළ කරනවා කරනවාම යි," ඔහු ශපත කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගය

මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් ඉදිවීමෙන් පසු, හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගය හරහා පැය හතරකට අඩු කාලයකින් මහනුවරට යා හැකි වේ.

කඩවත සිට දඹුල්ල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සිදුකිරීමට නියමිතව තිබෙන්නේ අදියර හතරක් යටතේ ය.

කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක් - ඉදිකිරීම් ආරම්භකර ඇත

මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.29ක් - ඉදිකිරීම් අවසන්

පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක් - ඉදිකිරීම් ආරම්භකර ඇත

කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක් - ඉදිකිරීම් ආරම්භකර නොමැත

කඳු සහිත අධිවේගී මාර්ගයක් වන පොතුහැර සිට ගලගෙදර කොටසේ බිංගෙවල් ඇතුළු, කොන්ක්‍රිට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටසක් ද ඇතුළත්වීමට නියමිත ය.

ඒ සඳහා කොන්ත්‍රාත්කරුවෝ 15 දෙනෙකු දායකත්වය සපයති. එය මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර යි. මාර්ගය ඉදිකෙරෙන්නේ රඹුක්කන හරහා යි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන්නේ, කඩවත සිට මීරිගම දක්වා කොටස යි. එහි ඉදිකිරීම් ද 20% ක් මේ වන විට අවසන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර වන මහනුවර දක්වා දිවෙන, පොතුහැර - ගලගෙදර මාර්ගයේ ඉදිකිරීම් ද මේ වන විට ආරම්භ කර තිබේ.

Kurunegala expressway opening

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිවේගී මාර්ගයේ දෙවන අදියර විවෘත කරමින්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින තුන තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටසේ වාහන පනස් දහසක් (50,000) ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ සියයක (ලක්ෂ 100) ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යංශය පැවසිය.

පසුගිය සෙනසුරාදා (ජනවාරි 15) දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

ඉරිදා (ජනවාරි 16) දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි. ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා (ජනවාරි 17) මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039 ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර එය මෙම දින තුන තුළ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව වේ. එදින රු 4,865,500.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍යංශය පැවසිය.

මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.

පොදු ප්‍රවාහන සේවා ජනවාරි 20 දා සිට

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා ජනවාරි 20 වැනිදා සිට ආරම්භ කර ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා පැවසුවේ, ඒ අනුව කොළඹ - මහනුවර, සහ කොළඹ - කුරුණෑගල අතර බස් සේවා ආරම්භ වන බව ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල සහ යග්ගපිටිය දක්වා ගමන් කිරීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, සැහැල්ලු සහ ද්විත්ව කාර්ය වාහන සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 250කි.

බස් රථ ඇතුළු රෝද හයකින් සමන්විත වාහන සඳහා මීරිගම සිට කුරුණෑගල සහ යග්ගපිටිය හුවමාරු මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 350ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

ඇක්සල දෙකකට වඩා වැඩි වාහන සඳහා මීරිගම සිට කුරුණෑගල සහ යග්ගපිටිය හුවමාරු මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 550කි.

අන්තර් හුවමාරු 2ක් අතර අවම ගාස්තුව රුපියල් 100කි.

දක්ෂිණ අධිවේගී මාර්ගය E01

කොළඹ-මාතර අධිවේගී මාර්ගය, එනම් 'දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය' හෙවත් දක්ෂිණ අධිවේගී මඟ ශ්‍රී ලංකාව තුළ ඉදිවූ පළමු E වර්ගයේ මාර්ගය යි.

දිග126kmක් වන මාර්ගය කොළඹ සහ දිවයිනේ දකුණේ ප්‍රධානතම නගරයක් වන මාතර සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ගයේ ඉදිකිරීම් 2006 වසරේ දී අරඹනු ලැබුණි.

මාර්ගයේ පළමු අදියර ලෙස කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස 2011 නොවැම්බර් 27 දිනත්, දෙවන අදියර ලෙස ඉදිකළ පින්නදූව සිට ගොඩගම දක්වා වූ කොටස 2014 මාර්තු 15 වන දිනත් ජනතා අයිතියට පත් කෙරිණ.

සාමාන්‍ය මාර්ග භාවිතයෙන් කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට පැය 4ක් පමණ ගතවූවත්, අධිවේගී මාර්ගය භාවිතයෙන් එම දුර පැය 2කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකියාව පවතියි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන කොටසේ, මාතර සිට බරවාකුඹුක දක්වා ඇති කිලෝමීටර් 56කින් යුතු මාර්ග කොටස 2020.02.23 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විවෘත වී ජනතා අයිතියට පත් කිරීමත් සමග, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 222ක් බවට පත්විය.

ඒ අනුව අඩු කාලයකින් කොළඹ සිට කතරගම දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය - අදියර IV

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටසේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් අවසන් වෙමින් පවතියි.

මෙහි පළමු අදියර මාතර සිට බෙලිඅත්ත දක්වා දිග කි.මී. 30ක් වන අතර, දෙවන අදියර බෙලිඅත්ත සිට වැටිය දක්වා දිග කි.මී. 26ක් කි. තෙවැනි අදියර වැටිය සිට අන්දරවැව දක්වා දිග කි.මී. 15ක් ද, සිව්වන අදියර අන්දරවැව සිට මත්තල හරහා හම්බන්තොට දක්වා දිග කි.මී. 25ක් ද වේ.

මෙම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ඉතා කෙටි කාලයක් තුළ නිම කිරීමට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කටයුතු කරමින් සිටියි.

අන්දරවැව අන්තර් හුවමාරුව මෙම අදියරෙහි ඇති එකම අන්තර් හුවමාරුව යි. පිටවීම් මාර්ග පහකින් හා ඇතුළුවීමේ මාර්ග තුනකින් යුක්තව මත්තල හා හම්බන්තොට අධිවේගී මාර්ගය අවසානයේ මුදල් අය කිරීමේ කවුළු දෙකක් පිහිටා ඇත.

චීන එක්සිම් බැංකුව විසින් මෙම ව්‍යාපෘතියට ආධාර සපයන ලදී.

පිටත වටරවුම් අධිවේගී මාර්ගය - අදියර III

Expressway map

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Highways

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිවේගී මාර්ග සිතියම

පිටත වටරවුම් අධිවේගී මාර්ගය, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කෙරෙන ප්‍රවේශ මාර්ගය යි. එයට කොළඹ නගරයේ ඇති සෙසු අධිවේගී මාර්ග ද සම්බන්ධ වේ.

පිටත වටරවුම් අධිවේගි මාර්ගය කොට්ටාවේ මාකුඹුරින් ආරම්භ වී දක්ෂිණ අධිවේගි මාර්ගය හා සම්බන්ධ වන අතර, මහරගම, කඩුවෙල, බියගම, මහර, හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හරහා විහිදෙයි. මෙය කොළඹ-කටුනායක අධිවේගි මාර්ගය හා සම්බන්ධ වෙමින් වත්තල කෙරවලපිටියෙන් අවසන් වෙයි.

පිටත වටරවුම් අධිවේගි මාර්ගයේ සම්පූර්ණ දිග කි.මී. 29.5ක් වන අතර එය මංතීරු හතරකින් යුක්ත ය.

රුවන්පුර අධිවේගී මාර්ගය - E05

කොළඹ - රත්නපුර එක් කෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර් 73.9ක් දිගට, කොටස් හතරකින් ඉදිකිරීමට යෝජිත ය.

පළමු කොටස කහතුඩුවේ සිට ඉංගිරිය දක්‌වා ඉදිකෙරෙන අතර එහි මුළු දුර කිලෝමීටර 26.3කි. දෙවන අදියර ඉංගිරියේ සිට රත්නපුරට ඉදිකෙරෙන අතර එහි දුර කිලෝමීටර 26.2කි. තුන්වන අදියර රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්‌වා ඉදිකෙරෙන අතර එහි දුර කිලෝමීටර 21.4කි. මෙහි ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.

2024 වර්ෂයේ මැද භාගයේ දී මෙම මාර්ග බොහෝමයක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

අධිවේගී මාර්ග සියල්ල සම්බන්ධ වෙන්නේ කොහොමද?

මාර්ග සංවර්ධන අධිකාරියට අනුව මෙම අධිවේගී මාර්ග ජාලය සම්පූර්ණ ලෙස ඉදිකිරීමෙන් පසු එකිනෙකට සම්බන්ධ වනු ඇති.

ඒ අනුව, හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන පුද්ගලයෙකුට මත්තල, මාතර, ගාල්ල හරහා කහතුඩුවට පිවිසිය හැකි ය. කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය භාවිතකර රත්නපුර හෝ පැල්මඬුල්ල වෙත ගමන් ගැනීමට අවශ්‍ය නම් හැකියාව ඇත.

එසේ නොමැති නම් කොට්ටාව දක්වා පැමිණ, පිටත වටරවුම් මාර්ගය ඔස්සේ කඩවතට පැමිණ, එතැනින් මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිස, දඹුල්ල දක්වා හෝ කුරුණෑගල - ගලගෙදර අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර දක්වා ගමන් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේ නොමැති නම් හම්බන්තොට සිට පැමිණෙන වාහනයකට කඩවත සිට පෑලියගොඩ හරහා ජා-ඇල, කටුනායක හරහා මීගමුව දක්වා ගමන් ගැනීමට ද හැකි ය. නැතහොත් කඩවත සිට කෙරවලපිටිය දක්වා ගමන් ගැනීමට ද අවස්ථාව තිබේ.

පෑලියගොඩ නව කැලණි පාලම ආශ්‍රිතව ද නව මාර්ග දෙකක් ඉදිවන අතර, එක් මාර්ගයක් වරාය පිවිසුම් මාර්ගය ලෙස කුළුණු මතින් ඉදිවෙයි. අනෙක් මාර්ගය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිකෙරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. දැනටමත් මෙම මාර්ගවල ඉදිකිරීම් ආරම්භ වී ඇත.

ඒ අනුව අධිවේගී මාර්ග ජාලය සම්පූර්ණයෙන් ඉදිකිරීමෙන් පසු රථවාහන තදබදයකින් තොරව එකිනෙකට සම්බන්ධ මාර්ග ජාලයක් ඔස්සේ තම ගමනාන්තය වෙත රිසි ලෙස ගමන් කිරීමට ජනතාවට අවකාශ ලැබෙනු ඇතැ යි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.