ඉදිරියේදී අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන වෙනස්කම් මොනවා ද?

Central Highway

ඡායාරූප මූලාශ්‍රය, Maga Engineering (Pvt) Ltd

    • Author, බීබීසී සිංහල

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 17) පැවැත්විණි.

ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවා තිබිණි.

ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කලේ ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවය.

ඉදිරියේ දී අධිවේගී මාර්ගවල සිදුවන වෙනස්කම් මොනවා ද?

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ 2028 වසරේ අප්‍රේල් මාසය වන විට එහි ඉදිකිරීමේ කටයුතු සම්පුර්ණ කිරීමට හැකිවනු ඇති බවය.

"කඩවත මේ ඉන්ටර් චේන්ජ් එක මීරිගම හරහා යන මාර්ගයට සම්බන්ධ කරනවා. ඒක ටිකක් සංකීර්ණ ඉදිකිරීමක්. ඒ ඉදිකිරීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසය වෙද්දී ඉදිකරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.''

''ඒ වගේම අද දිනයේදී අපි ආරම්භ කරනවා කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක් වන ව්‍යාපෘතිය. ඒකට මාස 32ක් වගේ කාලයක් යනවා කියලා කියනවා. අපි ගණන් හදලා බැලුවට පස්සේ 2028 සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනකොට සම්පුර්ණ කරන්න. අපි බලාපොරොත්තු වෙනවා චීන සමාගම මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු නිසි පරිදි වගකීමෙන් නිසි කලට සිදුකරයි කියලා. ඒ සඳහා අපේ සහයෝගය ලබා දෙනවා.''

''2028 කඩවත - මීරිගම කොටස සම්පුර්ණ කරද්දී ඊට කලින් පොතුහැර ඉදලා රඹුක්කන දක්වා මාර්ගය. සරලව ගත්තොත් ඉදිරියේදී ලංකාව අධිවේගී මාර්ගය 2028 වෙද්දී රඹුක්කන දක්වා සම්පුර්ණ කරන්න. ඒකට සමගාමීව රඹුක්කන ප්‍රදේශයේ අනෙකුත් මාර්ගත් වැඩිදියුණු කරනවා මොකද වාහන එතන ගිහින් හිර වෙන එක නතර කරන්න.''

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

''ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට රඹුක්කන ඉදලා ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පටන් ගන්න අනුමැතිය ලැබෙයි කියලා. ඒ වෙද්දී RDA එක සියලු සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ වගේම වරාය පිවිසුම් මාර්ගය තියෙනවා. ඒක සීයයට 98ක් සම්පුර්ණ කරලා තියෙනවා. තවත් සීයයට දෙකක් ඉතුරු වෙලා තියෙනවා. සෑහෙන ගැටළු නිසා ඒ කටයුත්ත අවසන් කර ගන්න බැරි වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ මැද වෙන කොට ඒ කොටස සම්පුර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.''

''ඒ වගේම ජනාධිපතිතුමා සමග සිදුකළ සාකච්ඡාවෙන් පස්සේ රුවන්පුර අධ්වේගී මාර්ගය ඉංගිරිය දක්වා ඉදිකිරීම් කටයුතුවල මූලිකව කටයුතු ආරම්භ කරමින් සිටිනවා. ඉංගිරියේ ඉදලා රත්නපුරය දක්වා මාර්ගය පුළුල් කරන්න පියවර ගන්නවා.''

''ලංකාවේ දිගම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. RDA නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්න කියලා. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ උඩුකාවා ප්‍රදේශයේ සේවා පහසුකමක් ඉදිකරන්න.''

''කටුනායක අධිවේගී මාර්ගයේ යන කෙනෙකුට කෙලින්ම මාතරින් ටිකට් එකට මුදල් ගෙවන්න පුළුවන් විදිහට කෙරවලපිටිය ස්ථානයේ තියෙන තත්ත්වයේ වෙනසක් කරන්න. ඒකට සොෆ්ට්වෙයාර් එකකුත් යොදාගෙන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා." අමාත්‍යවරයා පැවසුවේය.

ප්‍රධාන කොටස් 4කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු විවිධ හේතු මත කිහිප වරක් ම ඇණහිට තිබූ අතර මේ හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට වන්දි ගෙවීමට ද රජයට සිදුවිය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගය (ඇතුගල්පුර පිවිසුම) 2022 ජනවාරි 15 වැනි දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම මාර්ග කොටස මෙරට අධිවේගී මාර්ග ඉතිහාසයේ අභියෝග රැසක් මත ඉදිවූ අධිවේගී මාර්ගය ලෙස සැලකෙයි. ඒ අතුරින් ප්‍රධාන වන්නේ කොවිඩ් වසංගතයයි.

දේශීය කොන්ත්‍රාත්කරුවන්, දේශීය ඉංජිනේරුවන්, දේශීය උපදේශකවරුන්ගේ සහයෙන් හා දේශීය බැංකුවලින් ලබාගත් ණය භාවිතයෙන් මෙම මාර්ග කොටස ඉදි කෙරිණි.

ඉදිකිරීම් ආරම්භ කර වසර 8කට ආසන්න කාලයක් ගත වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වනු ඇතැයි, වත්මන් රජය විශ්වාසය පළ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Transport and Highways

මෙම මාර්ගය සම්පූර්ණයෙන් ම ඉදිකිරීමෙන් පසු හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පැය 4කට අඩු කාලයකින් මහනුවරට යාමට හැකිවේ.

කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක්, මීරිගම සිට කුරුණෑගල දකවා කිලෝමීටර් 39.29ක්, පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක්, සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3කින් මෙම මාර්ගය සමන්විත වේ.

මේ වන විට වැඩ නිමවා ජනතාවට විවෘත වී ඇත්තේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පමණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය මෙන් ම මෙම මාර්ගය සම්පූර්ණයෙන් අවසන් කර ජනතාවට අතට පත් කිරීම පිළිබඳව වත්මන් රජයේ සැලසුම ගැන ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Transport and Highways

ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 158.385ක වැය බරක් යනු ඇතැයි ගණන් බලා තිබේ

කඩවත - මීරිගම කොටස ඉදිකිරීම අර්බුදයට ලක්ව ඇත්තේ ඇයි?

මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටස බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"අපි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ 2015 අගෝස්තු 4 වැනි දා. දැන් අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා තව ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා."

සම්පූර්ණ අධිවේගී මාර්ගය ම අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 158.385 වැය බරක් යනු ඇතැයි ගණන් බලා තිබේ.

වසර 10ක් තිස්සේ මෙම වැඩකටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරි වසර 4ක කාලයේදී මෙය අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 360කට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇති බවට ගණන් බලා ඇතැයි ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කඩවත - මීරිගම කොටස චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය වැනි කරුණු නිසා ඉදිකිරිම් නතර කිරීමට සිදුවීම හේතුවෙන් බැංකු පොළිය සහ සමාගම් වන්දිය ලෙස රුපියල් බිලියන 46ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි අමාත්‍ය බිමිල් රත්නායක මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේය.

කෙසේ වෙතත් චීන එක්සිම් බැංකුව සහ ඉදිකිරීම් භාර චීන සමාගම සමග සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට හෝ ගිවිසුම අලුත් කර නැවත වැඩ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Transport and Highways

ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති කොටස වන්නේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ය

අදියර දෙකකින් ඉදිවන පොතුහැර - ගලගෙදර කොටස

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන කොටස අදියර දෙකකින් ක්‍රියාත්මක වේ.

"පොතුහැර ඉඳලා රඹුක්කන කෑල්ල ලබන අවුරුද්දේ අවසන් වෙනකොට වැඩ අවසන් කරනවා. ඒක එතනින් නවත්තලා වැඩක් නැහැ රඹුක්කන ඉඳලා ගලගෙදර කෑල්ල හැදෙන්න ඕනේ. ඒ කෑල්ලේ ඉඩම් අත්පත් කර ගැනීම සම්පූර්ණයෙන් ම අවසන්, අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක, තුන ඇතුළත ටෙන්ඩර් කැඳවන්න," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ සමග ම මාර්ග පුළුල් කිරීමක් සහ අතුරු මාර්ග අලුතින් ඉදිවිය යුතු බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා ද මෙවර අය වැයෙන් මුදල් වෙන් වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසට මොකද වෙන්නේ?

දැනට පවතින තත්ත්වය අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ජාතික සැලසුමේ ඇති කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස ඉදිකිරීමට මුදල් වෙන් කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.

"ඒ කොටසට අධිවේගී මාර්ගයක් ඕනෙ ද, පාර පුළුල් කරලා ලේන් 4ක් වගේ දාලා, ඊට වඩා ලාභදායී ද කියලා බලන්න ඕනේ. ඒ කොටස ගැන නැවත සලකා බැලීමක් කරනවා. මේ අවුරුදු දෙකේදී නැවත මුදල් වෙන්වීමක් වෙන්නේ නැහැ."

මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඉදිරි වසර 5 ඇතුළත අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට දැනට සැලසුම් කර ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන වැඩිදුරටත් කියා සිටියේ ය.