කෲඩියා සෙලනිකා: ගම්පහ දාරලුවේ 'ගහ බේරන කතාවේ අවසන් තීන්දුවක් නැහැ'

''ගහ බේරලා පාර හැදුවොත් අමතර වියදම බිලියන 8.5යි. පාර ඉස්සුවොත් වියදම බිලියන 6ක් වගේ.''

ඡායාරූප මූලාශ්‍රය, SAJITH CHANDANA GAJANAYAKE

ඡායාරූප ශීර්ෂ වැකිය, ''ගහ බේරලා පාර හැදුවොත් අමතර වියදම බිලියන 8.5යි. පාර ඉස්සුවොත් වියදම බිලියන 6ක් වගේ.''
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය තීරණය කිරීමට සඳුදා (පෙබරවාරි 22) මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

ඒ අනුව, ගම්පහ දාරලුවේ පිහිටි කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේම තිබියදී මාර්ගය වෙනස් කරන්නේ ද?, ගසට ඉහළින් මාර්ගය සකස් කරන්නේද? එසේ නොමැතිනම් ගස වෙනත් ස්ථානයකට රැගෙන යන්නේද යන විකල්ප ක්‍රියාමාර්ග වලින් ක්‍රියාත්මක කරන්නේ කුමක් ද යන්න තවම නිශ්චිතව සඳහන් කළ නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

''අපි ඔප්ෂන් දෙකක් බැලුවා. එකක් කෲඩියා සෙලනිකා විශාල ගහ බේරලා පාර එක පැත්තකට ෂිෆ්ට් කරන්න. එහෙම කළොත් ඒ විශේෂයේ ගස් දෙකක් කැපෙනවා. ඊට අමතරව පාර වෙනස් කිරීම නිසා ඒ වැඩේට රුපියල් බිලියන 8.5ක් විතර අමතර මුදලක් වැය කරන්න වෙනවා. ගහ තියෙන ස්ථානයෙන් පාර ඉස්සුවොත් ඒ වැඩේට රුපියල් බිලියන 6ක් වගේ අමතර මුදලක් යනවා.'' යනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

මේ අතර ගස වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා වැයවන මුදල මේ දක්වා තක්සේරු කර නොමැති බව ද ඔහු පැවසුවේය. කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයක රැගෙන යාමේ උත්සාහයක් ද පසුගිය දිනවල වාර්තා විය.

මෙම ශාකය වෙනත් ස්ථානයකට රැගෙන යෑම කොතරම් සාර්ථකවේද යන්න ගැන බීබීසී සිංහල සේවය මීට පෙර කළ විමසීමකදී ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සිරිල් විජේසුන්දර පැවසුවේ එවැන්නක් අසාර්ථක වීමේ සම්භාවිතාව වැඩි බවය.

මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, පේරාදෙණිය උද්භිද උද්‍යානය යන ආයතන ඇතුළු මීට සම්බන්ධ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දී පෙබරවාරි 22 විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි. කෲඩියා සෙලනිකා විශේෂයේ තවත් ශාක 07ක් සහ පැල 20ක් වාර්තා වී තිබීම ගැන ද එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ බව වාර්තා වේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය තීරණය කිරීමේ තවත් සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇත.

'අලුත් යෝජනාවක්'

ගම්පහ, දාරලුවේ කෲඩියා සෙලනිකා ශාකය පිහිටි ඉඩමේ හිමිකාරීත්වය තිබූ පවුලේ නදීෂාන් දිලූක මුණසිංහ, බලධාරීන්ට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ, ආන්දෝලනයට හේතු වී ඇති ශාකය වැඩි මුදලක් සහ විශාල මුදලක් ගෙවා දුර බැහැර ප්‍රදේශයකට රැගෙන නොගොස් ඒ ආසන්නයේම නැවත සිටුවන ලෙසයි.

ඒ සඳහා ඔවුන්ට අයත් ඉඩමකින් පචර්ස් 40ක පමණ ප්‍රමාණයක් නොමිලේ පරිත්‍යාග කිරීමට පවුලේ සාමාජිකයන් සුදානම් බව ද ඔහු අදාළ සංවාදයේදී සඳහන් කර තිබුණි.

කෲඩියා සෙලනිකා ශාකය දැනට පවතින පරිසර තත්ත්වයන්ට සමාන බව කියන ස්ථාන දෙකක් නදීෂාන් යෝජනා කර ඇත.

ගසක් වෙනුවෙන් රටක් හඬ නැගීම

ගම්පහ, දරාලුවේ පිහිටි කෲඩියා සෙලනිකා ශාකය රැක ගැනීමට බොහෝ දෙනා ඉදිරිපත් වීම මෑත ඉතිහාසයේ ගසක් වෙනුවෙන් රටක් එකතු වූ අවස්ථාවකි.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූහ.

ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක ඊට පළමු වෙඩි මුරය පත්තු කළාය.

එහෙත් ගස ආරක්ෂා කරමින් මාර්ගය වෙනස් කිරීමට බලධාරීන් තීරණය කර ඇති බවට පසුගිය සතියේ ඇතැම් වාර්තා පළ වීමත් සමග ඒ කෙරෙහි සමාජ මාධ්‍ය තුළ තිබූ අවධානය ද යටපත් වෙමින් පවතින බව දකින්නට ලැබේ.

මේ පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූ ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය මතය ප්‍රකාශ කිරීමට සීමා නොවී අදාළ ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිය අදහස් පළ කර තිබුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඒ අතර වේ. දාරලුවට ගොස් සිදුව ඇති තත්ත්වය සියැසින් දැකබලා ගෙන හිටපු ජනාධිපතිවරයා ෆේස් බුක් සටහනක් තබා තිබුණි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ ''ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි.''යනුවෙනි.

මෛත්‍රීපාල සිරිසේන කෘඩියා සිලනිකා

ඡායාරූප මූලාශ්‍රය, Maithripala Sirisena/Facebook

මේ අතර පෙබරවාරි 10 වැනිදා භික්ෂුන් වහන්සේ එම ස්ථානයට වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනය කර, චීවරයක් පළඳවා එම ගස 'පැවිදි කර' සාංඝික දේපළක් බවට ප්‍රකාශයට පත් කළහ.

මේ ගැනත් දැනගන්න: