ඉන්දියානු මාන් සමාගම නිෂ්පාදනය කරන ලද ඖෂධ තොගයක් භාවිත කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, NMRA
- Author, බීබීසී සිංහල
"හොස්පිටල් එකේ බෙහෙත තමයි වැරදිලා තියෙන්නේ කියලා සැක හිතනවා. තාම රිපෝර්ට් ආවේ නෑනේ," යැයි ඩෙංගු රෝගය හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය සඳුමිණී දිව්‍යාංජලී ගේ පියා බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
මිය යන විට විසිතුන් වන වියේ පසු වූ ඇයගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව ද තරුණිය ගේ පිය වන තුෂාර කුඹලාතර පැවසීය.
"IDH හොස්පිටල් එකට ගියාට පස්සේ මෙයාට සේලයින් එකට දාලා බෙහෙත් එකක් දුන්නා. ඊට පස්සේ පැයකට විතර පස්සේ මෙයාට උණ වැඩි වෙලා එක සිය ගාණට. සීතල, ගැහිලා, නිකම් අමුතු ක්‍රමවේදයකට මෙයා ඇවිල්ලා. අපි හිටියේ නැහැ. මෙයාව දාලා තියෙනවා මම හිතන්නේ ETU එකට. ඊට පස්සේ පාන්දර 5ට වගේ හාට් එක නැවතිලා තියෙනවා. අර බේත් එක දුන්නට පස්සේ තමයි මෙයාට ෆිට් එක වගේ ඇවිල්ලා තියෙන්නේ, පැයක් යන්න කලියෙන්. ඊට පස්සේ ICU දැම්මා, ඉරිදා උදේ නැති වුණා. පැය 24ක් වගේ තමයි කාලය," යැයි තරුණියගේ පියා විස්තර කළේ ය.
මේ, රෝගයකින් සුවය ලැබීමට ඖෂධ භාවිතා කර රෝගී වූ බියජනක, අඳුරු ඉතිහාසය යළිත් වරක් සිහිපත් කරමින් නික්ෂේපණ ලබා දීමෙන් පසුව ඇති වූ බවට සැක කරන මරණ ද්විත්වයක් අතුරින් එක් මරණයකි.
එලෙස වාර්තාවූ මරණ ද්විත්වයට අමතරව එම නික්ෂේපණ ලබා දීමෙන් පසුව සංකූලතා මතු වූ රෝගීන් කිහිප දෙනෙකු ද රජයේ රෝහල්වලින් හඳුනාගෙන ඇත.
සංකූලතා සහ මරණ වාර්තාවීම් සැලකිල්ලට ගනිමින් වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron) නික්ෂේපණය ලබා දීම වහා ම අත්හිටුවා තිබේ.
ඒ අනුව අදාළ නික්ෂේපණයේ කාණ්ඩ 4ක් මෙරට රෝහල් තුළ රෝගීන්ට ලබා දීම සහ පුද්ගලික ඖෂධ සැල් තුළ විකිණීම අත්හිටුවන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දෙසැම්බර් 12 වෙනිදා "ඉතා හදිසි" ලේබලය යටතේ නිකුත් කර ඇති ලිපියකින් දැනුම් දී තිබේ.
'බෙහෙත දෙන එක අත්හිටුවන්න තරම් එකක් වාර්තා වෙලා තිබුණේ නැහැ'
මෙලෙස නික්ෂේපණ ලබා දීමෙන් පසුව ඇති වූ බවට සැක කෙරෙන ආසාත්මිකතා සහ මරණ සම්බන්ධව බීබීසී සිංහල විසින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණිගෙන් කරුණු විමසීමක් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මතභේදයට තුඩු දී තිබෙන නික්ෂේපණ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වන බැවින්, අදාළ කාණ්ඩයට අයත් සියලු ම ඖෂධ රජයේ සහ පෞද්ගලික අංශයේ භාවිතය අත්හිටුවා ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ය.
යම් ඖෂධයකින් මතුවන සංකූලතා සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කමිටුවක් පවතින බවත්, එම කමිටුවට නොවැම්බර් මාසයේ සිට මෙම ඖෂධය භාවිතා කිරීමෙන් පසුව ඇති වූ සමාන්‍ය සංකූලතා පිළිබඳව වාර්තා වී ඇති බව ද ඔහු පැවසීය.
"ඕනෑ ම බෙහෙතක සයිඩ් ඉෆෙක්ට් ගොඩක් දක්වලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන සයිඩ් ඉෆෙක්ට් ප්‍රමාණයක් තියෙනවා ඕනේ ම බෙහෙතක, බීපුවා ම නිදිමතයි වගේ ඒවා තියෙනවා. විශේෂයෙන් ම අසාමාන්‍ය ඒවා කෙලින් ම වාර්තා කරන්න ඕනේ. ඇලර්ජික් වගේ එන ඒවා අනිවාර්යෙන් වාර්තා කරන්න කියලා අපේ නීතියෙන්ම තියෙනවා. අන්න ඒ වාර්තා තමයි අපි ගන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
"ඒ වාර්තා ඇනලයිස් කරලා ඒ පිළිබඳ තීරණයක් ගන්න NMRA එකේ වෙන ම කමිටුවක් තියෙනවා. ඒක ඩ්‍රග්ස්වල කොලිටි එකයි, සේෆ්ටිය තමයි බලන්නේ. ඒගොල්ලෝ ලංකාවෙන්ම එන වාර්තා අරගෙන යම් අසාමාන්‍ය විධියේ දෙයක් බෙහෙතකින් වාර්තා වෙනවා නම් ඒ ගැන තීරණයක් ගන්නේ ඒ කමිටුවෙන්," ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රශ්නගත නික්ෂේපණය සම්බන්ධයෙන් කමිටුවට පසුගිය නොවැම්බර් අග සිට තොරතුරු වාර්තා වී තිබී ඇති බව ය.
"ඒ කමිටුවට ගිය නොවැම්බර් 25 වෙනකම් ඒගොල්ලෝ කිව්වා 5ක් 6ක් වාර්තා වෙලා තිබුණා ජයවර්ධනපුර රෝහලෙන්, ඕකෙන් එන පොඩි පොඩි සංකූලතා කියලා. නමුත් ඒ එකක්වත් ලොකු ඒවා වාර්තා වෙලා තිබුණේ නැහැ, බෙහෙත දෙන එක අත්හිටුවන්න තරම් එකක් වාර්තා වෙලා තිබුණේ නැහැ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
දෙවැනි මරණයෙන් සොයා ගත් පළමු මරණය
අදාළ නික්ෂේපණ ලබා දීමෙන් පසුව සිදුවූ බවට සැක සහිත පළමු මරණය සිදුව ඇත්තේ දෙසැම්බර් 12 වන දා බව නියෝජ්‍ය අමාත්‍යවරයා බීබීසී සිංහල සේවය වෙත සඳහන් කළේ ය.
"ඒක මේ බෙහෙත නිසා ම වුණා ද, එහෙම නැතිනම් එයාගේ රෝගය නිසා වුණා ද, එහෙම නැතිනම් දීපු වෙනත් බෙහෙතක් හෝ කෑමක් නිසා වුණා ද කියන එක අපි දන්නේ නැහැ. ඒකට පරීක්ෂණය තියෙනකම් දීපු බෙහෙත ගැන සැක හිතන්න වෙනවා අපිට," ඔහු පැවසුවේ ය.
ඔන්ඩන්සෙට්‍රොන් ඖෂධය ලබා දීමෙන් පසුව මහනුවර ජාතික රෝහලෙන් ද යම් ආසාත්මිකතා සහිත රෝගීන් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව එම රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා පිළිබඳ විශේෂඥවරයා කරන ලද පරීක්ෂණයකින් අනතුරු ඖෂධ දෝෂ සහගත බව වාර්තා කර ඇති බව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
එම වාර්තාව සහ රෝගියකු මරණයට පත්වීම සහ ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවලදී ඊට දින කිහිපයකට පෙර එම ඖෂධය ලබා දුන් රෝගියකුගේ මරණය ද සැක සහිත බැවින්, අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු කරන තෙක් ඔන්ඩන්සෙට්‍රොන් නික්ෂේපණ මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇත.
"අපි ස්ට්‍රෝන්ග්ලි ගන්නවා මරණයක් කියන එකක්. ඒක නිසා ඒ කම්පැනියෙන් හදපු අනිත් නික්ෂේපණ වර්ගත් ඊයේ හවස් වෙනකොට අර කමිටුව රැස්වෙලා මූලික විමර්ශනයක් කරලා, ඒගොල්ලෝ තීරණය කරනවා සම්පුර්ණයෙන් ඒ කම්පැනිය ගැන සොයා බැලීමක් කරන තුරු... ඒ කියන්නේ අපි සොයා බැලීමක් කරලා තමයි කම්පැනියට අනුමැතිය දීලා තියෙන්නේ. නමුත් ඔය වගේ වුණා ම ඒ කම්පැනියේ ප්‍රොසිඩියර්ස් (procedures) පවා ගිහිල්ලා නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ සම්පුර්ණ පරීක්ෂණය සිදුවන තුරු ඒ කම්පැනියෙන් හදපු සියලු නික්ෂේපණ වර්ග ලංකාවේ පාවිච්චි කරන එක අත්හිටුවන එක කළා," යැයි අදාළ ඖෂධ අත්හිටුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
සිදුවීම් පෙළගැස්ම ගැන බලධාරීන් පවසන්නේ කුමක් ද?
දෙසැම්බර් 17] රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
ඔවුන් සිදු කළ කරුණු දැක්වීමට අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයාට මෙම ඖෂධය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා [දෙසැම්බර් 12 ] වට්සැප් මාර්ගයෙන් තොරතුරක් ලැබී ඇති අතර, එහි සඳහන්ව තිබී ඇත්තේ එම ඖෂධයේ විෂබීජයක් අඩංගු බව ය.
"සිකුරාදා [දෙසැම්බර් 12] උදේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂතුමාට දැනගන්නට ලැබුණා වට්සැප් පණිවිඩ මාර්ගයෙන් මේ ඖෂධය තුළ යම්කිසි විෂබීජයක් ඇති බවට තොරතුරක්. මේ තොරතුර ගැන එතුමා හොයලා බලනකොට නුවර ජාතික රෝහලෙන් මෙවැනි තොරතුරක් ලැබුණා, මේ ඖෂධයේ විෂබීජයක් ඇති බවට තොරතුරක්," විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ය.
ඉන්පසුව, මෙවැනි අවස්ථාවලදී ඖෂධ ඇගයීම සිදු කරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ ඖෂධ ඇගයීමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවකට එම තොරතුරු යොමු කර, මෙම ඖෂධය ගැන පරීක්ෂණයක් කර තීරණයක් ගන්නා තෙක් එහි කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවත් කරන ලෙසට තීරණය කර තිබේ.
"ඒ කමිටුව මේ ගැන වහා ම සාකච්ඡා කරලා මේකට අදාළව කියලා සැක හිතෙන ඖෂධයේ අදාළ කාණ්ඩ හතරක් වහා ම භාවිතයෙන් ඉවත් කරන්න කියලා තීරණය කරලා ඒ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන්නා. වෛද්‍ය සැපයුම් අංශය රෝහල්වලට දැනුම් දුන්නා," ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ එම දැනුම්දීම සිදු කරනවිට කිසිඳු මරණයක් වාර්තා වී නොතිබූ බව ය.
මියගිය සඳුමිණී දිව්‍යාංජලී දෙසැම්බර් 13 වන දින අලුයම ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පසුදින, එනම් දෙසැම්බර් 13 වන දින [සෙනසුරාදා] ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටි ඩෙංගු රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරියක් තමා සමග සාකච්ඡා කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
"එතැනදී දැනගන්න ලැබුණා මේ රෝගියාටත් [පළමුව මිය ගිය රෝගියා] ඒ ඖෂධය ලබා දීලා තියෙනවා කියලා. ඒ වගේ ම සිකුරාදා රෑ ඇතුල්වුණු තවත් රෝගියෙකුට, තවත් රෝගීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. එක් රෝගියෙක් පහුවෙනිදා මිය ගියා. එතකොට මේ රෝගීන් දෙන්නටත් මේ ඖෂධය ලබා දීලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා," ඔහු පවසයි.
සෙනසුරාදා [දෙසැම්බර් 13] අලුයම 12.15ට රෝහලට ඇතුළත් වූ රෝගියාට අදාළ ඖෂධය ලබාදී, රෝග තත්ත්වය සමනය වී රෝහලෙන් පිටව යාමට යාමේදී නැවත වරක් අසාධ්‍ය වීම හේතුවෙන් රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්, පසුදින එනම් දෙසැම්බර් 14 උදෑසන 06.00ට රෝගියා මිය ගිය බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැවසුවේ ය.
කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ "ඒ ඖෂධ ලබා දීමත් එක්ක මේ මරණ සම්බන්ධ ද කියන සැකය තියෙනවා. ඒ අනුව සොයා බැලීම් කරගෙන යනවා," යනුවෙන් ය.
'බ්‍රිට්ෂ් ෆාමකෝපියා ඒකේ ප්‍රමිතියට හදපු බේතක්'
මතභේදයට තුඩු දී ඇති ඖෂධය ඉන්දීය ෆාමකෝපියා තත්ත්වය අනුව සකසා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසීමට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
"කට්ටියක් මම දැක්කා මාධ්‍යයට කියලා තියෙනවා ඉන්දියන් ෆාමකෝපියා කොලිටි එකට හදලා තියෙන්නේ කියලා. නමුත් බ්‍රිට්ෂ් ෆාමකෝපියා ඒකේ ප්‍රමිතියට හදපු බේතක් තමයි ඕක ඉන්දියාවෙන් ආවට තියෙන්නේ. එතකොට ඉන්දියාවෙන් ආවට බ්‍රිටිෂ් ෆාමකෝපියා එක උපයෝගි කරගෙන තමයි අපි ඒකේ කොලිටි එක බලලා තියෙන්නේ."
භාවිතය අත්හිටවන ලද අනිකුත් නික්ෂේපණ මොනාවා ද?
ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ අදාළ කාණ්ඩයට අයත් නික්ෂේපණ 6කට ආසන්න ප්‍රමාණයක් මෙරට භාවිතය අත්හිටුවා තිබෙන අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජයමුණි ඒ පිළිබඳව ද බීබීසී සිංහල සේවයට මෙලෙස විස්තර කළේ ය.
"ප්‍රශ්නයට තුඩු දීපු නික්ෂේපණය භාවිතා වෙන්නේ... සාමාන්‍යයෙන් ඒක ඇලර්ජික් වෙන එකක් නෙමෙයි ලොකුවට, ඒක භාවිතා වෙන්නේ වමනය වගේ අවස්ථා ආවා ම ඒක පාලනය කරන්න තමයි දෙන්නේ. ඒක අපි පෙති විදයටත් දෙනවා, නික්ෂේපණ විදියටත් දෙනවා," ඔහු පැවසුවේ ය.
"අනිත් බෙහෙත් අතර ප්‍රතිජීවක තුනක් තිබුණා, යකඩ වගේ මොනවා හරි අවශ්‍ය නික්ෂේපණයකුත් තිබුණා. ඒ වගේ හයක්, හතක් තිබුණා. ඒ සමහර ඒවා අපි රාජ්‍ය අංශයට අරගෙන නැහැ. නමුත් පුද්ගලික අංශයේ තියෙන නිසා පොදුවේ චක්‍රලේඛන ගහලා තියෙනවා," යැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දෙසැම්බර් 12 වන දින "ඉතා හදිසි" ලේබලය යටතේ නිකුත් කරන ලද ලිපියක, "Maan Pharmaceutical Ltd, India" යන නිෂ්පාදකයාගේ, "Ondansetron Injection USP 8 mg/4 mL (Ondanman 8)" යන ඖෂධයේ "OD24021E, OD25009E, OD25024E, OD25023E" යන කාණ්ඩ රෝහල්වල සහ පුද්ගලික අංශයේ ලබා දීම අතිහිටුවන ලෙස දන්වා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NMRA
නැවත වරක් එම ආයතනය විසින් ම "ඉතා හදිසි" ලේබලය යටතේ දෙසැම්බර් 16 වන දින උක්ත ඖෂධය ඇතුළු අදාළ සමාගම හරහා ගෙන්වන ඖෂධ 10ක් රෝහල් සහ පුද්ගලික ඖෂධ සැල්වල විකිණීම වහා ම අත්හිටුවන ලෙස ලිපියක් ද නිකුත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NMRA
අත්හිටවූ ඖෂධ මිලදී ගත් ඉන්දීය සමාගම කුමක් ද?
මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ භාවිතය අත්හිටුවා ඇති ඖෂධ මිලදීගත් ඉන්දීය සමාගම වන Maan Pharmaceutical Ltd යන සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට එය 2011 වසරේ ආරම්භ කරන ලද්දකි.
එහි ලිපිනය ලෙස සඳහන් වන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, අහ්මදාබාද්හි ලිපිනයකි.
තවද එම සමාගමෙන් ඖෂධ අපනයනය කරන රටවල් ලෙස පහත සඳහන් රටවල් නම් කොට තිබේ.
අයිවරි කෝස්ට්, ඝානාව, නයිජීරියාව, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංගෝව, ගැබෝන්, සැම්බියාව, කෙන්යාව සහ මැඩගස්කරය යන අප්‍රිකානු මහද්වීපයේ රටවල් ද, දකුණු ඇමරිකානු මහද්වීපයේ ඉක්වදෝරය ද, ජෝර්ජියාව, උස්බෙකිස්ථානය, ටර්ක්මෙනිස්ථානය යන මධ්‍යම ආසියාතික රටවල්වලට ද, යේමනය, ඇෆ්ගනිස්ථානය, භූතානය, මියන්මාරය, කාම්බෝජියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියාතික රටවල්වලට ද එම සමාගමෙන් ඖෂධ අපනයනය කරන බව එහි වෙබ් අඩවියේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ කුමක් ද?
ඔන්ඩන්සෙට්‍රොන් නික්ෂේපණ සම්බන්ධව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, දෙසැම්බර් 16 වන දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් පවත්වන බව ය.
"මේ වන විට යම් සංකූලතාවයන් පැමිනුණේ මාන් ෆාමසූටිකල් කියන ආයතනය 2021 ඕඩර් එකකට, 2025 ලබා දීපු යම් කොටසකටත්, 2024 ඕඩර් එකකට, 2025 ලබා දුන්න ඕඩර් එකටත්... ඒ තිබුණ සාම්පල් කීපයකට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තිබුණේ, සාම්පල් 4කට. ඒ රියැක්ෂන් සම්බන්ධයෙන් NMRA ලැබ් එකේ පරික්ෂා කරගෙන යනවා. ඒ වගේම මේ මරණ දෙක සම්බන්ධයෙන් වෙන පරීක්ෂණයක් පවත්වමින් යනවා, මේ මරණ දෙකත් එක්ක තියන සම්බන්ධය මොකක් ද කියන එක ගැන," අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවක් සහ අවුරුදු 23ක් වයසැති තරුණියක් බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
'එන හැම ස්ටොක් එකේ ම සාම්පල් චෙක් කරන්න අවස්ථාවක් නැහැ'
කෙසේවෙතත් මෙරටට ඖෂධ ආනයනය කරන සෑම අවස්ථාවක ම එම තොගවල තත්ත්වය පරීක්ෂා කීරීමට මෙරට පහසුකම් නොමැති බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස තවදුරටත් කියා සිටියේ, ඖෂධය භාවිතයට ගත් විට යම් සංකූලතාවයක් ඇතිවුහොත් පරීක්ෂා කිරීම සිදුවන බව ය.
"රටට ආනයනය කරන ඖෂධවලින් 85%ක් ගෙන්වන්නේ ඉන්දියාවෙන් තමයි. NMRA එකේ ලැබ් එකේ තියෙන පහසුකම් අනුව එන හැම ස්ටොක් එකේ ම සාම්පල් චෙක් කරන්න අවස්ථාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඖෂධය භාවිතා කරමින් තිබිය දී යම්කිසි සංකූලතාවයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමයි, දැනට NMRA එකේ පරික්ෂණාගාර තුළ සිදුවෙමින් පවතින්නේ," ඔහු පවසයි.
'නිෂ්පාදනයේදීම ප්‍රමිතියට හානියක් වෙලා ද සොයා බැලීම වැදගත්'- රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
වසරකට මෙවැනි සිදුවීම් 100ක් පමණ වාර්තා වන බවත් ප්‍රශ්නගත ඖෂධය රට තුළට පැමිණෙන අවස්ථාව වන විටත් ප්‍රමිතියේ ගැටලුවක් තිබුණා දැයි සොයා බැලිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
"මේ ඖෂධය නිෂ්පාදනයේදීම මේ ප්‍රමිතියට හානියක් වෙලා ද කියන කාරණය සොයා බැලීම තමයි වැදගත් වෙන්නේ. මොකද යම් අවස්ථාවකදී ඖෂධ ගබඩා කිරීමේ තත්ත්ව වල ගැටලු නිසා මේ ප්‍රමිතියට හානි වෙන්න පුලුවන්, ඖෂධ ප්‍රවාහනයේ දී ගැටලු මතු වෙන්න පුලුවන්, ඒ දේශියව දකින දේවල්. නමුත් ඖෂධය රට ඇතුළට එනකොට ම මේ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන්, නැතිනම් ඖෂධයේ අන්තර්ගතවෙලා තියෙන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙලා ද කියන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීම වැදගත්," යැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේය.
"ඒ වගේ ම තමයි සාමාන්‍යයෙන් ඖෂධය රට තුළට එනකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාර හරහා මේ පරීක්ෂණ සිද්ධ කරනවා. එතනදී මේ ඖෂධය පරීක්ෂාවට භාජනය වුණා ද, එහෙම වුණා නම් යම් ගැටලුවක් හඳුනගත්තා ද, එහෙම ගැටලුවක් හඳුනාගන්න හැකියාවක් ලැබුණේ නැද්ද, මම හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ඉදිරියේ දී පිළිතුරු ලැබිය යුතුයි," යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරාමිතීන්ට අනුව, ජාතික තත්ත්ව නියාමන රසායනාගාරයක් පිහිටුවීම මෙන් ම, මෙවන් අන්දෝලනාත්මක සිදුවීමක දී ජනතාවට ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීම ද ඉතා වැදගත් බව අවධාරණය කරන රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ හරහා මෙවැනි ගැටලු සම්පුර්ණයෙන් නිරාකරණය කර ගත හැකි බව ද පැවසීය.
මාන් සමාගම කළ යෝජනාව
මෙරට දී භාවිතා කිරීමෙන් අනතුරුව සංකූලතා සහ මරණ සිදුවූ ඇති බවට සැක සහිත නික්ෂේපණ, නිෂ්පාදනය කරනු ලබන මාන් සමාගම විසින් එම ඖෂධ භාවිතය අත්හිටුවීම සම්බන්ධව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලිපියක් යොමු කර තිබේ.
ගුණාත්මක දෝෂ සහිත බවට සැක කෙරෙන නික්ෂේපණ කාණ්ඩ 4න් සමාගම සතුව නිශ්චිත තත්ත්වය යටතේ ගබඩා කර තිබූ සාම්පල පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුර්ව සුදුසුකම් ලත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පිළිගත් රසායනාගාරයකට යවා ඇති බව සමාගම දන්වා ඇත. එහි පිටපතක් ද ලිපියේ අමුණා තිබේ.
එමෙන්ම එම සමාගම විසින් අහිතකර ඖෂධවල ප්‍රතික්‍රියා වාර්තාව, මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවි විද්‍යාඥයාගේ මූලික විමර්ශන වාර්තාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබී ඇති ඕනෑම වාර්තාවක් සමාගම වෙත ලබා දෙන ඉල්ලා සිටියි.
ඒ, සමාගම පාර්ශවයෙන් අදාළ කරුණු සම්බන්ධව පැහැදිලි බවක් ලබා ගැනීම වෙනුවෙන් බව සමාගම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දන්වා ඇත.
එමෙන්ම අදාළ ප්‍රශ්නගත නික්ෂේපණ ඛාණ්ඩ ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක් හරහා පරීක්ෂා කිරීමට යෝජනා කරන මාන් සමාගම, ඒ සඳහා වියදම් දැරීමට සුදානම් බවත් ප්‍රකාශ කර තිබේ.
මාන් සමාගම විසින් ප්‍රශ්නගත ඖෂධ ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් වැය වන වියදම් දැරීමට සුදානම් බවට කරන ලද ඉල්ලීම ලැබී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බීබීසී සිංහල වෙත කියා සිටියේය.
එම ඉල්ලීම අදාළ ඖෂධය සම්බන්ධව විමර්ශනය කරන කමිටුව වෙත යොමු කර ඇති බව මෙන්ම ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද වෛද්‍යවරයා පැවසීය.
"ඒගොල්ලෝ එහෙම ඉල්ලීමක් කරලා තිබුණා, ඒක ඒ අදාළ කමිටුවට යොමු කරලා තියෙනවා. තවම ඒ ගැන තීරණයක් අරගෙන නැහැ."














