පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වීමෙන් වසර දෙකකට පසුව සිදුවන්නේ කුමක් ද?

කොළඹ පුරපතිනී ව්‍රයි කැලී බල්තසර්ගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Vraie Cally Balthazaar | Facebook

    • Author, බීබීසී සිංහල

පාර්ලිමේන්තුවේ අයවැය පරාජය වීම මෙන් නොව‍, පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වීමෙන් එහි බලය පවත්වා ගැනීමට බලපෑමක් නොවේ. ඊට හේතුව ඉන් බල පෙරළියක් සිදු නොවීම යි.

එහෙත් එය සුවිශාල ජනවරමකින් පාර්ලිමේන්තු බලය ලබා ගත් ජාතික ජන බලවේගයට යම් ආකාරයක පසුබෑමක් විය හැකි ය. ජනාධිපතිවරණයෙන් මෙන් ම මහ මැතිවරණයෙන් පෙරනොවූ විරූ ජනවරමක් ලැබූ ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණයෙන් ජය ලබා වසරක් ගත වන්නටත් මත්තෙන් පළාත් පාලන ආයතන රැසක පළමු අයවැය මෙලස පරාජය වන්නේ ඇයි ද යන්න ප්‍රශ්නාර්ථයකි.

එය පළාත් පාලන අයතනවල නායකත්වයට පත් කළ සභිකයින්ගේ විශ්වාසය බිඳ වැටීමකි.

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර, ගාල්ල වැනි මහ නගර සභා පමණක් නොවන ආසන්න ම පළාත් පාලන ආයතනය ලෙස කොළඹ මහ නගර සභාවේ අයවැය ද ඔවුන් දෙසැම්බර් 22 වන දා පරාජයට පත්විය.

කොළඹ නගර සභා අයවැය විවාදයේදී අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලබා දෙමින් අයවැය පරාජය කිරීමට විපක්ෂය සමත් විය. ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ පළමු අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය.

'වසර 2ක් යනතුරු බාධාවක් නැහැ'

කොළඹ අයවැය හෝ පරිපූරක අයවැයන් පරාජය වුවද පවත්නා පළාත් පාලන නීතිමය තත්ත්වය අනුව වත්මන් පුරපතිනී ව්‍රායි කැලී බල්තසාර්ට සිය ධූර කාලයෙන් වසර දෙකක් යනතුරු බාධාවකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව පවතී.

කොළඹ මහ නරග සභාවේ බලය යනු ඕනෑ ම රජයකට තීරණාත්මක සාධකයකි. එය තම බලය විදහා දැක්වීමේ සංඛේතයකි.

බල පෙරළියක් සිදු නොවූව ද, සෙසු පළාත් පාලන අයතන මෙන් නොව, කොළඹ අයවැය පරාජය වීම පාලක පක්ෂයට තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී පසුබෑමක් බව මේ පිළිබඳ ගැඹුරුව අධ්‍යයනය කිරීමේදී පෙනී යන කාරණයකි. ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයවීමෙන් මීළඟට සිදුවන්නේ කුමක් ද?

ඒ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරියක වන භද්‍රානි ජයවර්ධනගෙන් බීබීසී සිංහල විමසීක් කළේය.

"අයවැය පැරදීමෙන් ආණ්ඩු පක්ෂයට කිසි දෙයක් වෙන්නේ නෑ. අවුරුදු දෙකක් යනකන් අයවැය ලේඛනය සම්මත වූවා සේ කර ගෙන යන්න පුළුවන්."

"පවතින නගරාධිපතිනිය ගැන විශ්වාසය නැති වීමනේ ගම්‍ය වෙන්නේ පරද්දන එකෙන්."

පළාත් පාලන ආයතනයක අයවැය සැකසෙන්නේ කොහොම ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පළාත් පාලන ආයතන බලප්‍රදේශයේ අපේක්ෂිත අදායම සහ අපේක්ෂිත වියදම පිළිබඳ ඇස්තමේන්තුව අනුව අයවැය සකස් කෙරෙයි.

ඒ සඳහා මහජනතාවගේ, නිලධාරීන්ගේ, සභිකයින්ගෙන් අදහස් හා ස්ථාවර කමිටුවල අදහස් ලබා ගැණෙනු ඇත.

සභාව යනු, පක්ෂ භේදයකින් තොරව රැස්වන කණ්ඩායකි. ඒ අනුව ඝනපූර්ණය සහිත සභාව තුළින් අයවැය වැඩි ඡන්දයෙන් සම්මත කර ගනිමින් ක්‍රියාත්මක කළ යුතුවේ.

"වැඩි ඡන්දයෙන් පළවෙනි වතාවට අනුමත වෙන්නේ නැත්නම් දෙවැනි වතාවටත් දාලා දෙවැනි වතාවෙත් ප්‍රතික්ෂේප වුණොත් තමන්ගේ නිල කාලය වසර දෙකක් යන තෙක්, එය සම්මත වූවා සේ සලකා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා," භද්‍රානී ජයවර්ධන පැවසුවාය.

"ඕනෑ ම පළාත් පාලන ආයතනයක ඝනපූර්ණය සහිත සභාවක් රැස්වෙලා, බහුතර ඡන්දයෙන් සම්මත කරලා තමා මුදල් කටයුතු ඕනෑ ම එකක් කරන්නේ. පොඩි පොඩි ගණන් නෙමෙයි. ඒ ඒ, පළාත් පාලන අයතනවල සීමා පනවලා තියෙනවා ඒවාට. හැබැයි ඒවත් පරදින්න පුළුවන් මෙහෙම වුණොත්," ද්‍රානී ජයවර්ධන සඳහන් කළා ය.

"හැබැයි අයවැය ලේඛනයකදි වසර දෙකක් තමන්ගේ නිල කාලය, අද ආරම්භ වුණා නම් අද සිට අවුරුදු දෙකකින් එන දින දක්වා, අයවැය ලේඛනයක් හෝ වර්ෂ මැද එන පරිපූරක අයවැය ලේඛනයක් හෝ ප්‍රතික්ෂප වුණොත්, දෙවනි වර ප්‍රතික්ෂේප වුණොත් ඒක පැරණි ක්‍රමයට අයවැය එහෙම ම ක්‍රියාත්මක කර ගෙන යන්න පුළුවන් වසර දෙකක්.

"එතනින් පස්සේ එනවා නම් අයවැයක් හෝ පරිපූරක අයවැයක්. ඒ ඉදිරිපත් වන අයවැය පරාජය වුණොත් දින 7ක් වගේ කාලයක නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕනේ. එතකොට අර පරණ ක්‍රමයට සියයට 50% අඩු නම් පළාත් පාලන කොමසාරිස් ඇවිල්ලා ඡන්දයක් තියලා කෙනෙක් පත් කර ගන්න පුළුවන්," කොළඹ හිටපු නාගරික කොමසාරිස් මෙන් ම පළාත් පාලන ක්ෂෙත්‍රයේ පුළුල් අත්දැකීම් සහිත පරිපාලන නිලධාරිනියක වූ භද්‍රානි ජයවර්ධන පැවසුවා ය.

අයවැය අඛණ්ඩව පරාජය වුවහොත් විය හැක්කේ කුමක් ද?

"සභාවෙන් බලාපොරාත්තු වෙන දේ වෙන්නේ නැත්නම් ආණ්ඩුකාර තුමාට තීරණයක් ගන්න පුළුවන් සභාව විසුරුවා හරින්න, ඒක තමා වෙන්නේ," භද්‍රානි ජයවර්ධන සඳහන් කළා ය.

ඇය කියා සිටියේ, අයවැය පරාජවූ පමණින්, නගරාධිපතිවරයෙකු හෝ නගරාධිපතිනියක ඉවත් කිරීමට හෝ ඔවුන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට නොහැකි බවයි.

"විභාවාසභංග ගේන්න බැහැ. ගේන්න පුළුවන් නිකම් හිතේ සතුටට. නීතියට අනුව ඒක බැහැ," ඇය අවධාරණය කළාය.

"එක ම දේ සභාව එකතු වෙන්න ඕනේ මිනිස්සු වෙනුවෙන්. නමුත් මිනිස්සු වෙනුවෙන් කියලා එකක් නැහැ හැමෝම කරන්නේ දේශපාලනය නේ."

"අවුරුදු දෙක ඉවර වෙන්න කලින් ගේන ගේන එක පැරදුණොත් එතකොට නගරයේ මුකුත් කරන්න බැරිව යනවා නේ. පාරක් හදන්න බෑ, කුණු එකතු කරන්න බෑ, සම්මත කර ගෙන අත්සන් කරගෙන තියෙන කොන්ත්‍රාත්වලට යන්න පුළුවන්. අලුතින් දෙයක් කරන්න බැරිව යනවා. අලුතින් දෙයක් කරන්න බැරි වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් විශේෂයෙන් කොළඹ වගේ නගරයක," භදානි ජයවර්ධන සඳහන් කළා ය.

"අපි හිතමු ගස් වැටෙනවා, එතකොට ගස් කපන්න කොන්ත්‍රාත් එකක් දෙන්න බැරිවුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට පනත්වල ප්‍රතිපාදන තියෙනවා ඒ වගේ වෙලාවක කටයුතු කරන්න. නමුත් සාමාන්‍ය පරිපාලන ව්‍යුහයෙන් පරිබාහිරව කරනවා කියන්නේ ඒක සාර්ථක නැහැ."

අයවැය පරාජය වීමේ බලපෑම

භාද්‍රානි ජයර්ධන කියා සිටියේ, කිසියම් ආපදාවකදී හෝ හදිසි තත්ත්වයකදී යම් ප්‍රදේශයක ජනතාවට "මුලින් ම පිහිටට සිටින්නේ" ප්‍රාදේශීය ලේකම්වරයා සහ පළාත් පාලන ආයතනය බවයි.

"මොකක් හරි වුණොත් පාලත් පාලන අයතනය සහ ප්‍රාදේශීය ලේකම් ඒ ප්‍රදේශය බලා ගන්නවා. ගංවතුරෙදී මිනිස්සුන්ට කෑම දෙනවා. පස්සේ නේ බිල දාලා අනුමත කරන්නේ බහුතර බලයෙන්."

"එතකොට ඒවා දිගින් දිගට ම පැරදුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේ. මම හිතන්නේ පළාත් සභා, පාර්ලිමේන්තුව වගේ නෙමේයි පළාත් පාලන ආයතනවල විපක්ෂයක් නැහැ පොතේ හැටියට. පොතේ හැටියට විපක්ෂය කියලා නෑ, ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න කියලා තියෙන්නේ. ඔක්කොම එකතු වෙන කොට අඩු බලයක් ආවොත් පාලන පැත්තට ඒ ගොල්ලන්ට කරන්න බැරිව යනවා. ඒ නිසා සමථව පත් කර ගන්න ඕනේ මිනිස්සු වෙනුවෙන්."

"එහෙම නැත්නම් අවසානයේ සභාවට අදාළ වැඩ කෙරෙන්නේ නැත්නම්, උදාහරණයක් විදිහට දිගින් දිගට ම කියලත් කපන්නේ නැති ගහක් තියෙනවා නම් ආණ්ඩුකාරවරයාට පුළුවන් කවුරු හරි ගෙන්නලා ඒක කප්පවලා සභාවෙන් මුදල් ගෙවන්න."

"ඒක හැමදාම කරන්න බැහැ නේ. එත කොට පවතින පරිපාලනය සමථ කරගෙන එකතු වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් සියලු දෙනා ඉවත් වෙන්න ඕනේ. හැමෝම කැප කිරීම් කරන්න කරන්න ඕනේ. නැත්නම් කරන්න බෑ"

"පේනෙන්නේ නැති වුණාට, පාළාත් පාලන ආයතන ලොකු වැඩක් කරනවා. මොකක් හරි ලොකු කරදරයක් හරි කලබලයක් වුණොත් දිසාපති එන්න කලින්, ඇමති කෙනෙක් එන්න කලින්, මැදිහත් වෙන්නේ පළාත් පාලන ආයතනය."

"ගමක බලය ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථාපිත බලය තියෙන ප්‍රාදේශීය ලේකම්ගෙන් බලය ගලාගෙන යනවා. අනිත් පැත්තෙන් පළාත් පාලන අයතනයෙන් යනවා."

'කොළඹ මහ නගර සභාව සමහර තැන්වලදී මහා ආණ්ඩුවටත් වඩා බලවත්'

කොළඹ මහ නගර සභාව පිහිටවනු ලබන්නේ, 1865දී යි.

ඒ අනුව, කොළඹ නගරයට සුවිශේෂී බලතල ලැබී ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයේදී ය. "ඒ බලය දීලා තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් පාලනය වෙනවා වගේ බලයක් දීලා තියෙන්නේ."

"එතකොට පාරක් වහන්නත් නගර සභාවෙන් අනුමැතිය ගන්න ඕනේ පොලිසිය, වෙන සභාවක පොලිසියෙන් පාරවල් වැහුවට කොළඹ වහන්න බෑ."

භද්‍රානි ජයවර්ධන පැවසුවේ, කොළඹ නගරයේ සෞඛ්‍ය බලය ඇත්තේ කොළඹ මහ නගර සභාවට බවයි.

"එතකොට සෞඛ්‍ය බලය තියෙන්නේ නගර සභාවට. රෝග නිවාරණ පනත් වගේ ඒ වගෙන්. බෝ වන රෝග, ඩෙංගු, කොරෝනා, පැපොළ, බරවා වගේ ඒවා පාලනය කරන්න කටයුතු කරන්න ඕනේ නගර සභාවෙන්."

"කොළඹ මහ නගර සභාව යටතේ රෝහල් තිස් ගාණක් තියෙනවා, මාතෘ නිවාස තියනවා. ඖෂධ ගබඩාවක් තියෙනවා. මුළු ලංකාවට ම ඖෂධ දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. නමුත් නගර සභාවේ සල්ලිවලින් ගන්නේ නගරයට අවශ්‍ය බෙහෙත්. නගර සභාව සමහර තැන්වල මහා ආණ්ඩුවට වඩා බලවත්," භද්‍රානි ජයවර්ධන පැහැදිලි කළා ය.

ඇය කියා සිටියේ, දෛනිකව කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 6ක ජනතාවට පහසුකම් සැලසීම සඳහා කොළඹ මහ නගර සභාවෙන් විශාල සේවයක් සිදුවන බවයි.

"නගරයේ තියෙන ලොකු ලොකු පාරවල් RDA එක නෙමෙයි කරන්නේ. නගර සභාව. සියලු කලර් ලයිට්ස් නඩත්තු කරන්නේ නගර සභාව. ගස් හිටවන ඒවා, බංකු දාන ඒවා කරන්නේ නගර සභාවෙන්. නගරයේ බදු සල්ලිවලින් තමා ගිනි ආරක්ෂාව දෙන්නේ, කුණු ඉවත් කිරීම, හෝටල් පිරිසිදුව පවත්වා ගැනීම කරන්නේ," ඇය සඳහන් කළා ය.

"කොළඹ කියන්නේ මර්මස්ථානයක්. ඒක අවබෝධ කරගෙන ඒ බර කරට ගන්න ඕනේ ආඩම්බරකම් නැතිව."

"කොළඹ නගරයේ ලොකු බලයක් තියෙනවා, පනත් තුළින් පැවරිලා තියෙන."

"ඒ බලය ඇමතිලාට නැහැ. ප්‍රාදේශීය ලේකම්ලාට නැහැ."

පළාත් පාලන ආයතනවල බලය බේදී ගොස් ඇත්තේ කෙසේ ද?

මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ගණනක් තෝරා ගැනීම සඳහා මැයි 9 වන දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වූයේ බොහෝ පළාත් පාලන ආයතනවල බහුතර බලයක් කිසිදු පක්ෂයකට ලබා නොදෙමිනි.

නිකුත් වූ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගනිමින් ජාතික ජන බලවේගයට බහුතර බලය හිමිව තිබුණේ පළාත් පාලන ආයතන 72ක පමණි.

ඉලංගෛ තමිල් අරසු පක්ෂය 50%ට වඩා වැඩි ඡන්ද ලබාගත් ආයතන 3 හැර විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ කිසිවක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් පළාත් පාලන ආයතනවල හිමිකරගෙන නොතිබිණි.

ඡන්ද විමසීම අවසන් වූ දිනවල සිට ම බලය තහවුරු නොවූ පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීම සඳහා විවිධ දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පැවැත්විණි.

එතෙක් බලය පිහිටුවීමට නොහැකි වූ පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ඒ අනුව ය.

වඩාත් අවධානයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව, නගර සභාවේ මංගල සැසි වාරය පැවති ජූනි 16 දින උණුසුම් තත්ත්වයක් ඇති විය.

අවසානයේදී කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය ලබා ගත අතර, නගරාධිපති ධූරය සඳහා ව්‍රායි කැලී බල්තසාර් තේරී පත් වූවා ය.

බහුතර බලයෙන් බලය පිහිටුවා ගැනීමට නොහැකි වූ නිසා 2025 ජූනි 24 වන විට පළාත් පලාන ආයතන 124ක ඡන්ද පවත්වා තිබිණි.

ඒ අතුරින් පළාත් පාලන ආයතන 28ක බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව විය.

උතුරු-නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන 25ක බලය ඉලංගෛ තමිල් අරසු පක්ෂය දිනාගෙන ගත්තේ ය.