කොළඹ නගරාධිපති තේරීමේ රහස් ඡන්දයෙන් ව්‍රායි බල්තසාර්ට පරාද වූ රිසා සාරුක්

RISA MOHAMMD ZARUK

ඡායාරූප මූලාශ්‍රය, RISA MOHAMMD ZARUK

    • Author, බීබීසී සිංහල

කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය සඳහා අද (ජූනි 16) පෙරවරුවේ රහස් ඡන්දයක් පැවැත්වීම දක්වා ම සමගි ජනබලවේගය දිගින් දිගටම කියා සිටියේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ප්‍රමාණවත් ඡන්ද තමන් සතු බවය.

ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් රැසකගේ සහයද තමන්ට ඇතැයි, සමගි ජනබලවේගය කියා සිටියේ ය.

ජාතික ජන බලවේගය ද, සමගි ජන බලවේගය ද වෙනත් පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් නගරාධිපති ධූරය ලබා ගැනීම සඳහා අවශ්‍ය බහුතරය සකස් කරගැනීමට මාසයකට වැඩි කාලය පුරා ම උත්සහ ගන්නා ලදී.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් වෙනුවට විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සභිකයින් 60 දෙනෙකුගෙන් සමන්විත ලේඛනයක්ද සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත්, අද (ජූනි 16) කොළඹ මහ නගර සභාවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබා ගනමින් ව්‍රයි කැලී බල්තසාර් නගරාධිපති ධූරයට පත් විය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඇයට එරෙහිව රහස් ඡන්දයට ඉදිරිපත් වූ රිසා මොහොමඩ් සාරුක්ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 54ක් පමණි.

රිසා මොහොමඩ් සාරුක් යනු කවු ද?

1974 වසරේ මැයි 10 වැනිදා උපන් මොහොමඩ් රිසා මොහොමඩ් සාරුක් හෙවත් රිසා සරුක් මීට පෙර ද කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහුගේ පියා ද ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් 1960 දශකයේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.

සිව් දරු පියෙකු වන ⁣රිසා සාරුක් විදුලි භාණ්ඩ ආනයනකරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වේ.

1994 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමින් ⁣ක්‍රියාකාරි පක්ෂ දේශපාලනයට පිවිස ඇති රිසා සාරුක් 2002 වසරේ දී පොදු පෙරමුණින් කොළඹ මහ නගර සභාවට තරග කර තේරී පත්ව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2006 වසරේ නැවත වරක් කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පත්ව ඇත.

2018 වසරේ එක්සත් ජාතික පක්ෂයට එක්වන රිසා සාරුක් එම පක්ෂයෙක් නැගෙනහිර මාළිගාවත්ත කොට්ඨාසය ජය ගෙන නැවතත් වරක් කොළඹ නාගරික මන්ත්‍රී ධූරය හොබවනු ලැබී ය.

කෙසේ වෙතත් 2020 වසරේ දී ඔහුගේ නාගරික මන්ත්‍රී ධූරය එක්සත් ජාතික පක්ෂය විසින් අහිමි කර ඇත්තේ ඔහු සමගි ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගත් නිසාවෙන් ය.

ඔහු මෙවර සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කර නැගෙනහිර මාළිගාවත්ත කොට්ඨාසය ජය ගනිමින් කොළඹ නගර සභාවට තේරී පත් විය.