50% නොමැති පළාත් පාලන ආයතන 178ක බලය පිහිටුවන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව සියලු පළාත් පාලන අයතනවල ධූර කාලය අදින් (ජූනි 2) ආරම්භ වෙයි.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමි කර ගනු ලැබ ඇති පළාත් පාලන ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි ය. සෙසු ආයතනවල රැස්වීම් පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව මැයි 30 වන දා මාධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර සභිකයින්ගේ නම් මේ වන විට ගැසට් කර තිබේ.

තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වන දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ, පළාත් පාලන මැතිවරණය පවත්වා දින 21ක් ගත වුව ද මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීමට අපොහොසත් වීම හේතුවෙනි.
ජූනි 2 මොක ද වෙන්නේ?
පවත්නා නීතියට අනුව ලබන ජූනි 2 වන දා සියලු පළාත් පාලන අයතනවල නව ධූර කාලය ආරම්භ වන අතර එදිනට එම පළාත් පාලන ආයතනවල රැස්වීම් පැවැත් විය යුතු වේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනී ගිය කාරණයක් වූයේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සෙසු පක්ෂ එකතුව ලබා ගෙන ඇති බවයි.
50% නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය මෙන් ම, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මේ වන විට තරගයක නිරතව සිටියි.
ඒ අනුව, 50% නොමැති පළාත් පාලන අයතනවල සභාපති, උපසභාපති තෝරා පත් කර ගැනීම ලබන ජූනි 2 වන දා පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසු තීරණය කෙරෙනු ඇත.
පළාත් පාලන ආයතනයක 50%කට වැඩි බලයක් යම් පක්ෂයකට නොලැබුණහොත් සිදුවන්නේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පළාත් පාලන ආයතනවල යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තේරී පත් වන සභික සංඛ්‍යාවෙන් 50%ක හෝ ඊට වැඩි බලයක් ලබා නොගැනීම විශාල ගැටලුවක් නොවන බවත් එය තීරණාත්මක වන්නේ සභාපති හෝ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී පමණක් බවත් Accountability Lab In Asia ආයතනයේ කාන්තා දේශපාලන අයිතීන් පිළිබඳ අධ්‍යක්ෂිකා ශ්‍රියානි රුවනාරා විජේසුන්දර බීබීසී සිංහල වෙත පැවසුවා ය.
"එතකොට වෙන්නේ පළාත් පාලන කොමසාරිස් සහ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා මූලිකත්වයෙන් පළවෙනි රැස්වීම පවත්වලා, ඡන්දයක් තියලා, ඒ ඡන්දයෙන් තමයි පොදු එකඟතාව මත සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරගන්නේ," ඇය සඳහන් කළා ය.
එලෙස පත්වන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා මූලිකත්වය ගෙන පවත්වන සභාවේදී පොදු එකඟත්වය මත අදාළ පළාත් පාලන ආයතනයේ උපසභාපතිවරයා තෝරා පත් කරගන්නා බව ඇය කියා සිටියා ය.
සියයට පනහක සභික සංඛ්‍යාවකගේ බලයක් නොලැබීම පාලනය ගෙන යාමට ගැටලුවක් නොවන බවත් මහ නගර සහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත අනුව ඉදිරි කටයුතු කළ හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.
"ඡන්ද විමසීම් ආඥා පනතේ පැහැදිලිව ම තියෙන්නේ යම් තනි පක්ෂයක් සභික සංඛ්‍යාවෙන් 50%ක් ගත්තොත් ඒ පක්ෂයේ මහලේකම්ට අයිතිය තියෙනවා සභාපති, උපසභාපති තෝරන්න," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, බහුතරය ලබා ගත් පක්ෂය හැර වෙනත් පක්ෂයකින් සභාපතිවරයා තේරී පත් විය හැකි අතර එසේ 50%ක් හෝ ඊට වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක බලයක් නොමැති විට සභාපතිවරයා ඡන්දයෙන් පත් වන අයුරු ද හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැහැදිලි කළේ ය.
"බහුතරය ඉන්න පක්ෂය හැර විපක්ෂයෙන් සභාපතිවරයා පත් වෙන්න පුළුවන්. සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට මන්ත්‍රීවරු 50%ක් ඡන්දය දිය යුතුමයි. ඒකෙන් 50%ට වඩා ගන්න කෙනා සභාපති ලෙස තේරෙනවා," යැයි ඔහු පැවසීය.
පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයකින් සභාපතිවරයා තෝරා පත් කර ගන්නා බව ද හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.














