පළාත් පාලන මැතිවරණය 2025: 'සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල නායකයින් මේ පණිවුඩය තේරුම් ගත් බවක් පෙනෙන්නෙ නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
මාලිමා ආණ්ඩුවේ පාලනය යටතේ පැවැත්වෙන පළමු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 6 වැනි දා පැවැත්වෙයි. 2024 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් සහ 2024 මහ මැතිවරණයෙන් පෙර නොවූ විරූ ජයග්‍රහණයක් ලැබූ ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කුමන ආකාරයක ජයග්‍රහණයක් අත් කර ගනී ද? විපක්ෂයෙන් ඔවුන්ට කුමන ආකාරයක අභියෝගයක් එල්ල වෙයි ද?
ජාතික ජන බලවේගයේ නායකයින් ඉල්ලා සිටින්නේ, තමන් ලද බලය සම්පූර්ණ වීමට නම් පළාත් පාලන ආයතනවල බලය ද තමන් වෙත ලබා දෙන ලෙස ය.
මේ අතර, පළාත් පාලන ආයතනවලින් 250කට වැඩි සංඛ්‍යාවක් තමන් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කළේ ය.
2024 සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණය ජය ගත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ධූරයට පත්වූ අතර ඊට මාස දෙකකට පසු පැවති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආසන 159ක් හිමි කර ගනිමින් තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය.
රටේ ආර්ථික තත්ත්වය
සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරයි.
IMF ණය වැඩසටහන අනුව යමින් ශ්‍රී ලංකාව මේවන විට එහි 4 වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණ තිබේ.
2024දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ප්‍රකෘතියක් අත්කර ගෙන ඇති අතර, පුරෝකථනය කරන ලද 4.4%ට සාපේක්ෂව 5%ක වර්ධනයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂා ඉක්මවා ගොස් ඇති බව ලෝක බැංකුව ඉකුත් අප්‍රේල් 23 වන දා සඳහන් කළේ ය.
ගෝලීය අභියෝග සහ පෙර නොවූ විරූ වෙළෙඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතා මධ්‍යයේ 2025දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5%ක මට්ටමක පවතිනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කළේ ය.
'ජනතාව ඉතා ම පැහැදිලි දේශපාලන පණිවිඩයක් දීලා තියෙනවා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද අවධාරණය කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙරට ජනතාව පැහැදිලි දේශපාලන පණිවිඩයක් ලබා දී ඇති බව ය.
"ලංකාවේ පළාත් පාලන මැතිවරණවල පොදු රටාවක් තියෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණයකින් සහ මහ මැතිවරණයකින් පසුව පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයක තියෙන පොදු ප්‍රවණතාව තමයි ජාතික තලයේ මැතිවරණවලින් ජයග්‍රහණය කරපු පක්ෂය පහසුවෙන් ම ජයග්‍රහණය අත්පත් කර ගන්නවා කියන එක. ඒක යම් විදිහක වෙනසක් වුණා නම් සිදුවුණේ, 2018 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරලා, ඔවුන් ඒකාලේ තිබුණු යහපාලන අණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරපු ව්‍යාපාරය. ආණ්ඩු බලය නොතිබුණු තත්ත්වයක පවා විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා පළාත් පාලන මැතිවරණයෙන්.
"නමුත් ඒක ව්‍යතිරේකයක්. එවැනි තත්ත්වයක් නෙමේ අද තියෙන්නේ, වර්තමාන තත්ත්වය ගත්තොත්, පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ලංකාවේ බහුතරයක් ජනාතාව ඉතා ම පැහැදිලි දේශපාලන පණිවඩයක් ලබා දීලා තියෙනවා. ඒක තමා ඔවුන් තවදුරටත් අර ගතානුගතික දක්ෂිණාංශික දේශපාලන පක්ෂ සහ නායකත්වය පිළිගන්නේ නැහැ කියන එක.
"මේක ඇත්තට ම 2022 ජනතා නැගී සිටීම යම් ආකාරයකින් මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ නිරූපණය වීමක් තමා මේ පෙන්නුම් කරන්නේ. මේක ලංකාවේ ඉතා වැදගත් දේශපාලන පරිවර්තනයක්. නමුත් තාමත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල නායකයින් මේ පණිවිඩය තේරුම් ගත්ත බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන්ගේ ව්‍යාපාර තුළ බොහෝවිට පෙනෙන්න තියෙන්නේ, ඔවුන් කල්පනා කරනවා මේ ආණ්ඩුව ඉතා ම කෙටි කාලයකින් අප්‍රසාදයට පත් වෙලා නැවතත් තමන්ගේ අතට බලය එයි කියලා.
"නමුත් 2022 අරගලයෙන් ඇති වුණ ඒ දේශපාලන පරිවර්තනය යම් ආකාරයක විප්ලවීය පරිවර්තනයක් කියලා කියන්න පුළුවන්. විප්ලවීය කියලා මං අදහස් කරන්නේ, නැවත ආපස්සට හරවන්න බැරි ආකාරයේ හැරවුමක් ලංකාවේ දේශපාලනයේ සිදුවුණා. ඒ නිසා පැරණි මාදිලියෙන් ම, පැරණි දේශපාලන සටන් පාඨ එක්ක, පැරණි නායකත්වයන් එක්ක නැවත බලයට එනවා කියන එක යථාර්ථයක් වෙන්න ඉඩක් නැහැ මේ පවතින තත්ත්වය තුළ," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළේ ය.
ජාතික ජන බලවේගයට අභියෝග කළ හැකි පක්ෂයක් හෝ සන්ධානයක් නැද්ද?
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී 341ක් වන පළාත් පාලන ආයතනවලින් 250කට වැඩි සංඛ්‍යාවක් තමන් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර (මැයි 1) තලවකැළේ ප්‍රදේශයේදී අවධාරණය කළේ ය.
කෙසේ වෙතත්, මේ වන විට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ජාතික ජන බලවේගයට අභියෝග කළ හැකි වාතාවරණයක් තිබේ ද යන්න විමසා බැලිය යුතු කාරණයකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද අවධාරණය කළේ, තම මතය අනුව තනි පක්ෂයක් ලෙස හෝ සන්ධානක් ලෙස ජාතික ජන බලවේගයට අභියෝග කළ හැකි කිසි ම කණ්ඩායමක් දැනට නොමැති බව ය.
"දක්ෂිණාංශික දේශපාලන පක්ෂවල විශාල ඛණ්ඩනයක් ඇති වෙලා තියෙනවා. 1977 වසරෙන් පස්සේ ගත්තා ම වාමාංෂික පක්ෂ අතර තමා බොහෝ කැඩී බීඳී යාම් තිබ්බේ. ඒකේ වාසිය ගත්තා ඒ සාම්ප්‍රදායික දක්ෂිණාංශික පක්ෂ. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන් අනෙක් පැත්තට හැරිලා තියෙනවා.
"සමගි ජන බලවේගය වටා එකතු වෙලා ඉන්න පැරණි එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාධරයින් සහ ඔවුන්ට සහය දීපු කණ්ඩායම් සහ දෙමළ සහ මුස්ලිම් සුළුතර ප්‍රජාවේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේ පක්ෂ වටා එක්වෙලා ඉන්නවා යම් ආකාරයක සිංහල බෞද්ධ ජාතිකවාදී අදහස් දරන සාම්ප්‍රදායික රාජපක්ෂ කඳවුරේ ජනතාව. ඒකෙ ම ඛණ්ඩනයක් කියලා පෙන්නන්න පුළුවන් දිලිත් ජයවීරගේ කණ්ඩායමත් එක්ක ඒ ජාතික වාදයේ ම තවත් කොටසක් ඒකෙන් නියෝජනය වනවා. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වගේ අයත් ඒ කඳවුරේ ම ඡන්දවලට ආමන්ත්‍රණය කරනවා. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය සාම්ප්‍රදායිකව ඔවුන්ගේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයත් එක්ක ඔවුන්ට සහය දක්වන පිරිසත් සමග ඔවුන්ගේ දේශපාලන ආමන්ත්‍රණය ගමන් කරනවා.
"දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ කොහොමටත් වෙන වෙන ම තමයි මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. ජාතික තලයේ මැතිවරණයකදී බොහෝවිට ඔවුන් එක්කෝ එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහය දක්වන ගතියක් තිබුණා. නමුත් මෙවැනි මැතිවරණයකදී ඔවුන් වෙනම තමා මැතිවරණයට ඉදිරිපත් වන්නේ.
"මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්ත ම තනි පක්ෂයක් විදිහට හෝ සන්ධානක් විදිහට ජාතික ජන බලවේගයට අභියෝග කරන්න පුළුවන් කිසි ම කණ්ඩායමක් නැහැ," ඔහු අවධාරණය කළේ ය.
මහජන විශ්වාසය
ජාතික ජන බලවේගය රජයේ මැති ඇමතිවරුන් බොහෝවිට අසත්‍ය ප්‍රකාශ කරන බවට විපක්ෂය නගන විවේචන සම්බන්ධයෙන් ද බීබීසී සිංහල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්දගෙන් විමසා සිටියේ ය.
"විවේචන අද තියෙන මාධ්‍ය අවකාශය තුළ ඉදිරිපත් වෙමින් යනවා. ජාතික ජන බලවේගයට සහය දක්වපු කණ්ඩායම් අතරත් මෙවැනි විවේචන පවතිනවා. නමුත් අපි සැලකිල්ලට ගන්න ඕනේ ඒක මැතිවරණයකදී ජනතාවගේ ඡන්දයට බලපෑමක් කරන්න තරම් ප්‍රබල ද කියන එක. අපි හිතන්න නරක යි ජනතාව කියන්නේ නිෂ්ක්‍රීය සහ පක්ෂවල ප්‍රචාරක ව්‍යාපාරවලින් මෙහෙයවන්න පුළුවන් පිරිසක් කියලා."
මේ අතර, වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී දීපාංජලී අබේවර්ධන පැවසුවේ, ආණ්ඩුව පිළිබඳ සහ ආණ්ඩුවේ තීරණ පිළිබඳ මාධ්‍ය ඇසුරෙන් (Macromedia political analysis) සති පතා විශ්ලේෂණයක් කරන බව ය.
"මාධ්‍යයේ මොන වගේ කියවීමක් ද තියෙන්නේ ආණ්ඩුවට ධානාත්මක හෝ ධනාත්මක නොවන ආකාරයේ කියවීම් දැයි අපි විශ්ලේෂණය කරනවා."
ඒ අනුව දළදා දැක්ම මෙන් ම ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයන් ඔස්සේ කළ විශ්ලේෂණ පිළිබඳ ඇය අදහස් පළ කළා ය.
ඇය පැවසුවේ, දළදා දැක්මත් සමග සිංහල බෞද්ධ ප්‍රජාව අතරේ පිබිදීමක් ඇති වූ බවත් එම දළදා දැක්ම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විවේචන එල්ල වීමේ තත්ත්වයන් මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය වූ බවත් ය.
කෙසේ වෙතත්, ආණ්ඩුව පිළිබඳව පළවන ධානාත්මක දේ තුළින්, නිෂේධනාත්මක දේ අඩු වී යන බවක් දකින්න ඇතැයි ඇය සඳහන් කළා ය.
දළදා දැක්මේ කැලි කසළ ඉවත් කිරීම පුද්ගලබද්ධ කාරණාවක් බවට මාධ්‍ය තුළ මත පළ වීමත් ආණ්ඩුවට වැඩි බලපෑමක් එල්ල නොවූ බවත්, මෙය අන්තර් ආගමික සහජීවනය ඇති වූ අවස්ථාවක් බවට පත්වීමත් ඔස්සේ විශාල ධානාත්මක වර්ධනයක් ඇති වූ බවත් ඇය සඳහන් කළා ය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඉන්දියාව සමග ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇය කියා සිටියේ, "මිනිසුන්ගේ ජන මනස මාධ්‍ය ඔස්සේ විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකාව පිටස්තර ලෝකයත් සමග එක්ව කටයුතු කළ යුතු බවට ධනාත්මක සාකච්ඡාවක් තමයි තිබුණේ," යනුවෙනි.














