ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: පසුබැස්මට හේතුව කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, සටන අත්නොහරින බව මහින්ද රාජපක්ෂ කියයි

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවකින් පසුව ඉල්ලා අස් වන්නට සිදු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දී ජනාධිපති අපේක්ෂයා ලෙස දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් සහ, 2020 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණයේ දී මෙන් ම මහ මැතිවරණයේදී දැවැන්ත පසුබෑමකට ලක් වී තිබුණි.

2019 ජනාධිපතිවරණයේ දී ලක්ෂ 69කට අධික ඡන්ද සංඛ්‍යාවක් සහ 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2024 ජනාධිපතිවරණයේ දී ලබා ගත හැකි වූයේ ඡන්ද 342,781කි.

එය ප්‍රතිශතයක් වශයෙන් 2.57%කි.

Mahinda Rajapaksa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දශකයන් තුළ සිදු වූ නැගීම සහ බැසීම

2005 දී ජනාධිපති ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් 2010 දී නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කළේ රට තුළ ඇතිව තිබූ සිවිල් යුද්ධය 2009 දී අවසන් වූ පසුබිමකයි.

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට දකුණේ බහුතර සිංහල ජනතාව වෙතින් මහත් ප්‍රසාදයක් හිමි වූ අතර, එවකට ආරක්ෂක ලේකම් වූ ඔහුගේ සහෝදරයෙකු වන ගෝඨාභය රාජපක්ෂට ද එම ජන ප්‍රසාදය හිමි ව තිබුණි.

කෙසේ නමුත් එතැන් පටන් 2015 ජනාධිපතිවරණය දක්වා කාලය තුළ බලය අනිසි ලෙස භාවිත කිරීම් සම්බන්ධයෙන් විශාල චෝදනා රැසක් රාජපක්ෂ පවුලට එල්ල විය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර තෙවැනි වතාවටත් ජනාධිපති ධූරය ලබා ගැනීමේ අටියෙන් ජනාධිපතිවරණයට එළැඹි මහින්ද රාජපක්ෂ 2015 දී පරාජයට පත් විය.

කෙසේනමුත් හිටපු ජනාධිපතිවරයෙකු සිය නිල කාලයෙන් පසුව නැවත පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව ලෙස 2015 දී මහින්ද රාජපක්ෂ කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණේ ය.

2016 දී ඔහුගේ සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ අතර, එම පක්ෂය 2018 දී පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී අති විශාල ජයක් අත් කරගත්තේ ය.

2019 දී එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව, ගෝඨාභය රාජපක්ෂ විසින් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව නිවේදනය කළේ ය.

එම වසරේ දී ඔහු ලක්ෂ හැට නවයක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත් අතර, දැඩි කොවිඩ් වසංගත තත්ත්වයක් මධ්‍යයේ පැවති මහ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 145ක් දිනා ගැනීමට සමත් විය.

රුවන්වැලි සෑය ඉදිරිපිට සිය දිවුරුම් දීමේ උත්සවයේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඔහු සිංහල බෞද්ධ නායකයෙකු බවත් ඔහුව තෝරා ගත්තේ සිංහල බෞද්ධ ජනතාව විසින් බවත් ය.

කෙසේ නමුත් කෙමෙන් කෙමෙන් සිදු වූ ආර්ථික පරිහානියත් සමග ඔහුට මහ ජනතාවගේ විරෝධයට ලක් වන්නට විය.

සිදු වූයේ කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලක්ෂ හැට නවයක සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සමග දේශපාලනයට පිවිසි ගෝඨාභය රාජපක්ෂ සහ එම රජය විසින් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව මහජන අප්‍රසාදය ක්‍රමයෙන් වර්ධනය වූ අතර, ඒවායේ බලපෑමට ලක් වූ ජනතාව විරෝධතා දැක්වීම ආරම්භ කර තිබුණි.

ඒ සමග ම ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් "ගෝ හෝම් ගෝටා" යන සටන් පාඨය සමාජය තුළ මතු වූ අතර, එය හුදෙක් ම ගෝඨාභය රාජපක්ෂට එල්ල වූවක් නොවේ.

මෙම විරෝධය සමස්ත රාජපක්ෂ පවුලට ම එල්ල වූ එකක් වූ අතර, රාජපක්ෂ පවුලේ සමාජිකයන් සියලු දෙනාට ජනතාව අතර දැඩි විරෝධයක් මතු විය.

රට පුරා පැතිර ගිය විරෝධතා සහ ඒවාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙය වූ නායකයන් විසින් ප්‍රතිචාර දැක් වූ ආකාරය නිසා එවකට අගමැති ධූරය දැරූ මහින්ද රාජපක්ෂයට සිය ධූරයෙන් ඉල්ලාඅ අස් වීමට සිදු විය.

හිස් වූ අගමැති ධූරය සඳහා, රාජපක්ෂවරුන් එම දශක කිහිපයේ සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙස සැලකූ - 2020 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එක ම මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහව පත් කරන ලදි.

එම පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එවකට මන්ත්‍රීවරුන් ව සිටි කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර තිබුණි.

අඛණ්ඩ ආණ්ඩු විරෝධී විරෝධතාවල ප්‍රතිඵලයක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමටත්, රාජපක්ෂ පවුලේ අනෙක් සාමාජිකයන්ටත් සිය ආරක්ෂාව සලසා ගැනීමට සිදුවූයේ ජනතාව විසින් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතන අත්පත් කරගැනීමත් සමගයි.

රටින් පලා ගිය ගෝඨාභ්ය රාජපක්ෂ සිය ඉල්ලා අස් වීම ප්‍රකාශයට පත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසට සිය දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කළ හ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඩලස් අලහප්පෙරුම ද එම ජනාධිපතිවරයා ලෙස පත් වීමට අදාළ ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් සහ විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඔහුට සහය පළ කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැදිහත් ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගැනීම සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගොඩනැගී තිබූ "225ම එපා" යන සටන් පාඨය තවත් තීව්‍ර විය.

ආසන 145ක සිට 3ක් දක්වා පහළ බැසීම සහ ආසන 3ක සිට 159ක් දක්වා ඉහළ යාම

2020 මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145ක් දිනාගත් අතර, පළමුවරට මාලිමාව යටතේ ජාතික ජන බලවේගය තරග කළ එම මහ මැතිවරණයේ දී ඔවුන්ට දිනාගත හැකි වූයේ මන්ත්‍රී ආසන තුනක් පමණි. කෙසේනමුත් 2024 සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් වාමාංශික නැඹුරුවක් සහිත ජාතික ජනබලවේග අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ජයගැනීමෙන් මහජනතාව විසින් වසර දෙකකට පෙර පැවති අරගලයේදී ඔවුන් මතු කළ ජනවරමේ වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නය විදහා දක්වා තිබුණි.

එතෙක් මාරුවෙන් මාරුවට සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයා ජයග්‍රහණය කළ සංස්කෘතිය වෙනුවට, නව දේශපාලන පක්ෂයෙක නායකයෙකුට බලය ලබා දීමට ජනතාව තීරණය කර තිබුණි.

එමෙන් ම අවසන් වූ මහ මැතිවරණයේ ද ජනතාව ඔවුන් අරගලයෙන් බලාපොරොත්තු වූ අරමුණු වඩාත් ප්‍රජාත්නත්‍රවාදී මුහුණුවරකින් මැතිවරණයේ දී සලකුණු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව තිබූ තුනෙන් දෙකක පැහැදිලි බලය වෙනුවට ඔවුන්ට හිමිව ඇත්තේ මන්ත්‍රීධූර දෙකක් පමණි.

රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් කිසිවෙකුත් මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර, නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු විය.

මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන රාජපක්ෂ පවුලට සම්බන්ධ දෙදෙනා ද මැතිවරණයෙන් පරාජයට පත් ව තිබේ.

එය ජනතාව විසින් ම ඔවුන්ට ලබා දුන් ජනවරම නැවත හැරවීමකි.

'ධනවාදී නායකයෙකුට සහය දීමෙන් පක්ෂය පිරිහුණා'

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් "වියත් මග" කණ්ඩායමේ ආචාර්ය නාලක ගොඩහේවාගෙන් බීබීසී සිංහල කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ පක්ෂයේ මෙම පරිහානියට හේතුව පක්ෂයේ පාක්ෂිකයන් අකමැති පුද්ගලයෙකු ජනාධිපති වශයෙන් පත් කරගැනීම බවයි.

ආචාර්ය නාලක ගොඩහේවා 2020 දී මහමැතිවරණයට තරග කර වාර්තාගත ජයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නමුත් මෙවර මැතිවරණයට තරග කළේ නැත.

"පහුගිය කාලෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටේ එකතු වෙලා හිටියේ යම් වාමාංශික මතවාදයක් දරපු සමාන්‍ය ජනතාව. නමුත් පක්ෂයේ නායකත්වය ඒ ජනතාව අමතක කරලා සම්පූර්ණයෙන් ම ධනවාදී පුද්ගලයෙක් වුණ රනිල් වික්‍රමසිංහ එක්ක එක්වීමෙන් ජනතාවට පක්ෂය එපා වුණා," ආචාර්ය ගොඩහේවා පැහැදිලි කළේ ය.

අප ආචාර්ය ගොඩහේවාගෙන් එහි දී විමසා සිටියේ මෙම පසුබැස්මට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක් වූ පාර්ශවයක් වශයෙන් ඔවුන්ද වගකිවයුතු නොවේද යන්නයි.

"අපට පක්ෂය එක්ක ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තිබුණා රනිල් වික්‍රමසිංහ සමග. අපි හැමදාම විවේචනය කරපු ප්‍රතිපත්තියකට නායකත්වය දෙන කෙනෙක් අපේ පක්ෂයෙන් නායකයෙක් කරගත්තම අපට පක්ෂයේ ඇතුළේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අපි ස්වාධීන වුණා. අපි වෙනත් පක්ෂයකට එකතු වුණේ නෑ," ඔහු පැවසුවේ ය.

"අපට සහ අපට සහය දුන්න ජනතාවට පිළිගන්න බැරි නායකත්වයක් පස්සෙ පොදුජන පෙරමුණ පෙළ ගැසුණා. එහෙම නැතිව දැන් වගේ ම පොදුජන පෙරමුණේ ම කෙනෙක් නායකත්වයට තෝරාගත්තා නම් සමහරවිට මේ තරම් ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඉඩ තිබුණා. ඒ නිසා තමයි ජනතාව මෙවැනි පිළිතුරක් ජනාධිපතිවරණයේදිත් ලබා දුන්නේ."

එමෙන් ම ආචාර්යවරයා පෙන්වා දෙන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හට මීට පෙර ගෞරවණීය ලෙස දේශපාලනයෙන් ඉවත්ව යන්නට තිබූ බවයි.

"මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ නායකයා කියන එක බැහැර කරන්න බෑ. නමුත් ඔහු ඒ ගෞරවය තියාගෙන, ගෞරවණීය ලෙස සමුගත්තා නම් අදටත් මිනිස්සු ඔහුට ගරු කරනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සිදුවුණ දුර්වලතා සම්බන්ධයෙන් අරගලයේ දී චෝදනා එල්ල වුණේ පොදුජන පෙරමුණේ පැරණි නායකත්වයට. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට අවාසනාවන්ත විදිහට ඒයට කරගහන්න සිදුවුණා."

එහි දී ඔහු තවදුරටත් කරුණු දැක්වූයේ ය.

"මහින්ද රාජපක්ෂ මහත්මයා වුණත් අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙන්න ඒ තරම් කල් නොගත්තා නම් මිනිස්සු තුළ පක්ෂයට මේ තරම් විරෝධයක් ගොඩනොනැගෙන්න ඉඩ තිබුණා. එහෙනම් මැයි 09 වගේ සිදුවීමක් වෙන්නෙත් නෑ. ඒ වගේ ම ඔහු කැබිනට් ඇමතිවරුන් පනහකට අධික ප්‍රමාණයක් ඉල්ලා අස් වුණ වෙලාවේ අස් වුණා නම් මෙතරම් අප්‍රසාදයක් ගොඩනැගෙන්නේත් නෑ. පක්ෂය විසින් ගත්ත එවැනි වැරදි තීන්දු තීරණ කිහිපයක් නිසා තමයි පක්ෂය මේ තරම් පසුබැසීමකට ලක් වුණේ කියලා මම හිතවා."