සමගි ජන බලවේගය පරාජයත් සමග සජිත්ගේ දේශපාලන ගමන අවසන් වෙයි ද?

sajith Premadasa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නොවැම්බර් මස 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය පසුගිය මහ මැතිවරණයට සමගාමීව ප්‍රබල පසුබෑමක් අත්කර ගැනීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඡන්ද 2,771,984ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ධුර ආසන 54ක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය සමත් විය.

කෙසේ වුවද මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ලබා ගැනීමට හැකි වුයේ ඡන්ද 1,968,716ක් අතර ඔවුන්ට හිමි වුයේ ආසන සංඛ්‍යාව 40ක් පමණි.

පසුගිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජනබල වේගයට සිදුවුයේ කුමක්ද? මේ ඒ ගැන බීබීසී සිංහල සිදුකළ සොයා බැලීමයි.

එජාපයෙන් බෙදී ඇරඹුණු බලවේගය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර නායකත්වය සම්බන්ධයෙන් පැවති දීර්ඝ කාලීන අභ්‍යන්තර මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේ දී සමගි ජනබල වේගය පිහිටුවනු ලැබීය. ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 77 දෙනෙකුගෙන් 52 දෙනෙකු නව සන්ධානයට එක්වු අතර ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය 2020 පෙබරවාරි වන දින නව සන්ධානයට එක් විය.

සමගි ජනබල වේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කෙරුණ අතර පක්ෂ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර නම් කෙරුණි.

පළමු මහ මැතිවරණයේ ලැබූ පන්නරය

සමගි ජනබල වේගය පිහිටුවා මාස 06ක් ගතවීමෙන් අනතුරුව පැවති පළමු මහ මැතිවරණය ඉතා සුවිශේෂී එකක් විය. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රට තුළ මහජනතාවගේ ඉහළ ප්‍රසාදයක් හිමිවිය.

2020 වසරේ අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද මිලියන 6,853,690ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ ආසන 145ක් හිමිකර ගනු ලැබූ අතර සමගි ජනබල වේගය ඡන්ද 2,771,980ක් (ඡන්ද ප්‍රතිශතය 23.9%) සමගින් පාර්ලිමේන්තු ආසන 54ක් හිමිකර ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වෙමිනි. ඒ අනුව විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර නායකත්වය සම්බන්ධයෙන් පැවති දීර්ඝ කාලීන අභ්‍යන්තර මත ගැටුමක ප්‍රථිපලයක් ලෙස සමගි ජනබල වේගය පිහිටුවනු ලැබීය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර නායකත්වය සම්බන්ධයෙන් පැවති දීර්ඝ කාලීන අභ්‍යන්තර මත ගැටුමක ප්‍රථිපලයක් ලෙස සමගි ජනබල වේගය පිහිටුවනු ලැබීය

සජබය ආරම්භ කළ වෙඩි මුරය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2022 වසරේ දී රටේ පැවති ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොඩනැගුණ ජනතා විරෝධතා වල මුල් පියවරේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි ජනබල වේගයේ කාන්තා ක්‍රියාකාරීන් විසින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිටට එක්වී විරෝධතාවයක නිරත විය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා රටින් පලා යාමෙන් පසු සමගි ජනබල වේගයට උද්ගතව තිබු ගැටලුකාරී තත්ත්වය හමුවේ රටේ පාලන බලය ලබා ගැනීමට අවස්ථාව තිබුණද, විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසට එම අවස්ථාව ලබා නොගැනීම ගැන පක්ෂය අභ්‍යන්තරයෙන් චෝදනා ද එල්ල විය.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති 'අරගලයට' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයේදී විරෝධතාකරුවන් ගේ සහයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද අරගලයට සම්බන්ධ ඇතැම් පිරිස් පහර දීමට උත්සාහ දැරීම ද කැපී පෙනන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ 'සජිත් ප්‍රේමදාස අරගලකරුවන් සමග සිටිනවා යැයි සිතාගෙන සිටියත් ඔවුන් එම සිතිවිල්ලේ නොසිටි' බවයි.

"සජිත් ප්‍රේමදාස හිතුවේ එයත් ඉන්නේ අරගලය පැත්තේ කියලා. නමුත් අරගලය විසින් එහෙම හිතුවේ නැහැ. සජිත් ප්‍රේමදාසගේ ව්‍යාජ විඥානය අනුව තමයි ඔහු කල්පනා කරන්න ඇත්තේ මේ අවස්ථාවේදී බලය ලබා ගන්න එකට වඩා තමනුත් ජනතාව ගේ පැත්තට ඉන්න එක වඩාත් හොඳයි ජනතාවගෙන් තර්ජනය එල්ලවන නායකයෙකු ළඟට යනවාට වඩා කියලා. නමුත් සිද්ධ වුණේ වෙනත් ධාරාවකින් රනිල් වික්‍රමසිංහ ජනතාවගේ පැත්තෙන් බලනවාට වඩා බලය ලබා ගැනීම වැදගත් කියලා හිතලා ක්‍රියා කළා." ඔහු පැවසුවේය.

"සජිත් ප්‍රේමදාස හිතුවේ එයත් ඉන්නේ අරගලය පැත්තේ කියලා. නමුත් අරගලය විසින් එහෙම හිතුවේ නැහැ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "සජිත් ප්‍රේමදාස හිතුවේ එයත් ඉන්නේ අරගලය පැත්තේ කියලා. නමුත් අරගලය විසින් එහෙම හිතුවේ නැහැ"

සජිත්ට පිටු පෑ මන්ත්‍රීවරුන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලය හිමිව තිබු පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෙස රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පත් කෙරුණු අතර සමගි ජනබල වේගයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඒ සමග පක්ෂයෙන් ඉවත්ව යන ලදී.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවට සහය දීමට එක්වීමත් සමග සමගි ජනබලවේගය තුළ යම් දෙදරීමක් ඇතිවිය.

මීට අමතරව සමගි ජන බලවේගයේ පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, සරත් ෆොන්සේකා, ඩයනා ගමගේ, ඒ. එච්. එම්, ෆවුසි, වඩිවෙල් සුරේෂ්, අරවින්ද් කුමාර්, එම්. වේලුකුමාර්, කුමාර වෙල්ගම, අලි සබ්රි රහීම්,එස්.එම්.එම්. මුෂාරෆ් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයක දී පක්ෂයේ නායකත්වය විවෙචනය කරමින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමටත්, ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමටත් එක්විය.

සරත් ෆොන්සේකා විසින් සජිත් ප්‍රේමදාසට එරෙහිව පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සරත් ෆොන්සේකා විසින් සජිත් ප්‍රේමදාසට එරෙහිව පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය

ෆොන්සේකා එල්ල කළ චෝදනාව

සමගි ජනබල වේගයේ සභාපතිවරයෙකු මෙන්ම මන්ත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.

තමන්ට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට කාලය වෙන් කිරීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මැලි වූ බවත් ආණ්ඩු පක්ෂයට වෙන්ව තිබු කාලය තමන්ට ලබාදුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එහිදී පැවසුවේය.

“මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටියා මට සභාවේ කතා කරන්න වෙලාවක් දෙන්න කියලා. එවිට මන්ත්‍රීවරයා මගෙන් ප්‍රශ්න කළේ මට සභාවේ කතා කිරීමට වෙලාවක් අවශ්‍ය නම් ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙනවා ද කියලයි. ආණ්ඩු පක්ෂයෙන් මට අද කතා කරන්න වෙලාවක් ලැබුණා. මම සභාව තුළ සැසි තුනකට වරක් පමණක් කතා කරන අතර දිනකට පැය භාගයකට වඩා වැඩි කාලයක් සභාවේ කතා කරන තවත් පිරිසක් සිටිනවා” යැයිද ෆොන්සේකා පැවසුවේය.

එමෙන්ම විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පාසැල් සඳහා සිදුකරන ආධාර බෙදා දීම සඳහා කැසිනෝ හිමියන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ද මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළේය.

“අධිවේගී මාර්ග සඳහා වෙන් කළ මහජන මුදල් මම කොල්ල කා නැහැ. මම කැසිනෝ හිමියන්ගෙන් මුදල් ලබාගෙන පාසල් සහ රෝහල් සඳහා උපකරණ බෙදා දී නැහැ. විවිධ භාණ්ඩ බෙදා දීලා රටක් දියුණු කරන්න බැහැ. මේ තෑගි පිළිගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලන්නේ නැහැ. ඒ අයට පිළිගන්න පුළුවන් නමුත් නරක ජාන තියෙන අයට ඡන්දය දෙන්න එපා” ඔහු පැවසීය.

'පවුලේ අයගේ මැදිහත් වීම නිසා පක්ෂයේ ගැටළු ඇතිවෙලා'

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දක්වමින් පැවසුවේ සමගි ජනබලවේගය පක්ෂයේ නායකත්වය සමබන්ධයෙන් ගැටුම් ඇතිවීමට හේතුව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගේ සමිපතයින්ගේ මැදිහත් වීම නිසා ඇතිවූ සිදුවීම් මත බවටන් තොරතුරු වාර්තා වන බවයි.

"සමගි ජනබල වේගයේ නායකත්වය ගැන පක්ෂයේ අභ්‍යන්තරයේ යම් ගැටළු තියෙනවා කියලා දැන ගන්න ලැබෙනවා අපට. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ගේ නායකත්වය ගැන විවේචන එල්ල වනවා. ඔහුගේ බිරිඳ සහ සහෝදරිය ඇතුළු කිහිප දෙනෙකුගේ අත පෙවීමක් තියෙනවා කියලා. ගොඩක් දෙනෙක් කියනවා සමගි ජනබල වේගයත් ගමන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අඩි පාරේ කියලා. මේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ විශාල සංවිධානාත්මක භාවයක් දකින්න ලැබෙන්නේ නැහැ.ඒකට හේතුව ඔවුන්ගේ අභ්‍යන්තරයේ පවතින ගැටුම් නිසා කියලා.'' ඔහු පැවසුවේය.

දේශපාලන වේදිකාවේ හාස්‍යකරණයට ලක්වීම

තම පක්ෂයේ නායකයා වන සජිත් ප්‍රේමදාස සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හාස්‍යකට ලක් වීම ද සමගි ජනබල වේගය පක්ෂයට දේශපාලන වේදිකාවේදී මුහුණ දීමට සිදුවූ තවත් අසීරු සිදුවීමක් විය.

සජිත් ප්‍රේමදාස විසින් ජපන් භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දේශපාලන වේදිකාවේදී ප්‍රකාශ සිදුකිරීම වැනි කරුණු අරඹයා ඔහුව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට ලක් කරන අවස්ථාවන් රැසක් පසුගිය වසර කිහිපයේදී දක්නට ලැබිණි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් අදහස් දක්වමින් සඳහන් කලේ දේශපාලන වේදිකාවේදී දේශපාලඥයා සහ ජනතාව අතර සිදුවන සංවාදය ඉතා වැදගත් බැවින් සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතු බවයි.

" සජිත් ප්‍රේමදාස දේශපාලන වේදිකාවේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීම හරහා ඔහුව යම් හාස්‍යකරණයට ලක් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කර තිබුණා. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් ප්‍රකාශ කරන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන පුද්ගලයින්ව ආමන්ත්‍රණය කරන්න වෙන්න පුළුවන්. නමුත් සමාජ මාධ්‍ය තමයි විශාල මතවාදයක් ඇති කරන්නේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් මෙයින් ප්‍රයෝජන ගත්තා. ඒ වගේම සජිත් ප්‍රේමදාස දේශපාලඥයෙකු විදිහට ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි. මොකද දේශපාලඥයා වගේම ජනතාව අතර ඇතිවන සංවාදය ඉතා වැදගත් දෙයක්." ඔහු පැවසුවේය.

"සජිත් ප්‍රේමදාස දේශපාලඥයෙකු විදිහට ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි. මොකද දේශපාලඥයා වගේම ජනතාව අතර ඇතිවන සංවාදය ඉතා වැදගත් දෙයක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "සජිත් ප්‍රේමදාස දේශපාලඥයෙකු විදිහට ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි. මොකද දේශපාලඥයා වගේම ජනතාව අතර ඇතිවන සංවාදය ඉතා වැදගත් දෙයක්."

ජනාධිපතිවරණය සඳහා එක්වූ සන්ධානය

2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජනබල වේගය පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් විමට තීරණය කිරීමත් සමග නව සන්ධානයක් ඇති කර ගැනීමට දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් සමග සම්මුතියකට එළඹුණි. ඒ ඉකුත් අගෝස්තු මස 08 වැනිදායි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය ලෙස නව සන්ධානය නම් කෙරුණ අතර ඊට හිටපු මන්ත්‍රී රවුෆ් හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පලනි දිගම්බරන් නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ, වී. රාධාක්‍රිෂ්නන් නායකත්වය දරන කඳුරට ජනතා පෙරමුණ, ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාව, මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශ්වය සහ අර්ජුන රණතුංග ප්‍රමුඛ පුරවැසි හඬ බහුජන ව්‍යාපාරය ඇතුලත් විය.

2024 ජනාධිපතිවරණයේදී සජබයට මොකද වුනේ ?

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී සමගි ජනබල වේගය නියෝජනය කළ සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමට හැකි වුයේ ඡන්ද 4,363,035ක් පමණක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 32.76%ක් විය.

2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්ද 5,564,239ක් හිමිවූ අතර එය ප්‍රතිශතයක් ලෙස 41.99%ක් විය.

පවුලේ අයගේ මැදිහත් වීම නිසා පක්ෂයේ ගැටලු ඇතිවෙලා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පවුලේ අයගේ මැදිහත් වීම නිසා පක්ෂයේ ගැටලු ඇතිවෙලා"

මාලිමාව ගෙනා අභියෝගය

ජාතික ජනබල වේගය විසින් රටේ ජනතාව ඉදිරියේ තබා තිබෙන වැඩපිළිවෙල අනෙක් දේශපාලන පක්ෂ වලට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවත් විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ගේ ඉදිරි දේශපාලන ගමන තීරණය කිරීමේ සංධිස්ථානයක් ලෙස මෙය හැදින්විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් වැඩිදුරටත් පැවසුවේය.

" සමගි ජනබල වේගය ආරම්භ වන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ තිබුණු රනිල් වික්‍රමසිංහ ගේ ඒකාධිපති පාලනයට විරුද්ධවයි. අරගලය හරහා රටේ ජනතාව තුළ යම් මතයක් ඇති වුණා පැරණි පක්ෂ ක්‍රමයට දේශපාලනය යෙදීම තවත් සුදුසු නැහැ කියලා. මේ සමගම ජාතික ජනබල වේගය වගේම සමගි ජනබල වේගයට ජනතාවගේ විශාල ආකර්ෂණයක් ඇතිවුණා. මොකද ඒ බලවේග ඇතුළේ පක්ෂ ක්‍රමයට වඩා තිබුණේ පක්ෂ කිහිපයක එකතුවක්.''

''2022 අරගලයෙන් පස්සේ ලංකාවේ දේශපාලන පක්ෂවල යම් ධ්‍රැවීකරණයක් ඇතිවුණා. එකේ හොඳම උදාහරණය තමයි 2024 ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට හිමිවුණු ජනතා කැමැත්ත. 2019 වසරේ ජනාධිපතිවරණයේදී ඔහුට හිමිවුනේ ඡන්ද ලක්ෂ 04කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්ද ලක්ෂ 53කට වැඩි ප්‍රමාණයක් හිමිවුණා.''

''මේ එක්කම ජාතික ජනබලවේගය විසින් ජනතාව හමුවේ ඉදිරිපත් කර තිබෙන නව වැඩපිළිවෙල නිසා සමගි ජනබල වේගය ඇතුළු සියලුම් දේශපාලන පක්ෂ වලට අභියෝගයක් එල්ලවෙලා තියෙන්නේ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාසටත් ඒ අභියෝගය එල්ලවී තිබෙනවා.''

''ඒ අභියෝගය තමයි ජාතික ජනබල වේගය ජනතාව හමුවේ ඉදිරිපත් කරලා තියෙන න්‍යාය පත්‍රයට කොහොමද මුහුණ දෙන්නේ යන කාරණාව මතයි සජිත් ප්‍රේමදාසගේ ඉදිරි දේශපාලන ගමන රැදී තිබෙන්නේ.''

''දේශපාලන පද්ධතිය විශෝධනය කිරීමේ සටන් පාඨයට බොහෝ දෙනා කැමති වෙලා ඉන්නවා. ඒ සටන් පාඨයට අපි කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ජනතාව විශ්වාස කරනවා දැඩි ආර්ථික පීඩනය මැද්දේ වුණත් දේශපාලන පද්ධතිය වෙනසක් වෙන්න ඕන කියලා.''

''සමගි ජනබලවේගයට සිද්ධ වෙනවා ඔවුන්ගේ දේශපාලන පරිකල්පනයේ වෙනසක් සිද්ධ කරන්න අනිවාර්යෙන්ම. තවදුරටත් පැරණි ආකෘතියේ පක්ෂවලට දේශපාලන වේදිකාවේ ඉදිරියක් නැහැ කියන එක දැන් පැහැදිලි. නව දේශපාලන ගමන් මගක් ආරම්භ කරන්නේ කොහොමද කියන එක ජාතික ජනබල වේගය උදාහරණයක් විදිහට පෙන්වලා දීලා තියෙනවා.''

''ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් වනවා වගේම ආර්ථික ගැටලුවලට ලබාදෙන විසඳුම් එක්ක තමයි ඕනෑම දේශපාලන පක්ෂයක ඉදිරි ගමන තීරණය වෙන්නේ." ඔහු පැවසුවේය.

''පාර්ලිමේන්තුවේ ආසන 90ක් හෝ 100ක් ගන්න බැරිනම් සමගි ජනබලවේගය පක්ෂය ඇතුලේ සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයට විශාල ගැටලුවක් ඇතිවෙන්න තියෙන හැකියාව වැඩියි.''

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ''පාර්ලිමේන්තුවේ ආසන 90ක් හෝ 100ක් ගන්න බැරිනම් සමගි ජනබලවේගය පක්ෂය ඇතුලේ සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයට විශාල ගැටලුවක් ඇතිවෙන්න තියෙන හැකියාව වැඩියි.''

ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් රටකට ඉතා වැදගත් බවයි.

" ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නැති වුණොත් ඒක විශාල ගැටලුවක් වෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක. එහෙම නොවෙනවා කියන්නේ ඒක විශාල ගැටලුවක්.''

''අවම වශයෙන් පාර්ලිමේන්තුවේ ආසන 90ක් හෝ 100ක් ගන්න බැරිනම් සමගි ජනබලවේගය පක්ෂය ඇතුලේ සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයට විශාල ගැටලුවක් ඇතිවෙන්න තියෙන හැකියාව වැඩියි.''

''දැනට සජිත් ප්‍රේමදාස සමග සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්. යම් විදිහකින් මේක මෙහෙමම වුණොත් ඔවුන් නැවත රනිල් වික්‍රමසිංහ වෙතට යන්න තියෙන හැකියාව වුණත් වැඩියි." ඔහු පැවසුවේය.