ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධුරය භාරගන්න සූදානම්

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් අග්‍රමාත්‍යධුරය භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ය.
අද (මැයි 11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේ ය: "මහ බැංකු අධිපතිතුමා හම්බවුණා. එතුමා කියලා තියෙනවා තව සුමානයකට තමා සල්ලි තියෙන්නේ කියලා. එතුමා කියලා තියෙනවා අලුත් ආණ්ඩුවක් ආවේ නැත්නම් එතුමා ඉල්ලා අස්වෙනවා කියලා. රට තියෙන්නේ භයානක තත්ත්වයක."
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කෙරුවා මං හිතන්නේ අද. ඒ අය පැහැදිලිව කියලා තියෙනවා, ඒ අය ආධාර කරන්නේ අලුත් ආණ්ඩුවකට කියලා. අද අගමැතිවරයා කියන්නේ පඹයෙක්. පාර්ලිමේන්තුව කියන්නේ සත පහක බලයක් නැති ආයතනයක්. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා පඹයෙක් වෙන්න සූදානම් නැහැ," සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
"ඉතිං අපි ජනාධිපතිතුමාට කියනවා අපිට වධදෙන්නේ නැතිව, අපේ රටට අලුත් ආරම්භයක් ඇතිකර ගන්න සහයෝගය දීලා වහාම ධුරයෙන් නික්ම යන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැතිකම භාරගන්න සූදානම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවා නම්. මේ ජනාධිපතිවරයාට දේශීය වශයෙන් පිළි ගැනීමකුත් නැහැ. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකුත් නැහැ."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
අගමැතිට සහ ආණ්ඩුවට විරුද්ධවත්, ජනාධිපතිවරයාට විරුද්ධවත් විපක්ෂය විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කළ බව ද, අගමැති ඉල්ලා අස්වීම හමුවේ අගමැතිට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා තවදුරටත් අනවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඊයේ කැඳවා තිබූ පක්ෂ නායක රැස්විමේ දී තීරණය කිරීමට නියමිතව තිබුණ ද කතානායකවරයා හදිසියේම එම පක්ෂ නායක රැස්වීම අවලංගු කළ බව ඔහු කියා සිටියේ ය.
කෙසේ වෙතත්, තමන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් විමසීමක් කළ බවත්, ලබන සතිය ඇතුළත ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත හැකියැ යි ඔහු සඳහන් කළ බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර මේ ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ලෙස විපක්ෂ නායකවරයා චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
විනිවිද පෙනෙන ලෙස රට පාලනය කිරීමත්, අල්ලස, දූෂණය, මර්ධනය මුලිනුපුටා දැමීම සිය පාලනයේ ප්‍රමුඛස්ථානය හිමිවනබව පැවසූ ප්‍රේමදාස, ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව ද සඳහන්කොට, ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙස ද තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
මේ අතර අනෙකුත් පක්ෂ සහාය දෙන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුව භාරගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේ ය.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
දේශපාලන අර්බුදය නිමා කිරීමේ ජාතික ජනබලවේගයේ යෝජනා මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake/Facebook
වර්තමාන දේශපාලන අර්බුදය නිමාකොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටිකාලීන යෝජනා මාලාව අද (මැයි 11) එළිදක්වනු ලැබීය.
එම යෝජනාවලිය මෙසේ ය:
- වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත්විය යුතු ය
- දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතු ය
- වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින් ද, ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ද, වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින් ද, මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු ය
ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;
(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින්, ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම
(ආ) එසේ නොමැති නම්, කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත
- ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටුකළ යුතු ය
I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුරකාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කරගත යුතු ය
II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතල ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතු ය
III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමත කරගත යුතු ය
IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි, ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය ද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතු ය
V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේ ද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතු ය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතු ය
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
"සජිත් ආණ්ඩුව බාරගන්නවා නම් සහාය දෙනවා" - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
සජිත් ප්‍රේමදාස ආණ්ඩුව භාරගන්නේ නම් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සූදානම් බව අද (11) කොළඹ දී මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම්, අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන් එය ලබාදීමට සූදානම්," ඔහු ප්‍රකාශ කළේ ය.
"මොකද හේතුව රට අරාජික කරන්න බෑ. අද අපි පක්ෂ 11ක නායකයින් සමගත් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඒ තීන්දුවත් ඉදිරියේ දී ගන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා යනකල් අගමැතිවරයා පත්කරන්න බැහැ කියන මතයේ ඉන්නවාට වැඩිය අපි කියන්නේ ඒ නායකත්වය අරගෙන වැඩකරන්න. ඔවුන්ට තමා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිවරයා පළවෙනියෙන්."
"ඒ ක්‍රියාදාමය සිදුවෙන්නේ නැත්නම් ඊළඟට බලන්න ඕනේ ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාදාමය මොකද්ද කියලා," ඔහු කියා සිටියේ ය.
"ජනාධිපතිතුමා ඉවත්වුණොත් රට අරාජික වෙයි. එතකොට අගමැතිත් නෑ, ජනාධිපතිත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා අගමැතිකම භාරගෙන තමා ඉතුරු ටික කියන්න ඕනේ ජනාධිපතිතුමාට යන්න කියලා. ජනාධිපතිත් නැතුව අගමැතිත් නැතුව රට කවුද භාරගන්නේ?"











