ජනපතිකම භාර ගන්න සුදානම් :ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය"ව්‍යාකූලයි, අවිනිශ්චිතයි, අරාජිකයි" සජිත් කියයි.

Sajith Premadasa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක කටයුතු කිරීමට තමන් සූදානම් බව සජිත් ප්‍රේමදාස පවසයි.
    • Author, අන්බරසන් එතිර්රාජන්
    • Role, BBC News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීයට පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් වූ පසු තමන් ජනාධිපති ලෙස ඉදිරිපත් වීමට අදහස් කරන බවයි.

සමගි ජන බලවේගය (සජබ) ඊට සහාය ලබා ගැනීම සඳහා මිතුරු පාක්ෂිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.

මේවන විට ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ඉන් පීඩාවට පත් ජනතාව මාර්තු මාසයේ සිට දහස් ගණනින් වීදි බැස තිබේ.

තවදුරටත් අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ වැනි ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටළු වලට රට මුහුණ දෙමින් පවතී.

තමා මේ සතියේ ඉල්ලා අස්වීමට අදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ කතානායක වෙත තමන්ට දැනුම් දී ඇති බව ප්‍රකාශ කළ බව පසුගිය සති අන්තයේදී කථානායකවරයා පැවසු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීළඟ ජනාධිපතිවරයා ජූලි 20 වනදා තෝරා ගනු ඇති බව ඔහු තම ප්‍රකාශයේදී තිබුණි.

සජිත් බීබීසීයට පැවසුවේ "පුරප්පාඩුවක් ඇති වුවහොත් ජනාධිපති ධුරයට මගේ නාමයෝජනාව ඉදිරිපත් කළ යුතු බවට" ඔහුගේ පක්ෂය සහ මිත්‍ර පාක්ෂිකයන් එකඟ වූ බවයි.

2019 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වූ අතර ජනාධිපතිකම ලබාගැනීමට නම් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය වනු ඇත.

දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරූ රාජපක්ෂට සහ ඔහුගේ පවුලට එරෙහිව ඇති ජනතා අප්‍රසාදය හේතූ කොට ගෙන සජිත් ප්‍රේමදාස ජනාධිපති බලාපොරොත්තුවට නැවත පැමිණ තිබේ.

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 55% ක දැවැන්ත අගයකට ළඟා වූ අතර මිලියන සංඛ්‍යාත ජනතාවක් තවමත් එයින් පීඩාවට පත්ව තිබේ.

සජිත් ප්‍රේමදාස අප්‍රේල් මාසයේදී පිරිනැමුණු අගමැති ධූරය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. ඔහුගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ ඊට පත් කරනු ලැබුවද, ඔහු ද මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දෙමින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය "ව්‍යාකූල, අවිනිශ්චිත සහ අරාජික" ලෙස විස්තර කළ සජිත් එයට "සම්මුතිය, උපදේශනය, සමගිය සහ එකමුතුකම" අවශ්‍ය බව පැවසීය.

Sri Lanka's opposition leader Sajith Premadasa talks to supporters in Colombo. Photo: June 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සජිත් ප්‍රේමදාස කියා සිටියේ රටට සම්මුතියක් සහ සමගියක් අවශ්‍ය බවයි

මාධ්‍ය වාර්තාවලට අනුව රටේ භාවිත කළ හැකි සංචිත ඩොලර් මිලියන 250 (රු. බිලියන 19) දක්වා පහත වැටී ඇත.

ඉන්ධන හිඟය නිසා පොදු ප්‍රවාහනය අඩාල වී ඇත. බලාගාරවල ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නිසා නිරන්තරයෙන් විදුලි කප්පාදු සිදු කෙරේ. ඉන්ධන අර්බුදය නිසා මේ සතියේ ද පාසල් වසා දමා තිබේ. බොහෝ පිරිසක් රට හැර යාමට උත්සාහ කරමින් සිටිති.

ඒවාට ඉක්මන් විසඳුම් නොමැති බවට සජිත් පිළිගෙන ඇත.

ආර්ථිකය නැවත 2019 මට්ටමට ගෙන ඒමට ආසන්න වශයෙන් වසර හතරක් හෝ පහක් ගතවනු ඇති බවත්, අර්බුදය ජය ගැනීමට තම පක්ෂයට ආර්ථික සැලැස්මක් ඇති බවත් ඔහු පැවසීය.

"අපි මිනිසුන්ව රවට්ටන්න යන්නේ නැහැ. අපි අවංකව ශ්‍රී ලංකාව ආර්ථික ව්‍යසනයෙන් මුදවා ගැනීමේ සැලැස්මක් ඉදිරිපත් කරනවා," සජිත් පැවසීය.

නමුත් කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් පවසන්නේ වත්මන් තත්ත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම වගකිව යුතු බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ තරුණ නායකත්වයෙන් යුත් නව දේශපාලන මාවතක් බවත් ය.