ශ්‍රී ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනයේ මීළඟ ප්‍රධානියා කවුද? ඔහු/ඇය ලබන වරප්‍රසාද මොනවා ද?

CMC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්ද විමසීමකදී ප්‍රධාන ම ඡන්ද සටන පවතින්නේ කොළඹ මහ නගර සභාව සඳහා බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

අතීතයේ සිට ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා තම ධූරය අතහැර කොළඹ මහ නගර සභාවට තරග කරන්නේ එහි ඇති සුවිශේෂි වැදගත්කම නිසා ය.

ඊට අමතරව, කොළඹ මහ නගර සභාවේ පුරපති පදවියට පත්වූවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වූ අවස්ථා ද විරල නොවේ. එක්සත් ජාතික පක්ෂ බලකොටුවක්ව පැවති කොළඹ නගර සභා ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට සමත් විය.

ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාවේ වැඩි බලයක් තිබේ ද?

කොළඹ මහ නගර සභාවේ සමස්ත මන්ත්‍රී ධූර 117ක් තිබේ. සභාවේ බලය ලබා ගැනීම සඳහා ඉන් ආසන 60ක් ජයග්‍රහණය කළ යුතු ය.

කෙසේ වෙතත්, මෙවර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට හිමි වූයේ, ආසන 48ක් පමණි.

සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිව තිබේ.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.

මේ අනුව, ජාතික ජන බලවේගය සතු ආසන සංඛ්‍යාව සමග සැසඳීමේදී විපක්ෂයේ ආසන එකතුව වැඩි අගයක් ගනී.

කොළඹ නගරාධිපති සටන ඇත්තේ කා අතර ද?

කොළඹ මහ නගර සභා ඉතිහාසය සොයා බැලීමේදී වැඩි ම කාලසීමාවක් එහි පාලනය හොඹවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය යි.

වැඩි ආසන සංඛ්‍යාවක් හිමි තනි පක්ෂය වන ජාතික ජන බලවේගයේ මෙවර පුරපති අපේක්ෂිකාව ලෙස නම් කර තිබුණේ, ව්‍රායී කැලී බල්තසාර් ය.

මේ අතර, සමගි ජන බලවේගයේ පුරපති අපේක්ෂකයා වූ වෛද්‍ය රුවෙයිස් හනීෆා සිය කොට්ඨාසය වූ බොරැල්ල දකුණ පරාජයට පත්වීම නිසා ඔහුගේ ආසනය අහිමි වී තිබේ.

කෙසේ වෙතත්, සෙසු පක්ෂ සමග සාකච්ඡා කර සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු පුරපති ධූරයට පත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඔවුන් "අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන," බව ය.

ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරය කාට හිමි වෙයි ද? යන්න තවමත් නිශ්චිත නැත.

Municipal Council

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල (CMC)

කොළඹ වැදගත් වන්නේ ඇයි?

කොළඹ නගර සභාවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 17ක් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ලක්ෂ 05කට අධික ජනතාවක් කොළඹ මහ නගර සභා සීමාවේ දිවි ගෙවන අතර තවත් ලක්ෂ 5ක පමණ පිරිසක් විවිධ ප්‍රදේශවල සිට දිනපතා කොළඹට පැමිණෙති.

ඒ අනුව මිලියනයකට අධික පිරිසකට අවශ්‍ය සේවා සැපයීම කොළඹ මහ නගර සභාව සතු ප්‍රධාන වගකීමක් බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන බීබීසී සිංහල සේවය සමග පැවසුවා ය. කොළඹ යනු නගරාධිපති සහ සභා ආණ්ඩු ක්‍රමය සහිත වරලත් නගරයකි.

කොළඹ නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙනි. කොළඹ මහ නගර සභාව (CMC) ශ්‍රී ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනය වන අතර දකුණු ආසියාවේ පැරණිතම පළාත් පාලන ආයතනයන්ගෙන් ද එකකි.

 කොළඹ නගරයට දෛනිකව රැකියා සහ විවිධ අවශ්‍යතා සඳහා ඇති විශාල ජනකායක් පැමිණෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ නගරයට දෛනිකව රැකියා සහ විවිධ අවශ්‍යතා සඳහා ඇති විශාල ජනකායක් පැමිණෙති
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1865 දී පිහිටුවන ලද එය 2001 සංගණනයට අනුව 647,100 ක නේවාසික ජනගහනයක සහ 500,000ක ඇස්තමේන්තුගත පාවෙන ජනගහනයක අවශ්‍යතා සපුරාලන විශාල සංවිධානයක් දක්වා වර්ධනය වී ඇත.

මුල්වරට නගර සභාව පිහිටුවන විට එහි ජනගහනය 80,000ක් පමණක් විය. කොළඹ මහ නගර සභාවේ පළමු වසරේ ආදායම ස්ටර්ලින් පවුම් 6,429 කි. 1872 දී ලංකාව ස්ටර්ලිං පවුමේ සිට රුපියල්වලට මුදල් ඒකකය වෙනස් වූ විට සභාවේ ආදායම රු. 296,494ක් ලෙස සටහන් විය.

1866 දී කවුන්සිලයේ ප්‍රධාන ආදායම් මාර්ග වූයේ වරිපනම් බදු, වාහන සහ සතුන් සඳහා බදු අය කිරීම, ගමන් බදු, වීදි ගාස්තු, පාලම් සහ ඇළ මාර්ගවල ගාස්තු, මස් වෙළෙන්දන්ගේ බලපත්‍ර, ප්‍රවාහනය කරන්නන්, වයින් සහ සිල්ලර වෙළෙන්දන් සහ තුවක්කු බලපත්‍ර නිකුත් කිරීම යන ඒවායි. නීතීඥවරුන්ගේ සහ නොතාරිස්වරුන්ගේ සහතිකවල මුද්දර ගාස්තු, වෙළඳපොළ සහ ගව ඝාතකාගාර ගාස්තු, පොලිසිය සහ නාගරික මහේස්ත්‍රාත්වරුන් විසින් අයකර ගන්නා ලද දඩ මුදල් සහ විවිධ රිසිට්පත් ගාස්තු ද එම ආදායමට ඇතුළත් වෙයි. වර්තමානයේ දෙපාර්තමේන්තු 16 කින් සමන්විත කොළඹ මහ නගර සභාව මහජන සෞඛ්‍ය හා රෝග නිවාරණ සේවා, ගිනි නිවීම් සේවා, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග නඩත්තුව, ඉඩම් හා පරිසර සංවර්ධනය, වීදි ආලෝකකරණය, ජලය සහ ජලාප්‍රවාහන, පශු වෛද්‍ය සේවා වැනි සේවාවන් සැපයීම සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතුය. මේවාට අමතරව සමාජ සේවා, ක්‍රීඩා සහ විනෝදාස්වාදය සපයන දෙපාර්තමේන්තු ගණනාවක් මෙන් ම මූල්‍ය, ගාස්තු, ලේකම් සහ පුහුණු දෙපාර්තමේන්තු සමග පුස්තකාල සේවා වලින්ද සමන්විත ය. 1865 දී කොළඹ මහ නගර සභාව පිහිටුවන ලද අතර එහිදී කොළඹ නාගරික කොමසාරිස්වරයාට ද සුවිශේෂ බලතල පිරිනමා ඇත.

නගරයේ සෞඛ්‍ය බලධාරියා වන්නේ කොළඹ මහ නගර සභාව යි. ඉඩම් අත්පත් කර ගැනීමේ බලය ද නාගරික කොමසාරිස්වරයාට පිරිනමා ඇත.

කොළඹ මැතිවරණ ප්‍රචාරක රැලියක එජාප ආධාරකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ මැතිවරණ ප්‍රචාරක රැලියක එජාප ආධාරකරුවන්

එජාප බලකොටුවක් !

කොළඹ මහ නගර සභා ඉතිහාසය ගත්විට වැඩිම කාලසීමාවක් එහි පාලනය හොඹවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය යි.

පසුගිය වසර 50 තුළම නගරය පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසිනි. ඔවුන්‌ගේ ව්‍යාපාරික හිතකාමී ප්‍රතිපත්ති ඊට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී කොළඹ නගර සභාවේ පාලනය තමන් සතු කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැඩි ප්‍රයත්නයක නිරත විය.

2006 වසරේදී කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය ඇස් කන්නාඩිය ඡන්ද ලකුණු යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායමකට සහය පළ කළේ ය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලැබූ ඇස් කන්නාඩිය යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායම කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර ගත් අතර එවර ද කොළඹ පාලනය හිමි කර ගැනීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි විය.

අනතුරුව පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ බලය හිමි කර ගත්තේ ය.

එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධූරයට පත්වූ රෝසි සේනානායක කොළඹ මහ නගරසභාවට තේරී පත්වු පළමු පුරපතිනිය වේ.

අමුත්තන් සඳහා නගරාධිපති නිල නිවසේ පසුගිය නත්තල් සමයේ පැවති සාදයක්

ඡායාරූප මූලාශ්‍රය, Christopher Stephen|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝසි සේනානායක පුරපති ධූරය දැරූ සමයේදී අමුත්තන් සඳහා නගරාධිපති නිල නිවසේ පැවති සාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට බඳුන් විය

සුපිරි නිල නිවසක්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට වැටප්, දීමනා, නිල වාහන ඇතුළු වරප්‍රසාද රැසක් හිමි වෙයි.

නගරාධිපතිවරයාට නගර සභාව මගින් නිල නිවසක් ද හිමි වෙයි. කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක කොළඹ නගරාධිපති නිල නිවස පිහිටා ඇත.

මහජන දේපළක් වන මෙහි වර්තමාන වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බව කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අපට පැවසීය.

නිදන කාමර, සාකච්ඡා ශාලා, උද්‍යාන මෙන් ම වෙන ම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද ඊට ඇතුළත් ය.

කොළඹ නගරයේ පිරිසිදු කිරීම කරන සේවකයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ නගරයේ පිරිසිදු කිරීම කරන සේවකයෙක්

සේවකයින් 9000ක්

කොළඹ මහ නගර සභාව සතු සේවකයින් සංඛ්‍යාව 9000කි.

කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ, ඉංජිනේරුවන් 110ක්, වෛද්‍යවරුන් 100ක්, ගණකාධිකාරිවරුනන් 38 දෙනෙකු සහ පරිපාලන සේවා නිළධාරීන් ද ඒ අතරට ඇතුළත් වන බවය.

නගර සභාව සතුව මාතෘ නිවාස සහ සායන ද ඇත. නගරය ආශ්‍රිත ත්‍රිපෝෂ ලබා දීම් වැනි සියලු සේවා කොළඹ මහ නගර සභා වියදමින් ක්‍රියාත්මක වෙයි.

වෙනම ම පුණ්‍ය කොමසාරිස්වරයෙකු සේවය කරන එක ම පළාත් පාලන ආයතනය වන්නේ ද කොළඹ මහ නගර සභාව යි.

කොළඹ මහ නගර සභාව විසින් පෙර පාසල් මෙන් ම වෘත්තීය පුහුණු පාසල් ද පවත්වා ගෙන යනු ලබයි.

නගරයේ පිහිටි ක්‍රීඩාංගණ සහ වෙළෙඳපොළ සියල්ල ද කොළඹ මහ නගර සභාව සතු වෙයි.

ඒ අනුව, මෙම සියලු දේපළ හා වත්කම්වල නිසි කළමනාකරණ වගකීම පැවරෙන්නේ කොළඹ මීළඟ නගරාධිපතිවරයාට අතට ය.