උතුරේ පළාත් පාලන ආයතන 34න් 30ක වැඩි ඡන්ද විපක්ෂ කණ්ඩායම්වලට

Polls Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උතුරු පළාතේ පළාත් පාලන ආයතන රැසක බලය ජාතික ජන බලවේගයට තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් ඇති අතර, අදාළ පළාත් පාලන ආයතනවලින් කිසිදු පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ගණනක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට අවස්ථාව ලැබී නොමැත.

යාපනය

යාපනය මහ නගර සභාව, ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව, වේලනෙයි ප්‍රාදේශීය සභාව, වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභාව, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව, වලිකාමම් නිරිත ප්‍රාදේශීය සභාව, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාව, වඩමාරච්චි නිරිත ප්‍රාදේශීය සභාව, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව, චාවකච්චේරි ප්‍රාදේශීය සභාව, නල්ලූර් ප්‍රාදේශීය සභාව, වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාව යන ප්‍රාදේශීය සභාවල බලය ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් වැඩි ඡන්දයෙන් දිනා ගනු ලැබ තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ වැල්වැටිතුරෙයි නගර සභාව, පේදුරුතුඩුව නගර සභාව, චාවකච්චේචේරි නගර සභාව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වැඩි ඡන්ද ගණනක් ලබාගෙන තිබුණු අතර, යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාව ස්වාධීන කණ්ඩායමක් විසින් ද, කයිට්ස් ප්‍රාදේශීය සභාව ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය විසින් ද වැඩි ඡන්දයෙන් දිනා ගනු ලැබ ඇත.

කිලිනොච්චිය

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවතින කරච්චි ප්‍රාදේශීය සභාව, පුනරීන් ප්‍රාදේශීය සභාව හා පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාව යන සභා තුනෙහි ම බලය ඉලංගෙයි තමිල් අරසු කච්චි වැඩි ඡන්දයෙන් දිනා ගනු ලැබ තිබේ.

මුලතිව්

මුලතිව් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් පවතින අතර, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාව, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව, තුනුක්කායි ප්‍රාදේශීය සභාව, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව යන ප්‍රාදේශීය සභා හතරෙහි ම වැඩි ඡන්ද ගණනක් ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් දිනාගනු ලැබීය.

වවුනියාව

වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් පවතින අතර, ඉන් වවුනියාව මහ නගර සභාව දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළ අතර වෙංගලචෙට්ටිකුලම ප්‍රාදේශීය සභාවේ ජය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය පක්ෂය දිනා ගත්තේ ය.

වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාව, වවුනියාව උතුර යන ප්‍රාදේශීය සභාවවල වැඩි ඡන්ද ගණනක් ජාතික ජන බලවේගය හිමි කර ගත්තේ ය.

මන්නාරම

මන්නාරම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් ඇති අතර මන්නාරම නගර සභාව හා මාන්තෙයි බටහිර ප්‍රාදේශීය සභාව ඉලංගෙයි තමිල් අරසු කචිචි විසින් වැඩි ඡන්දයෙන් ජය ගනු ලැබූ අතර මන්නාරම ප්‍රාදේශීය සභාව සහ මුසලි ප්‍රාදේශීය සභාව යන ප්‍රාදේශීය සභාවවල බලය සමගි ජන බලවේගය දිනා ගත්තේ ය.

නානාට්ටන් ප්‍රාදේශීය සභාවේ බලය ද ජාතික ජන බලවේගය දිනා ගත්තේ ය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි ඉදිරියෙන්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සමස්තයක් ලෙස උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක් පැවති අතර, ඉන් පළාත් පාලන ආයතන 21ක වැඩි ඡන්ද ගණනක් ලබා ගැනීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි සමත් විය.

ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 4ක වැඩි ඡන්ද ලබා ගැනීමට ද, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පළාත් පාලන ආයතන 3ක වැඩි ඡන්ද ලබා ගැනීමට ද,සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 3ක වැඩි ඡන්ද ලබා ගැනීමට ද, ස්වාධීන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ලබා ගැනීමට ද,ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය එක් පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ලබා ගැනීමට ද, දෙමළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක් පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ලබා ගැනීමට ද සමත් විය.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 6න් 3ක බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 6න් ආසන 2ක් ද, ත්‍රිකුණාමලයේ මන්ත්‍රී ආසන 4න් ආසන 2ක බලය ද, මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් ආසනයක් හා දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන 4ක් ද ජාතික ජන බලවේගයට හිමි විය.

පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණයන්හිදී දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ වෙත උතුරු පළාතේ බලය හිමිව තිබූ අතර, එම බලය 2024 මහමැතිවරණයේදී සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබිණි.