ආචාර්ය හරිනි අමරසූරිය: දශක 2කට පසු ශ්‍රී ලංකාවට පත් වූ අගමැතිනිය

Harini Amarasuriya

ඡායාරූප මූලාශ්‍රය, HARINI AMARASURIYA | FACEBOOK

    • Author, අමන්දිකා කුරේ
    • Role, BBC සිංහල

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ අතර, එතෙක් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අගමැති ධූරයේ අද පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

දශක දෙකකට අධික කාලයකට පසු මෙරට අගමැති ධුරයට පත් වූ තුන් වැනි කාන්තාව වන ආචාර්ය හරිනි අමරසූරිය යනු කවුද?

මේ ඒ සම්බන්ධයෙන් BBC සිංහල සිදු කළ සොයා බැලීමකි.

පවුලේ තොරතුරු හා අධ්‍යාපනය

1970 මාර්තු 6 වන දින කොළඹ දී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරියගේ පියා තේ වැවිලිකරුවෙකි. ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටිති.

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.

ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලෙස සම්පූර්ණ කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තිබේ.

2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබේ.

Harini Amarasooriya

ඡායාරූප මූලාශ්‍රය, HARINI AMARASURIYA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, හරිනි අමරසූරිය මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි ගෙන ඇත

මුල් කාලීන වෘත්තීය ජීවිතය

ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.

ඇය විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා ද සම්බන්ධ වී ඇති අතර, 2016 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටුවේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා ය.

ඇය ප්‍රජා සෞඛ්‍ය, ඒඩ්ස් හා ළමුන් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර තිබේ.

ඊට අමතරව ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන Nestහි අධ්‍යක්ෂක ධූරයක් සහ සභාපති ධූරයක් ද, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන CENWOR අයතනයේ තනතුරක් ද දරා තිබේ.

ආචාර්ය හරිනි නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත් වූ පසු එම තනතුරෙන් ඉවත් වී ඇත.

හරිනි අමරසූරිය මෑතකාලීනව නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ගෙන යන ලද අරගල රැසකට සම්බන්ධ විය

ඡායාරූප මූලාශ්‍රය, HARINI AMARASURIYA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, හරිනි අමරසූරිය මෑතකාලීනව නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ගෙන යන ලද අරගල රැසකට සම්බන්ධ විය

වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය

ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ 2012 සහ 2013 වසරවල ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ලෙස 2014, 2015දී කටයුතු කර ඇති අතර ලේකම්වරිය ලෙස 2016 දී කටයුතු කළා ය.

2011දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක කරන ලද අරගලයට ද ක්‍රියාකාරීව සම්බන්ධ වූවා ය.

ඊට අමතරව ඇය මෑතකාලීනව නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ගෙන යන ලද අරගල රැසකට ද සම්බන්ධ වී තිබිණි.

දේශපාලනයට පිවිසීම

ආචාර්ය හරිනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට පෙර ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටි අතර, 2020 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය හිමි කරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් වූ අතර, එතැන් පටන් මේ දක්වා ඇය එම මන්ත්‍රී ධූරයේ කටයුතු කරයි.

ඇය එම කාලය තුළ පාර්ලිමේන්තුව පවත්වා ඇති දින 389න් දින 269ක් පාර්ලිමේන්තු පැමිණ තිබේ.

ඇය පාර්ලිමේන්තුව දැරූ තනතුරු පහත පරිදි වේ.

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය
  • ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
  • ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
  • ශ්‍රී ලංකාවේ ළමා මන්දප‍ෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේ ද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
  • ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
  • සත්ව ශුභසාධනය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

manthri.lk වෙබ් අඩවිය සිදු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව, මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් ඇය 65 වන ස්ථානයේ සිටින අතර ඇය මාතෘකා 14ක් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඒ අතරින් ඇය වැඩි වශයෙන් අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපනය, අයිතිවාසිකම් හා නියෝජනය, සෞඛ්‍ය සහ ආර්ථික හා මූල්‍ය සම්බන්ධ මාතෘකාවලට ය.

Harini Amarsuriya

ඡායාරූප මූලාශ්‍රය, HARINI AMARASURIYA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මම කිලෝමීටර් 21,500 කට වැඩි දුරක් ගමන් කර තිබෙනවා. මා රැස්වීම් සිය ගණනක කතා කරන්න ඇති"

'මැතිවරණ ප්‍රචාරණයට කිලෝමීටර 21,500ක් ගියා'

2024 ජනාධිපතිවරණයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රචාරණ වේදිකාවල ආචාර්ය හරිනි අමරසූරිය කැපී පෙණුනු අතර, ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ කාන්තා සමුළුව ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

ජනාධිපතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භ වීමට පෙර දින හරිනි අමරසූරිය සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකන් දැක්වුණේ ඇය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රට පුරා කිලෝමීටර 21,500ක් ගමන් කළ බව ය.

"අපගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මම කිලෝමීටර් 21,500 කට වැඩි දුරක් ගමන් කර තිබෙනවා. මා රැස්වීම් සිය ගණනක කතා කරන්න ඇති. දහස් ගණන් මිනිසුන් හමුවෙන්න ඇති. එය මගේ මුළු ජීවිතයේම ප්‍රීතිමත් සහ වෙහෙසකර කාලයක් වුණා," යැයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.

පළමුවරට ආචාර්යවරියක් අගමැති ධුරයට

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලෝකයේ පළමු අගමැතිනිය පත්වූයේ ශ්‍රී ලංකාවෙන් ය. ඒ සිය සැමියා වන හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායකයි.

ඉන්පසුව ඇගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 මහමැතිවරණයෙන් අගමැති ධූරයට පත් වූ අතර, එම වසරේ ම පැවති ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපති ධූරයට ද පත් වූවා ය.

ඔවුන් දෙදෙනා ම එක ම පවුලේ සාමාජිකයන් වූ අතර, සැමියන් සහ පියා මිය ගිය පසු පවුලේ ඇවෑමෙන් අගමැති ධූරයට පත් වූ අයයි.

බලගතු දේශපාලන පවුල් උරුමයකින් කාන්තාවන් දේශපාලනයට අවතීරණ වීම දකුණු ආසියාව පුරා නිරීක්ෂණය වන ලක්ෂණයකි.

ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශය වැනි රටවල්වලත් රාජ්‍ය නායිකාවන් ලෙස කටයුතු කළ සියලු කාන්තාවන් එලෙස තම පියවරුන් හෝ සැමියන් ඝාතනය වීම හෝ ඔවුන්ගේ මිය යාමෙන් පුරප්පාඩු වූ දේශපාලන හිඩැස හේතුකොටගෙන සක්‍රීය දේශපාලනයට පිවිසි තිබේ.

හරිනි අමරසූරිය අධ්‍යාපන කේෂ්ත්‍රයේ සිට සක්‍රීය දේශපාලනයට පිවිසුණු අතර,දැන් පළමු වරට ආචාර්ය උපාධියක් හිමි කාන්තාවක ශ්‍රී ලංකාවේ අගමැතිනිය බවට පත්ව තිබේ. එය දකුණු ආසියානු දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ද නිතැතින්ම සලකුණු කරනු ඇත.